Saturday, June 18, 2011

ජ'පුර ඇදුරෝ මහපොල ප්‍රදානෝත්සවය වර්ජනය කරති

Lankatruth, 17/06/2011,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අද (17 සිකුරාදා) පැවැත්වීමට නියමිත මහපොළ ශිෂ්‍යත්ව ප්‍ර‍දානෝත්සවය වර්ජනය කිරීමට එම සරසවියේ ආචාර්යවරුන් විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වීම හේතුවෙන් මෙම තීරණයට එළඹුනු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය බී. එන්. එෆ් වර්ණකුලසූරිය මහතා පවසයි. එස්. බී. දිසානායක අමාත්‍යවරයා විසින් පසුගිය සමයේ උසස් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල ප්‍රජාවට එරෙහිව නගන ලද ද්වේෂ සහගත අවලාද සහ අපහාසවලින් ඔහු ඒ සම්බන්ධයෙන් දක්වන පහත් ආකල්පය හෙළිවන බවත් උසස් අධ්‍යාපනය හා සම්බන්ධ ජාතික උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එවැන්නෙකු සහභාගී කරවා ගැනීමට සිය සංගමය තරයේ විරෝධය පළකර සිටින බවද ආචාර්ය සංගමයේ සභාපතිවරයා පවසා තිබේ.
එමෙන්ම ජ'පුර සරසවියේ ආචාර්යවරුන් කිසිවෙකු මෙම උත්සවයට සහභාගී නොවන අතර, අද දින‍යේ කළු පැහැයෙන් සැරසී සරසවියට පැමිණෙන බවද මහාචාර්ය බී. එන්. එෆ් කුලසූරිය මහතා වැඩිදුරටත් පවසයි. සිය සංගමය විසින් මෙම තීරණය පිළිබඳව මේ වනවිටත් උපකුළපතිවරයා ලිඛිතව දැනුවත් කළ නමුදු මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද ආචාර්ය සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.