Saturday, June 18, 2011

උසස්‌ අධ්‍යාපන ලේකම්ට අතුරු විසඳුම් යෝජනාවලියක්‌

Divaina, 18/06/2011,

ආචාර්යවරු අදියර 4 කින් වැටුප් වැඩිවීම් ඉල්ලති
වෘත්තීය ක්‍රියා නැවැත්වීමට නම් ප්‍රථම අදියර ක්‍රියාත්මකවන්න ඕනෑ

නිලන්ත මදුරාවල

අදියර හතරක්‌ යටතේ සිය වැටුප් වැඩිවීම ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය අතුරු විසඳුම් යෝජනාවලියක්‌ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාට ඊයේ (17 දා) භාර දුන්නේය. දැනට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග නැවැත්වීමට නම් වැටුප් වැඩි කිරීමේ ප්‍රථම අදියර ක්‍රියාත්මක කළ යුතු යෑයිද ආචාර්යවරු පවසති. දෙවැනි අදියරේ වැටුප් වැඩි වීම ලබන අයවැයෙන් යෝජනා කළ යුතු බවත් සිව්වැනි අදියර ක්‍රියාත්මක වීමේදී මහ බැංකු කාර්ය මණ්‌ඩල වැටුපට ආචාර්යවරුන්ගේ වැටුප සමාන විය යුතු බවත් තවදුරටත් යෝජනා කර ඇත.

ආචාර්යවරුන්ගේ සම්මේලනය මෙම යෝජනාවලිය සකස්‌ කර ඇත්තේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමට අදාළව අතුරු විසඳුම් යෝජනාවලියක්‌ ඉදිරිපත් කරන ලෙසට උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය කළ ඉල්ලීමකට අනුවය. මෙම අතුරු විසඳුම් යෝජනාවලිය සකස්‌ කිරීම සඳහා ආචාර්යවරුන්ගේ සම්මේලනයේ විධායක සභාව කොළඹ විශ්වවිද්‍යාලයේදී පෙරේදා (16 වැනිදා) රැස්‌ වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

වෘත්තීය ක්‍රියාමාර්ග නැවැත්වීමට නම් ප්‍රථම අදියර ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සම්මේලනයේ ආචාර්යවරයෙක්‌ පැවසීය.