ආචාර්ය සාලිය කුලරත්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
අප උත්සුක විය යුත්තේ, දැන් දැන් සරසවිය යන ආයතනය, විද්යුත් මාධ්‍ය සඳහා පිටපත් ලියන්නවුන් පුහුණු කිරීම, රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීම, රහස් පරීක්‍ෂකයන් හෝ ශරීරාරක්‍ෂකයන් පුහුණු කර ඩිප්ලෝමා දීම වැනි ශාස්‌ත්‍රය වේශ්‍යා වෘත්තියෙහි නොයොදවන ගරු කටයුතු බුද්ධි කෝෂ්ඨාගාරයක් ලෙස ආරක්‍ෂා කරගැනීම කෙරෙහිය.මහැදුරු ආර්. ඩී. ගුණරත්නගේ “සරච්චන්ද්‍ර දාර්ශනිකයා හා කලාකරුවා” කෘතියෙහි එක් තැනක මහාචාර්ය සරච්චන්ද්‍ර ලියා ඇති එදාටත් වඩා වත්මනට උචිත ප්‍රකාශයක් උපුටා දක්‌වා ඇත”.
“කලාව මෙන්ම ශාස්‌ත්‍රඥානයද වෙළෙඳපොළට දමා ඉල්ලීම හා සැපයීම යන න්‍යායෙන් තක්‌සේරු කිරීම, ඒ දෙකම බාල්දුවන කාර්යයකි.”
වර්තමානයේදී විශ්වවිද්‍යාලවල වෙළෙඳපොළ වටිනාකම් සහිත විෂයයන් ඉගැන්වීම හෝ පවත්නා විෂයයන්ගේ ස්‌වභාවික අඬු දඬු කප්පාදු කර ඊනියා වාණිජ ඉලක්‌ක සඳහා කෘත්‍රිමව සකස් කිරීමකට කැස කැවීමක් සිදුවන බව පෙනේ.
නූතන සිංහල විෂයේ නොයෙක් අංශ ගැන සරච්චන්ද්‍ර මහතා ඉගැන්වූයේ හා ලිවූයේ සෞන්දර්ය පදනමක් තුළ බව ඉන් කියවේ. සරච්චන්ද්‍ර ගැනම අවධාරණය කරමින්, නූතන සරසවි ඇදුරන්ට හා ඔවුන් ලියන කියන විෂයයන්ට වාණිජ මුහුණුවරවල් යෝජනා කරන ඇතමුන් පිළිබඳ මම මෙසේ අනුමාන කරමි. යම් හෙයකින් සරච්චන්ද්‍ර මහතා අද සිටියේ නම්, මේ වාණිජ තැරැව්කරුවන් විසින් මුලින්ම වාණිජ කරණය වනු ඇත්තේ සරච්චන්ද්‍රයන්ය.
මට කීමට අවශ්‍යවන්නේ වර්තමාන වෙළඳපළේ කලාව, සෞන්දර්යය හා සංස්‌කෘතිය අසුරනවල බහා විකිණිය හැකි බවය. සරසවි අධ්‍යාපනයත්, එහි කේන්ද්‍ර වූ ශාස්‌ත්‍රීය සංස්‌කෘතියත් මනමේ හෝ සිංහබාහු මිල කළ හැකි තක්‌සේරුවට වඩා ඉහළ ලංසුවකට මිල කළ හැකි බව මේ මුදලාලිවරු වටහාගෙන සිටිති. ඔවුන් මේ වලිකන්නේ ඒ කාරියටය.
මේ යුගය, ඉන්දියානු ඉපැරණි ලෝක කැලැන්ඩරය අනුව කෘත, ත්‍රේතා, ද්වාපර යන යුග ඔස්‌සේ පැමිණ මේ ඇරඹී ඇත්තේ කලියුගයේ 5011 වන වර්ෂයයි. කලි යුගය පිළිබඳ ලාක්‍ෂණික විභාගයක් කරන ඉන්දීය දාර්ශනිකයෝ එය ඉන් පෙර යුගවල පරිහරණය වූ ඇතැම් වටිනාකම්, න්‍යායයන් හා ක්‍රියාත්මක හර පද්ධතීන් කලියුගය තුළ ජඩ අරමුණු වෙනුවෙන් වේශ්‍යා වෘත්තියෙහි යෙදවෙන බව කියති.
ඉතිහාසයේ තැන් තැන්වල, ධම්ම සොණ්‌ඩක සමාජ හා දහම්සොඬ මිනිසුන්ද රජවරුන්ද ජීවත් වී ඇත. එබඳු තත්ත්ව සංස්‌කෘතික ආකෘතීන් හෝ පිළිගැනීම් (an authoritative standard) බවට පරිණාමය වී තිබේ. කලි යුගයේදී කෙරෙන්නේ, අතීතයේ පැවැතියා යෑයි ප්‍රවාදගත වූ ඒ සත්ගුණවත් ආකෘතිය ආයුධයක් ලෙස පරිහරණය කිරීමය.
අප උත්සුක විය යුත්තේ, දැන් දැන් සරසවිය යන ආයතනය, විද්යුත් මාධ්‍ය සඳහා පිටපත් ලියන්නවුන් පුහුණු කිරීම, රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීම, රහස් පරීක්‍ෂකයන් හෝ ශරීරාරක්‍ෂකයන් පුහුණු කර ඩිප්ලෝමා දීම වැනි ශාස්‌ත්‍රය වේශ්‍යා වෘත්තියෙහි නොයොදවන ගරු කටයුතු බුද්ධි කෝෂ්ඨාගාරයක් ලෙස ආරක්‍ෂා කරගැනීම කෙරෙහිය.
උපුටා ගැනීම
“අත්තනෝමතික ප්‍රවාද වෙළඳපළෙහි
කලාව හා සෞන්දර්යය පැකට් කිරීම“ ලිපියෙනි:
ඉරිදා දිවයින සංග්‍රහය
http://uteachers.blogspot.com/2011/06/blog-post_336.html