Friday, June 24, 2011

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් දැනට ගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව දෙමව්පියන් දැනුවත් කිරීම

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියණි,

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය මණ්ඩලය වශයෙන්, දැනට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව, ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ මූලික පරමාර්ථයයි. මන්ද පීඨයේ සිසු දරු දැරියන්ගේ දෙමව්පියන්හට මෙම වෘත්තිය  ක්‍රියාමාර්ගය පිළිබඳව සත්‍ය තොරතුරු හෙළි කිරීම අපගේ වගකීමක් බැවිනි.

ඔබේ දරුවා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ කඩඉම සාර්ථකව ජය ගැනීමේ උත්සාහයට ඔබේ දරුවා මෙන්ම ඔබ විසින් වැය කරන ලද කාලය, ශ්‍රමය සහ ධනය පිළිබඳව අපට මනා අවබෝධයක් ඇත. ඇත්තෙන්ම විශ්වවිද්‍යාලවල පවතින සීමිත පහසුකම් හේතුවෙන් ඒවාට ඇතුළු වීමට වරම් ලබන්නේ විභාගය සමත් වූ ලක්ෂ සංඛ්‍යාත දරුවන් අතරින් ඉතා සුළුතරක් පමණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ ඒ අය අතරිනුත් ඉතා උසස් සමත්කම් දක්වන්නන් ඉතා සුළුතරයකි. මෙලෙස බඳවාගන්නා සහකාර කථීකාචාර්යවරුන්  ලෝකයේ ඉහළ පෙලේ විශAවවිද්‍යාලවලින් විද්‍යාපති සහ ආචාර්ය උපාධි ලබා සිය උසස් අධ්‍යාපනය නිම කරන්නේ  ඔබගේ දරුවන්ට උසස් හා කාලීන අධ්‍යාපනයක් ලබාදීමේ ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටුකරනු පිණිසය. මෙම පශ්චාත් අධ්‍යාපන කටයුතු රැකියාවේ අනිවාර්ය අවශ්‍යතාවයක් වුවද ඒ සඳහා වැටුප් සහිත  නිවාඩු ලබා දෙන්නේ සීමිත කාලයකට පමණී. ඇතැම් අවස්ථාවල දී පශ්චාත් අධ්‍යාපන කටයුතු කරගෙන යනු ලබන්නේ තමන්ගේම මුදලිනි. මෙම කාලසීමාව අනෙකුත් සමාන්තර සේවාවන්වල යොදන රජයේ නිළධාරීන්ට ලැඛෙන නිවාඩු කාලයට වඩා කෙටිය. මෙම සියලූම බාධක සහ අපහසුකම් නොසලකමින් සහ විදේශීය ආයතනවලින් පිරිනමනු ලබන සියලූම පහසුකම් සහිත රැකියා ප්‍රතිලාභ ඉවතලා මව්බිමට සේවය කිරීමේ අරමුණින්  බහුතරයක් නැවත විශ්වවිද්‍යාල සේවයට පැමිණෙති. මෙම ආචාර්යවරුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇතැම් විෂය ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගණය විශේෂඥයන් බව සඳහන් කළ යුතුය.

පසුගිය දශක තුන තුළ  විශ්වවිද්‍යාලවලට ලබාදුන් ප්‍රතිපාදන ක්‍රමයෙන් අඩුවුන අතර, එමඟින් සීමාවන සම්පත් කළමණාකරණය කරගනිමින් ශිෂ්‍යයන්ට ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මය හැකිතාක් දුරට පවත්වා ගැනීමට ආචාර්යවරුන් වශයෙන් අප ඇප කැප වී ක්‍රියාකර ඇත්තෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගුණාත්මයකින් යුත් අපගේ උපාධිධාරීන් දේශීය සහ විදේශීය ආයතනවල රැකියා අවස්ථාත්, ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපන අවස්ථාත් පහසුවෙන් හිමි කරගෙන ඇත. ඔවුන්ට අපට වඩා ඉහළ වැටුප් ලැබීමත්, තමන්ගේ ව්‍යාපාරයන් පිහිටුවා ගෙන තවත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමත් ගුරුවරුන් ලෙස අපට ආඩම්බරවීමට කරුණකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස අපගේ කාර්යභාරය ඉගැන්වීම්වලට පමණක් සීමා වී නැත. අප නිරතුරුව දේශීය හා අන්තර්ජාතික පර්යේෂණ කටයුතු වලට සම්බන්ධ වී ක්‍රියා කරන අතර, විවිධ ආකාරයෙන් ජාතික සංවර්ධනයට  දායකත්වය ද සපයමු.

ඉහත සඳහන් කළ පරිදි ඉතා ඉහළ ලෙස උපාධිය නිමකර අනතුරුව ඉහළපෙලේ විදේශීය විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි ලද සුවිශේෂ බුද්ධිමතුන් වන අප විසින් කරගෙන යන ජාතික හා ශාස්ත්‍රීය මෙහෙවර නිසිලෙස ඇගයීමකට ලක් වී නොමැති බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. අපගේ වැටුප්තල හා සෙසු වරප්‍රසාද පහළ මට්ටමක ඇති අතර, ඒ හේතුවෙන් ඉතාම ඉහළ ප්‍රතිඵල ලබන නවක උපාධිධාරීන්, සහාය කථීකාචාර්යවරුන් ලෙස බඳවා ගැනීමට හෝ විදේශීය අධ්‍යාපනයෙන් පසුව නැවත ගෙන්වීමට හෝ දැනට සිටින අය රඳවා තබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. දකුණු ආසියාවේ ඉතාම අඩුවෙන් වැටුප් ලබන විශ්වවිද්‍යාල  ආචාර්යවරුන් බවට අප පත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ වුවද සෙසු සමාන්තර ශ්‍රෙAණි (උදා:- ශ්‍රී ලංකා මහා බැංකුව) හා සැසදීමේ දී අපගේ වැටුප් හා වරප්‍රසාද ඉතා පහළ මට්ටමක පවතී.

පසුගිය අයවැයේ දී රජය මඟින් පර්යේෂණ හා සංවර්ධන දීමනාවක් හඳුන්වා දී ඇත. මෙම දීමනාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පමණක් නොව රජයේ සියලුම පර්යේෂණ නිළධාරීන්ට ලබා දෙන්නකි. මෙය ලබාදෙන්නේ පර්යේෂණ කටයුතු සඳහා වැය කිරීම  සඳහා වන අතර, ඊට අදාළ පිළිගත නොහැකි කොන්දේසි ගණනාවකි. එබැවින් මෙම දීමනාව විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට 36.25% ක වැටුප් වැඩිවීමක් ලෙස සඳහන් කිරීම අතිශයින්ම සාවද්‍යය.

තවත් සාවද්‍ය කරුණක් වන්නේ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ඇතුළු  වරප්‍රසාද රාශියක්  හිමි බවය. සත්‍යය නම් මෙතෙක් හිමි එක් වරප්‍රසාදයක් වූ තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේ අවුරුදු 05 ක සේවා අවශ්‍යතාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමය. රජයේ සමාන්තර ශ්‍රෙAණිවල නිළධාරීන්හට හිමි නිල වාහන, දුරකථන, විදේශ ගතවීමේදී දෙනු ලබන දෛනික දීමනා, අඩු පොළි නිවාස ණය, විශ්‍රාම වැටුප් ආදී කිසිවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්හට නොලැඛෙන බව මෙහිදී සඳහන් කළ යුතුමය. අදාළ දේශපාලන බලධාරීන් විසින් වරක් මැති සබයේදී යෝජනා කරන ලද සරසවි ඇඳුරු වැටුප් ක්‍රමය සම්පූර්ණ මිථ්‍යාවකි.

අපගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඔබගේ දරුවාද අනාගතයේ දී ඇතුළත් වන සමස්ථ විද්වත් ප්‍රජාවට හිමි වටිනාකම ලබාගැනීමේ ක්‍රියාවලියකි. මේ තත්ත්වය පැවතුනහොත් ඔබගේ දරුවන්ට හිමි නිදහස් උසස් අධ්‍යාපනය විනාශ මුඛයට යා හැකි අතර, දේශීය බුද්ධිමතුන් අවතක්සේරු වීම හේතුවෙන් ඉහළ වේගයෙන් බුද්ධිගලනය වීම නොවැළැක්විය හැකිය.

අපගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ කුමන ආකාරයේ  හෝ දේශපාලන සබැදියාවක් හෝ අරමුණක් නොමැති බව වගකීමෙන් යුතුව ද සටහන් කරමු.

අපගේ ස්ථාවරය ඔබට අවබෝධවනු ඇති බව බලාපොරොත්තු වන අතර ඔබගේ දරුවන්ටත් පොදුවේ රටටත් යහපත් වන අනාගතයක් උදා කරලීම සඳහා අප ගන්නා ප්‍රයන්තනයට ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.

ස්තූතියිෟ

ආචාර්ය සංගමය,
කෘෂිකර්ම පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය