Tuesday, June 28, 2011

විශ්ව විද්‍යාල ගැටලුව ශිෂ්‍යයෙකුගේ ඇසින්

www.gossip9.com, 25/06/2011


විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩි කිරීම සම්බන්ද ගැටලුවට තවමත් පැහැදිලි පිළිතුරක් රජයෙන් ලැබී නොමැත. දැන් විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී මාස එකහමාරකටත් වැඩි කල් ගොසිනි.

ශිෂ්‍යයෝ ද සිය නිවෙස් වලට වී විවේක සුවයෙන් කල් ගෙවති. ආචාර්ය වරු ද වැඩේ අත්හරින පාටක් නැත. රජයටත් දහසකුත් එකක් වැඩ අතරේ මෙම ප්‍රශ්නය රටට අදාල ප්‍රශ්නයක් යයි නොහැඟෙන නිසා දෝ පිළිතුරක් දීමට උත්සුක නොවෙති.

නිදි මරා වෙහෙස මහන්සි වී පාඩම් කර උසස් පෙළ නමැති පුනීලයෙන් පෙරී වෙන් වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝද අරමුණක් නොමැතිව අනන්තය දෙස බලමින් කල්පනා කරති. අවුරුදු කීපයක් විශ්ව විද්‍යාල තුලට වී තැම්බෙන ඔවුහු රැකියා සිහිනය දකින අතරේ විශ්ව විද්‍යාල වරම් අහිමි වූ සිය සගයෝ ඒ අවුරුදු කීපය ඇතුලත රැකියාවක ස්ථිර භාවයකට පැමිණෙති.

විශ්ව විද්‍යාලයෙන් පිට වූවද හරි හමන් රැකියාවක් ලැබේ යයි ස්ථිර භාවයක් නොමැත. උදහරණයක් ලෙස, ඕනෑම අයෙකුට උසස්පෙළ සමත් නම් බැංකුවක Management trainee කෙනෙකු ලෙස බැඳීමට අවස්ථාව ඇත.

අවුරුදු 2 ක පුහුණු කාලයකින් පසුව ස්ථිර කෙරෙති. අවුරුදු 4 ක් විශ්ව විද්‍යාලයක තැම්බි තැම්බි ඉන්නා විශ්ව විද්‍යාල සිසුවා ද කල මෝඩ කම් මෙනෙහි කරමින් බැංකුවකම Management trainee කෙනෙකු ලෙස බැඳෙයි. විශ්ව විද්‍යාලයට නොගියා නම් ඔහු එම රැකියාවේ ඉස්තිර වී අවුරුදු 2 කටත් ආසන්න වෙයි.

මේ සංසාරය තුල කිසිම දෙයක් ස්ථිර නොවන්නා සේම අස්ථිර බව විශ්ව විද්‍යාල පද්ධතියටත් මෙය පොදු කාරණයකි.

මේ ගැටලුව සමගම විශ්ව විද්‍යාල පෞද්ගලීකරණය ගැනද කතා වෙයි. මීට ටික කාලයකට පෙර පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්න ලදී. ඒත් ඒවා මුහුණ පාන ලද ගැටලුව වුයේ සුදුසුකම් ලත් ආචාර්ය වරුන් නොමැති කමයි.

පිටරටින් ගෙන්වීම වියදම් අධික බැවින් ලංකාවේ අයම බඳවා ගැනීමට උවමනා උනා විය හැක. දැන් ඔවුන්ගේ එම ප්‍රශ්නය විසදී ඇත. මන්ද විශ්ව විද්‍යාල ආචාර්ය වරු අස් වෙන්නට ආරම්භ කර ඇති හෙයිනි. විශ්ව විද්‍යාලවලින් අස් වී පිට රට යාම හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සේවය කිරීම ඔවුන්ගේ අභිලාශය විය හැක. කෙසේ හෝ අතරමන් වන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝම ය.

මීට කලකට ඉහතදී ජාත්‍යන්තර පාසල් කරලියට ආවේය. එහෙත් රජයේ ජනප්‍රිය පාසල් සමග ඔවුන්ට අඩුම ගණනේ තරගයක් වත් දිය නොහැකි විය.(ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර පාසල් වලට ජනප්‍රිය පාසල් සමග තරඟ වැදීම අවශ්‍ය නැත, ඒ මුහුදේ මාළු ඕන තරම් ඉන්නා බැවිනි) එයට හේතුව වුයේ ඒවා හොඳින් පරිනත වී පහසුකම් අතින් හොඳ මට්ටමක තිබීම හා ප්‍රතිපල අතින් ඉහල මට්ටමක තිබීමයි.

ජනප්‍රිය පාසලකට සිය දරුවා දා ගත නොහැකි වූ දෙමවුපියෝ පමණක් වෙනත් පහසුකම් අඩු රජයේ පාසලක පිහිට නොපතා අමාරුවෙන් හෝ ජාත්‍යන්තර පාසලකට සිය දරුවා ඇතුලත් කරති. මෙහි දී රජයේ පාසල් ප්‍රතික්ෂේප වීමට හේතුව වුයේ ඒවායේ පහසුකම් මද බව, ප්‍රතිපල මද බව හා ගුරුවරුන්ගේ විචලනයයි.

විශ්ව විද්‍යාල පද්ධතිය සලකා බලන කල, හැම පීඨයකම පාහේ ආචාර්ය වරුන් හිඟ ය. පහසු කම් අඩු ය. කොළඹින් පිට විශ්ව විද්‍යාල වලට ආචාර්ය හිඟය දරුණු ය. එයට හේතුවක් වන්නේ ඔවුන්ට අමතර රැකියාවක් කර ගැනීමට කොළඹින් පිට විසීම බාධාවක් වන බැවිනි. කෙසේ වුවත් එම කොළඹින් බැහැර වූ පීඨ වල ඉතා කැපවීමෙන් වැඩ කරන ආචාර්ය වරු වැඩි වශයෙන් දැකිය හැක.

කෙසේ වුවත් විශ්ව විද්‍යාල තුල පවතින මෙම ගැටළු වලට විසදුම් නොදී පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය බිඳ වැටීමයි. ඉන්පසු කිසිම අයෙකුට නිදහස් අධ්‍යාපනයේ නියම ප්‍රතිලාබ විඳීමට නොහැකි වනු ඇත. ඉහල මධ්‍යම පන්තියට මෙය බල නොපාන කරුණක් වුවත් අනිත් පන්ති වල අයට නම් මෙය සෘජුවම බල පානු ඇත. දැන් අශ්වයා ගොස් ඇත. ඉස්තාලය වැසීමට මහන්සි වනවාට වඩා පැන ගිය අශ්වයා සොයා ගැනීම වටිනේ ය.

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධති යේ පහසු කම් වැඩි කර ආචාර්යවරුන්ගේ ගැටළු වලට විසදුම් දී, සුදුසු කම් මද වශයෙන් අඩු වී විශ්ව විද්‍යාලයට තේරීමට නොහැකි වූ එහෙත් මුදල් ගෙවා ඉගෙන ගැනීමට කැමති පිරිසක් ද උසස් පෙළ ප්‍රතිපල අනුව සුදුසුකම් ලත් පිරිස සමග එක්කර රාජ්‍ය විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම වඩා සුදුසු වනු ඇති බවයි මගේ හැගීම. තරහ නොගන්න, මෙය පුද්ගලික හැගීමක් පමණි.

කෙසේ හෝ දැන් සියලු දෙනාගේ ඇඟිලි දික් වී ඇත්තේ S .B ඇමති තුමා වෙතටයි. ආචාර්ය වරුන්ගේ පඩි වැඩි නොකරන්නේ ඔවුන් රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් එළවීමට බව සම(හරක්) කියති.

එතුමා පෞද්ගලික විශ්ව විද්‍යාල සමග ඇතිකර ගත් රහස් ගිවිසුමක් අනුව රජයේ විශ්ව විද්‍යාල වලින් ආචාර්ය වරු එලවා ඔවුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වල සේවයට යැවීමේ කුමන්ත්‍රණයක් කරගෙන යන බව තතු (නො)දත්තෝ කියති. ඇමති තුමා එසේ නොවන බව අපි දනිමු. ඒ, එතුමා ද රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙන ගෙන එහි වටිනා කම හඳුනා ගත්තෙක් බැවිනි. මේ විශ්ව විද්‍යාල සිසුන් නිතරම ඇමති තුමා සමග රණ්ඩුවට ගොස් එතුමාගේ ඔලුව අවුල් කර ඇත. එසේ හෙයින් මේ ගැටලුවට වග කිව යුත්තේ ආණ්ඩුවවත් ඇමති තුමාවත් නොව ශිෂ්‍යයන්ම ය. එම නිසා ඇමති තුමනි, ගැත්තාට අනුකම්පා කර මෙම ප්‍රශ්නය වහ වහා විසඳා දෙන සේක්වා...!

මීට යටහත් පහත් විශ්ව විද්‍යාල සිසුවෙක්.

සටහන
අප වෙත යොමුකළ ලිපියක් ඇසුරින් පල කෙරිණි.
ඔබ සතුවත් මෙවන් නිර්මාණ ඇත්නම් admin@gossip9.com වෙත යොමු කරන්න


Read the comments at www.gossip9.com