Monday, June 13, 2011

සෑහීමකට පත්විය හැකි විසඳුමක් පෙනෙන තෙක් මානයක නෑ

Ada Derana, 12/06/2011,

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ප්‍රමුඛ කර ගනිමින් මේවන විට ඇති වී ඇති අර්බුදය පිළිබඳ රජය සමග දිගින් දිගටම සාකච්ඡා කළද සෑහීමට පත්විය හැකි විසඳුමක් පෙනෙන තෙක් මානයක නොමැති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

මේ හේතුව නිසා වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට සිදුවන බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

විශ්ව විද්‍යාල 3 ට අදාළව ස්වේච්ඡා තනතුරු වලින් ඉවත්වීමේ ලිපි බාර නොගන්නා ලෙස අධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගය නිසා තම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට යම් බලපෑමක් එල්ල වී ඇති බව ඔහු සඳහන් කළේය.

එසේ වුවද වෙනයම් වූ ක්‍රියා මාර්ග ඔස්සේ හෝ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අඛණ්ඩව ‍ගෙනයාම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ තීරණය වී ඇති බව දේවසිරි මහතා කියා සිටියේය.

අගෝස්තු මාසයේ අ.පො.ස උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් මුළු මනින්ම ඉවත්වීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තීරණය කර ඇතැයිද,ඒ බව ඉදිරි දින කිහිපය තුළ විභාග කොමසාරිස්වරයාට දැනුම්දීමට කටයුතු කරන බවද ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පෙන්වාදෙයි.

‍රජය විසින් මෙම ප්‍රශ්නය නොතකා හරින තත්ත්වයක් දක්නට ලැබෙන හෙයින් හා මීට අදාළ සත්‍ය වසන් කරන බැවින් මේ පිළිබ්ඳ සිවිල් හා බහුජන සංවිධාන ඇතුළු මහජනතාව දැනුවත් කිරීම සඳහා රටපුරා ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ හා රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.