Wednesday, June 22, 2011

සරසවි හා පොල් අතු

ජූනි 21, 2011

අග්‍ර විනිශ්චය කාර ශිරානි බණ්ඩාරනායක මහත්මිය උසස් පෙළ විභාගය කරන කාලයේ අද මෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වර්ජනයක් තිබුනා නම් ඇයට අග්‍ර විනිශ්චයකාර කමට එන්නට ඉඩ නොලැබෙන බවත් , ඇයට සිදු වන්නේ ගෘහනියක් වී පොල් අතු විවීම වැනි දේවල් කර ගෙන සිටීමට බවත් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්දන මහතා පසු ගියදා පැවසුවේය. ඇටමැස්සා ඒ කතාව ඇසුවේ මෙවැනි විහිලු කතා හා මළ මිනි විකිණීම හැර අන් යමක් තම ප්‍රවෘත්ති විකාශ තුලින් නොකරන ස්වර්ණවාහිනියෙනි.
මෙහෙව් කතාවක් කියන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සාධාරණ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා මුදල් නැතැයි කියමින් රාජ්‍ය විශ්විද්‍යාල පද්ධතියම අකර්මන්‍යව කඩා වැටෙන්නට ඉඩ හැර ඒ අතරම තම සුඛ විහරණය සඳහා මහජන මුදල් කෝටි ගණන් වැය කරන ආණ්ඩුවක ඇමැතියෙකි
ඔහු මේ කතාව කියන්නේ සරසවි ඇදුරන්ගේ උසස් පෙළ විභාග උත්තර පත්‍ර සමීක්ෂණය වර්ජනය කඩා කප්පල් කිරීමට පාසල් ගුරුවරුන් යොදා ගැනීමට තැත් කරන අතර වාරයේය. ප්‍රබල ගුරු සංගම් කිහිපයක්ම එම ප්‍රයත්නයට මේ වන විටත් තම විරුද්ධත්වය පල කර ඇත. ඒ සිසුන් ලක්ෂ ගණනක් පෙනී සිටින ඔවුන්ගේ ඉරණම තීරණය කරන එම විභාගයේ ප්‍රමිතීන් රැක ගැනීම වෙනුවෙනි.
අග්‍රවිනිශ්චය කාර පදවියට ඒමට තරම් කුසලතාවක් තිබෙන අයවලුන්ට පොල් අතු විවීමට හෝ දර පැලීමට සිදු වන්නේ සරසවි ඇදුරන්ගේ හෝ වෙන කාගේවත් වර්ජන නිසා නොව බන්දුල ගුණවර්ධන වැනි ඇමතියන්ගේ ක්‍රියා නිසා බව ඒ අනුව ඉතාමත් හොඳින් පෙනී යයි.
ඇත්තටම බන්දුල ගුණවර්දන ඇමතිවරයා කියන පරිදි සරසවි ඇදුරු වර්ජනයක් නිසා යමෙකුට පොල් අතු විවීම හෝ වෙනත් එවැනි රැකියාවන් ට යාමට සිදු වීමට ඉඩ තිබුණි නම් , බන්දුල ගුණවර්දන ඇමති වරයා උසස් පෙළ විභාගය කරන සමයේ එවන් වර්ජනයක් නොතිබීම ගැන අපි ඉතාමත් කම්පා වෙමු.
මක් නිසාද යත් එසේ වුවා නම් බන්දුල ඇමති වරයාට ද සරසවි යාමටද , ඉන්පසු ටියුෂන් ගුරුවරයෙකු වීමටද , ඉන්පසු ඒ අනුහසින් ඇමතිවරයෙකු වීමටද නොහැකි වන්නේය. එසේනම් ඔහුද පොල් අතු වියා හෝ කොහේ හෝ හෝටලයක දර පලා හෝ ඉන් ලැබෙන මුදලින් හවසට කසිප්පු ටිකක් බී නම්බුකාර ජීවිතයක් ගෙවනවා ඇත.
රටේ මහජන මුදලින් කා බී මෙවැනි මළ විකාර මෝඩ කතා කියනවාට වඩා ඇත්තෙන්ම එය නම්බුකාරය. එය රටටද හොඳය.