Wednesday, June 22, 2011

එස්.බී. සුදුසු උසස් අධ්‍යාපනයට නොව ඌරු කොටු පාලනයටයි: සිපිරිගෙවල් සරසවි බවට පත්කරන්න ඇදුරෝ සූදානම් -කොළඹ ඇදුරු සමුළුව උණුසුම්

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.21, ප.ව.7.30) ශ්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය කරන්නට යන්නේ නම් ඊට වත්මන් උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක නොගැලපෙන බවත් ඔහු ගැලපෙන්නේ ඌරු කොටු කුකුල් කොටු පාලනයට බවත් අද කොළඹ පැවැති සරසවි ඇදුරු මහජන සමුළුවේදී ආචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා ප්‍රකාශ කෙළේය. මන්ද යත් ඇමැතිවරයාගේ නින්දා කිරීම්ල තර්ජනය කිරීම්ල තග දැමීම් හා කතා විලාශය වඩාත් ගැලපෙන්නේ සරසවි වැනි උසස් අධ්‍යාපන ආයතන පාලනයට නොව කුකුල් කොටුල ඌරු කොටු පාලනයට බවත් ඔහු පැවසීය.

විසඳුමකින් තොරව මාස එකහමාරක් තිස්සේ දිග් ගැසෙමින් පවතින සරසවි ඇදුරු අරගලයේ තවත් සාර්ථක කඩ ඉමක් සනිටුහන් කරමින් අද කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අති සාර්ථක රැස්වීමක් සරසවි ඇදුරු සම්මේලනය විසින් සංවිධානය කර තිබිණ. සමුළුව සඳහා ලංකාවේ සියළු සරසවි නියෝජනය වලින් පැමිණි ආචාර්ය මහාචාර්ය වරු කොළඹ සරසවියේ සිට මහා පා ගමනකින් මහජන පුස්තකාලය වෙත පැමිණියෝය.

මෙතෙක් මෙම අරගලයට එක් නොවී සිටි හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය මණ්ඩපය වැනි ආයතනයන්හි ඇදුරෝ ද අද එක්ව සිටියහ.

කොළඹ සරසවි ඇදුරන් අද මෙසේ පා ගමනින් පෙළපාලියක් ගොස් ඇත්තේ වසර 42 කට පසුව බවත් පළමු උද්ඝෝෂණ තිබී ඇත්තේ ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේ ගෙන ආ සරසවි පනතට එරෙහිව බවත් පැවසිණ.

අද පැවැති සරසවි ඇදුරු පා ගමන අතරතුරේදී ජනාධිපතිවරයා සහ උසස් අධ්‍යාපන ඇමැතිවරයා එය පසුකොට වාහනයකින් ගමන් කර ඇති බවද වාර්තා වේ.

පා ගමනින් පසු පැවැති සමුළුවේදී ශ්‍රී ලංකාවේ සෑම සරසවියක්ම නියෝජනය කරමින් ආචාර්ය මහාචාර්ය වරු කතා පැවැත්වූහ.

ශ්‍රී ලංකාවේ සරසවියකින් ඉංජිනේරුවරයෙකු බිහි කිරීමට එක් සිසුවෙකුට ලක‍ෂ 8 ක් වියදම් කරන අතර පිටරටක් ඉංජිනේරුවකු බිහිකිරීමට ලක‍ෂ 80 ක් වියදම් කරන බවත් ලංකාවේ විව‍ෘත විශ්ව විද්‍යාලයේදී උපාධිධරයෙකු බිහිකිරීමට වියදම් කරන්නේ රුපියල් 20000 ක් පමණක් බවත් මෙහිදී අදහස් දැක්වූ මොරටුව සරසවියේ මහාචාර්ය අමල් කුමාරගේ මහතා පැවසීය.

සරසවි ඇදුරන්ගේ පඩි දෙගුණයකින් වැඩි කිරීමට යන්නේ රුපියල් මිලියන 2000 ක් වන නමුත් කිසිදු ප්‍රයෝජනයක් නැතිව සිසුන්ට හමුදා පුහුණුව දීම සඳහා ආණ්ඩුව මිලියන 900 ක් වියදම් කරන බවත් මෙහිදී හෙලි දරව් විය.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා කීවේ මෙය වැටුප් අරගලයකට එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණය දේශපාලණීකරණයට එරෙහිව කෙරෙන අරගලයක් බවයි. සරසවි ඇදුරන් ඉල්ලා අස් වූ තනතුරු වන සේවයට වාර්තා කළ යුතු යැයි අධිකරණය නියෝග කර ඇතැයි කී මහාචාර්යවරයා වැඩි වැඩියෙන් එවැනි නියෝග එවන ලෙසත් ආචාර්යවරුන් හිරගෙවල්ද සරසවි බවට පත් කිරීමට සූදානම් බවද සහභාගී වූ මහා සෙනගකගේ අත් පොලසන් මධ්‍යයේ පැවසීය.

මෙහිදී ආචාර්ය දඹර අමිල හිමියෝ දැඩි වේගවත් දේශනයක් කළ අතර එය මෙහි වෙනත් තැනෙක පළ කිරීමට බලාපොරොත්තු වෙමු.