Divaina, 27/06/2011, Editorial
මහජන එක්‌සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය ඇතුළු රජයට සම්බන්ධ වාමාංශික පක්‍ෂ ද, තවමත් විසඳුමක් නොමැතිව දිග්ගැස්‌සෙමින් තිබෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය විස¹ ගැනීමට සහාය දැක්‌වීමට සූදානමින් සිටින බව සඳහන් පුවතක් "දිවයින ඉරිදා සංග්‍රහය" ඊයේ (26 දා) සිය මුල් පුවත සේ පළකර තිබිණි. මෙය අගය කළ යුතු බුද්ධිමත් ප්‍රතිචාරයක් බව අපගේ ද අදහසයි.
විශ්වවිද්‍යාලය යනු තවමත් අපගේ බුද්ධිමය කේන්ද්‍රස්‌ථානය බව සාමාන්‍යයෙන් පිළිගනු ලැබේ. අප සමඟ එකඟ නොවන කෙනෙක් අද විශ්වවිද්‍යාල එබඳු දැනුම් කේන්ද්‍ර සේ හැඳින්විය හැකිදැයි විමසීමට බැරි නැත. එසේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිබඳව වුවද විවේචන තිබිය හැකිය. එහෙත් තවමත් යම් පමණකින් හෝ ශාස්‌ත්‍රීය මෙහෙවරක් ඒවායින් සිදුවන බව අප පිළිගත යුතුය. එසේම ඒ ඒ ක්‍ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතුන් මිස දේශපාලන රෙකමදාරුව අනුවම විශ්වවිද්‍යාල සඳහා තෝරා නොගැනෙන බව ද අපගේ විශ්වාසයයි. එනිසා අප ඒ විවාදාත්මක කරුණු පසුවට තබා මෙම අර්බුදය ගැනම කතා කරමු.
අපගේ අවබෝධය අනුව නම් මෙම අර්බුදය නිසා විශ්වවිද්‍යාල පද්ධතියම අක්‍රිය වී තිබේ. ඇතැම් විශ්වවිද්‍යාලවල දේශන පවා සම්පූර්ණයෙන්ම නතර වී තිබේ. යාපනය හා පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාලවල පීඨ ගණනාවක්‌ම වසා දමා ඇතැයි ද කියති. මේ තත්ත්වය උග්‍ර වනු මිස යහපත් වන ලකුණක් නම් අපට නොපෙනේ.
ඇතැම් කවරාකාර ඇමැතිවරයෙක් තම නැණ පමණින් මේ ප්‍රශ්නයට විරෝධය දක්‌වා ජනාධිපතිවරයාගෙන් ලකුණු දමා ගැනීම අපට තේරුම් ගත හැකිය. එය මේ රටේ සිදුවන ඕනෑම වෘත්තීය ක්‍රියා මාර්ගයකදී පෙනෙන්නට තිබෙන සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රශ්නය මේ තරම් දුරට යා නොදී විස¹ ගැනීමට නම් ආණ්‌ඩුවට ඉඩ තිබුණු බව අපගේ අදහසයි.
දැන් විශ්වවිද්‍යාල ප්‍රශ්නය තිබෙන්නේ එය ආරම්භයේ තිබුණු තැන නොවන බව ආණ්‌ඩුව නොදැන සිටීමට හේතුවක් නැත. එසේම විවිධ දේශපාලන මතවාද සහිත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සියලු දෙනාම ආණ්‌ඩු විරෝධී කුමන්ත්‍රණ කිරීමට හෝ රට අස්‌ථාවර කිරීමට සැරසෙන බව කීම ද විහිළුවකි. මෙය ඔවුන්ගේ පොදු අරගලයක් බව අපට නම් පැහැදිලිය.
ඇතැම් විටෙක ආණ්‌ඩුවට උපදෙස් දෙන අය මේ ප්‍රශ්නය වැරැදි කොණින් අල්ලාගෙන සිටිනු විය හැකිය. පෞද්ගලික විශ්‍රාම වැටුප් යෝජනාව සම්බන්ධයෙන් වුවද ආණ්‌ඩුව ක්‍රියා කළේ දැඩි අනම්‍ය ස්‌වරූපයකිනි. එබඳු මෝඩකම් යළි කළ යුතු නැත.
කෙසේ හෝ අද මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරයා සරණාගතයකුගේ තත්ත්වයට පත්ව සිටින්නේ නම් එය කනගාටුදායකය. ඔවුන්ගේ වේතන සම්බන්ධයෙන් කරන ලද සැසඳීම් අනුව ද පෙනී යන්නේ එය බුද්ධිමතුන්ට නිගරුවක් බවය. මේ ප්‍රශ්නය සෘජුවම අපගේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි වූ අවිධිමත් බව නිසා වර්ධනය වූවකි.
ලෝකයේ රටවල් අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන ආයෝජනය සැලකිල්ලට ගත් කල අප සිටින්නේ ඉතා පසුගාමී තැනක බව බොහෝ දෙනකුගේ විවේචනයයි. එයට බරපතල බාධාවක් වූයේ එල්. ටී. ටී. ඊ. ය සමඟ තිබුණු ත්‍රස්‌තවාදය බව ඉතා පැහැදිලිය. එහෙත් ත්‍රස්‌තවාදය නිමවීමෙන් පසුව වුවද අධ්‍යාපනය පිළිබඳ අලුත් ප්‍රබෝධයක් වර්ධනය වී ඇත. මානව සම්පත් සංවර්ධනය යනු රටක ප්‍රමුඛ අවශ්‍යතාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ සඳහා දිරිදීම් රජයක් විසින් අනිවාර්යයෙන්ම කළ යුතුය.
ආණ්‌ඩුව යුද්ධයක් නොමැතිව ආරක්‍ෂාව සඳහා විශාල මුදලක් වෙන්කරන බව විපක්‍ෂයේ චෝදනාවකි. එය අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදලට වඩා ඉතා අඩු බව ද කියති. වෙනත් රටවල් සමඟ ශ්‍රී ලංකාව අධ්‍යාපනයට කරන ආයෝජනය මෙහි සඳහන් කිරීමට අපි උනන්දු නොවෙමු. ඒ පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලබාගැනීමට ආණ්‌ඩුවට බැරි නැත.
කෙසේ හෝ අපට වාර්තා වන අන්දමට පසුගිය සතියේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මූලිකයන් ඇතුළු කීපදෙනෙක්‌ම උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතාගේ නිවසේදී ඔහු හමුවී මේ ප්‍රශ්නය සාකච්ඡා කර තිබේ. ඉතා සුහදව අවසන් වූ එම සාකච්ඡාවේදී ඇමැතිවරයා භෝජන සංග්‍රහයක් ද කර තිබිණි. එහෙත් දැන් එම සාකච්ඡාවට ගිය අයට ද විවේචන එල්ල වෙමින් තිබේ. ඔවුහු සටන පාවාදුන්නැයි ද පිරිසක් කියති.
මෙයින් පෙනී යන්නේ මේ ප්‍රශ්නයට ඉක්‌මන් විසඳුමක් නොලැබීමෙන් එබඳු විවේචකයන් ප්‍රබල වන බව නොවේද? ඕනෑම ප්‍රශ්නයකදී ඒ පිළිබඳව විවිධ දෘෂ්ටි කෝණවලින් බැලීම ද අලුත් දෙයක් නොවේ. එහෙත් මෙබඳු ප්‍රශ්නයක් දැඩි මතවාදී කණ්‌ඩායම්වලට අවුල් කර දැමීමට ඉඩ දිය යුතුද නැත.
උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ අදහසක් අනුව ලබාදෙන නවක සිසු පුහුණුව සඳහා රුපියල් මිලියන 900 ක් වැයවන බව ද කියති. එසේම රජයේ වෙනත් ව්‍යාපෘති සඳහා විශාල ධනස්‌කන්දක් වැය කිරීමට යන බව ද කියති. ඒවා එසේ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය නොතකා සිටීම ආණ්‌ඩුවේ පිළිවෙත වී තිබෙන බව ද ඒ විවේචකයෝම දක්‌වති.
ඕනෑම වෘත්තීය ක්‍රියාදාමයකදී සියලු ඉල්ලීම් ලබාදීමට නොහැකි බව ද ඇත්තය. එසේම ඒවායේදී පසුබැසීම්, ආපසු හැරීම් සිදුවන බව ද ඇත්තය. මේ රටේ තිබෙන දේශපාලනය අනුව ඕනෑම සටනකදී විපක්‍ෂය ද එහි කෙළවරකට හේත්තු වී ක්‍රමයෙන් ඒ ප්‍රශ්නය අතටම ගන්නා බව ද ඇත්තය. එහෙත් ඒ නිසාම ප්‍රශ්නය වැඩෙන්නට ඉඩ දීම මෝඩකමකි.
ඉදිරි දිනවල මේ ප්‍රශ්නය තවදුරටත් ව්‍යාප්ත වී යැම ද නොවැලැක්‌විය හැකිය. එවිට ප්‍රශ්නය තවත් උග්‍ර වේද? සරසවි පවත්වාගෙන යා හැකිද? යනාදිය පිළිබඳව අපි නොදනිමු. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා නම් කියා තිබුණේ මොන ප්‍රශ්න තිබුණත් තමන් උසස් පෙළ ප්‍රතිඵල නියමිත දිනට දවසකට කලින් හෝ නිකුත් කරන බවකි.
මේ අනුව උසස් අධ්‍යාපන ඇමැති ඇස්. බී. දිසානායක මහතාටත් මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ සියලුම විශ්වවිද්‍යාල නිසි ලෙස පවත්වාගෙන යන බව කිව හැකි නම් අපට ද ප්‍රශ්නයක් නැත. එහෙත් අඬහැරේ තරමට හීය තිබේදැයි අපි බලා සිටිමු.