Saturday, June 25, 2011

මහජන එක්‌සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය ඇතුළු ආණ්‌ඩුවේම පක්‍ෂ රැසක්‌ සරසවි සටනට එක්‌වෙති

Divaina, 26/06/2011, නිලන්ත මදුරාවල 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබාදෙන ලෙස ආණ්‌ඩුවට බලකරමින් ආණ්‌ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ ද ඇතුළු දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති රැසක්‌ ලබන සතියේදී ඒකාබද්ධ ප්‍රකාශයක්‌ නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය සතියේ කැඳවූ සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ජාතික නිදහස්‌ පෙරමුණ හැර සෙසු සියලුම දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සහභාගි වී ඇති අතර ලබන සතියේ නිකුත් කෙරෙන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීමට එම සියලුම නියෝජිතයන් එකඟතාව පළ කර ඇත. මහජන එක්‌සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ යන ආණ්‌ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂ හා තවත් වාමාංශික පක්‍ෂ කිහිපයක්‌ද මෙම ප්‍රකාශයට අත්සන් තැබීමට එකඟ වීම විශේෂත්වයකි.

තමන්ගේ ඉල්ලීම් ජයග්‍රහණයෙන් කෙළවර විය යුතුය යන්න මෙම සියලුම දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ තීරණය වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවැසීය. තම සම්මේලනයේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවතී ඇති බවත් ඇතැම් විශ්වවිද්‍යාල නොනිල මට්‌ටමින් වැසී ගොස්‌ ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.