Wednesday, June 29, 2011

සරසවි ඇදුරන්ගෙන් තොර උ. පෙළ ඇගයීමකට අපි සූදානම් නෑ - ලංකා ගුරු සංගමය

Divaina, 29/06/2011, සිරිමන්ත රත්නසේකර

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් තොරව උසස්‌ පෙළ උත්තරපත්‍ර ඇගැයීමකට තමන් කිසි ලෙසකින් සූදානම් නැතැයි ලංකා ගුරු සංගමය ඊයේ (28 වැනිදා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණයෙන් කියා සිටියේය.

උසස්‌ පෙළ උත්තරපත්‍ර ඇගැයීම යනු ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්‌ බවත් එය විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු හා ප්‍රවීණ ගුරුවරුන් නොමැතිව සිදු කළ හැකි ක්‍රියාවලියක්‌ නොවන බවත් ලංකා ගුරු සංගමයේ සභාපති මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

උසස්‌ පෙළ උත්තරපත්‍ර ඇගයීම කිසිදු අත්දැකීමක්‌ නොමැති අය ලවා සිදු කිරීමට ගොස්‌ උගසට තබන්නේ උසස්‌ පෙළ විභාගයේ ගුණාත්මක, ප්‍රමිතිය හා දරුවන්ගේ අනාගතය බවත් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් හා ප්‍රවීණ ගුරුවරුන් නොමැතිව උසස්‌ පෙළ උත්තරපත්‍ර ඇගැයීම සඳහා සුදුසු උගතුන් ප්‍රමාණයක්‌ සිටිනවාදැයි ප්‍රශ්න කළ ජයසිංහ මහතා එසේ සිටීනම් ඔවුන් පිළිබඳ වහා රටට හෙළිකරන්නැයිද අධ්‍යාපන ඇමැතිවරයාට හා විභාග කොමසාරිස්‌වරයාට අභියෝග කළේය.

මහින්ද ජයසිංහ මහතා එම අදහස්‌ පළ කළේ ඊයේ (28 වැනිදා) කොළඹ කොම්පCඳ්Cඳ වීදියේ පිහිටි නිපෝන් හෝටලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.