Saturday, June 11, 2011

සනාතන සභාවලට රැස්‌වෙන්න බෑ - විශ්වවිද්‍යාලවල දැඩි අර්බුදයක්!

Divaina, 12/06/2011, නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාලවල අංශාධිපති ධුර දැරූ ආචාර්යවරුන්ගෙන් සියයට අනූවක්‌ පමණ එම ධුර අත්හැරීම නිසා විශ්වවිද්‍යාලවල සනාතන සභා රැස්‌වීමට නොහැකිව දැඩි අර්බුදකාරී තත්ත්වයක්‌ උද්ගතව තිබේ.

සියලුම අංශාධිපතිවරු සනාතන සභා සාමාජිකයන් හෙයින් එම තනතුරු අත්හැරීම නිසා සනාතන සභා පැවැත්වීමට ගණ පූර්ණය සම්පූර්ණ කළ නොහැකි බව උපකුලපතිවරු පවසති. ගණ පූර්ණය නොමැති නිසා පේරාදෙණිය හා කැලණිය යන විශ්වවිද්‍යාලයන්හි සනාතන සභා රැස්‌වීම් දින නියමයකින් තොරව කල්දමා ඇත. මෙම විශ්වවිද්‍යාලයන්හි සනාතන සභා රැස්‌වීම් පසුගියදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ගණ පූර්ණය නොමැති නිසා එම රැස්‌වීම් නොපැවැත්විණි.

මේ අතර මින් ඉදිරියට පීඨ මණ්‌ඩල රැස්‌වීම්වලට ද සහභාගි නොවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අයත් ආචාර්යවරු තීරණය කර සිටිති.

සනාතන සභා රැස්‌වීමට නොහැකි වීම නිසා අධ්‍යයන කටයුතුවටල දැඩි බලපෑමක්‌ එල්ල වන බව උප කුලපතිවරු පෙන්වා දෙති. ඒ ඒ අංශයන්හි අධ්‍යයන කටයුතුවලට අදාළ අනුමැතිය ලබාගැනීම සඳහා සනාතන සභා රැස්‌වීම් පැවැත්වීම අනිවාර්ය යෑයිද මෙම තත්ත්වය යටතේ අධ්‍යයන කටයුතු අඩපණ වීම හෝ නැවැත්වීමට සිදුවීම නොවැළැක්‌විය හැකි යෑයිද විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.