Sunday, June 26, 2011

විශ්වවිද්‍යාල අධ්‍යාපනය

රාවය 26/06/2011

[Sunday, June 26, 2011]

එක් අතකින් විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ ආත්ම ගෞරවයට සරිලන වැටුප් වර්ධකයක් ඉල්ලා කෙරෙන මහා උද්ඝෝෂණයක් පවතී. ඒ සමගම විශ්වවිද්‍යාලවලට තේරුණු නවක ශිෂ්‍යයන් හමුදා කඳවුරුවලට යවා නායකත්ව පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළ උණුසුම් වාද විවාදවලට හේතුවී තිබුණි. මේ වන විට එම පුහුණුව පිණිස හමුදා කඳවුරුවලට යවන ලද පළමු කණ්ඩායම පුහුණුව අවසන් කර තිබෙන අතර දෙවැනි කණ්ඩායම සඳහා වන පුහුණු කිරීම් මේ සතිය මුලදී ආරම්භ කර තිබේ. 

එම පුහුණු කිරීම් පිළිබඳව රටේ ජනතාව දැනගත යුතුව තිබෙන මූලික කාරණා සමහරක් මෙසේය. 

1. විශ්වවිද්‍යාලවලට තෝරා ගැනුණු අය අතරින් පුහුණු වැඩසටහන්වලට සහභාගි වූ සංඛ්‍යාව කොපමණද? සහභාගි නොවූ අයගේ සංඛ්‍යාව කොපමණද? පුහුණුවන්නට ගොස් ඒ වැඩසටහන එපාවී පුහුණු වැඩසටහන් සම්පූර්ණ නොකොට අතරමග අතහැර පැමිණි පිරිසක් වේද? ඔවුන්ගේ සංඛ්‍යාව කොපමණද? 

2. පුහුණු වැඩසටහන්වලට සහභාගි වූ ශිෂ්‍යයන් එම පුහුණු වැඩසටහන් ගැන දරන අදහස් මොනවාද? ඔවුන් සලකන්නේ එය තමන්ට ප්‍රයෝජනවත් හා ඉදිරියටත් පවත්වාගෙන යායුතු වැඩසටහනක් ලෙසද? නැතිනම් තේරුමක් නැති ඉදිරියට පවත්වාගෙන නොයායුතු දෙයක් ලෙසද? 

වඩා වැදගත් වන්නේ මේ වැඩසටහන හඳුන්වා දුන් අය ඊට පක්ෂව කියන ලද දේවල්වත්, ඊට විරුද්ධව පළවූ අදහස්වත් නොව, එම වැඩසටහන් ගැන අත්දැකීම් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ ගැන කුමක් අදහස් කරන්නේද යන්නයි. ඔවුන්ගේ ඇත්ත ආකල්ප සැඟවිය නොහැකිය. පළමුවෙන්ම එය දැනගන්නට ලැබෙනු ඇත්තේ පුහුණුවට ගිය ශිෂ්‍යයන්ගේ පවුල්වල සාමාජිකයන්ටය. එය නරක දෙයක් නම් විරෝධය පළකිරීම් පළමුවෙන්ම අසන්නට ලැබෙනු ඇත්තේ ඔවුන්ගේ නිවෙස්වලිනි. මෙම අලුත් අත්හදා බැලීමේ තවත් වැදගත් අදියරක් පවතී. 

ඔවුන් ඉංග්‍රීසි පුහුණුව හා පරිගණක පුහුණුව සඳහා විශ්වවිද්‍යාලවලින් පිටස්තර තවත් මධ්‍යස්ථානයකට යායුතුය. පුහුණු කිරීම සඳහා තෝරාගෙන ඇති හැම මධ්‍යස්ථානයක්ම අධ්‍යාපනය සඳහා යොදා ගැනෙන නවීන ආම්පන්නවලින් යුතු බවද කියනු ලැබේ. ඉගැන්වීම සඳහා තෝරාගෙන ඇති ගුරුවරුන්ට කේරළයට යවා විශේෂ පුහුණුවක් ලබාදී ඇති බවද කියනු ලැබේ. එහි පුහුණුවට එන හැම ශිෂ්‍යයකුම ඔවුන්ට තිබෙන දැනුමේ මට්ටම් පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණයකට යොමු කරන බවත් ඉන්පසු ඔවුන්ට ගැළපෙන මට්ටම් කිහිපයක් අනුව ඔවුන්ව ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය උගන්වන බවත් කියනු ලැබේ. ඉන්පසු ඔවුන්ට තමන් ලැබූ දැනුම උරගා බැලෙන විභාගයට මුහුණදීමට සිදුවනු ඇත. එක්තරා ප්‍රමාණයකට ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කළ හැකි හා පරිගණක සාක්ෂරතාවකින් යුතු ශිෂ්‍ය පිරිසක් ලෙස විශ්වවිද්‍යාලවලට යැවීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ. 

ඉතාමත්ම වැදගත් දේ මෙම පුහුණුවෙන් පසු හැම ශිෂ්‍යයකුටම උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කොට රැකියාවක් ලැබීමෙන් පසු පියවිය හැකි ක්‍රමයකට ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ලබාදීමය. මෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයෙහි හා දැනුම් විෂයෙහි ලොකු පෙරළියක් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කිරීමට තිබෙන හැකියාව වැඩිදුරටත් වර්ධනය වනු ඇත්තේය. තොරතුරු දැනුම වර්ධනය කොට විෂය දැනුමද වර්ධනය කරනු ඇත්තේය. දේශනවල විද්‍යුත් සටහන් ලබාගත හැකි ක්‍රමයක් ස්ථාපනය වනු ඇතැයි සිතිය හැකිය. ඉතා වැදගත් දේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉංග්‍රීසි භාෂාව විශාල ලෙස ප්‍රයෝජනයට ගන්නා හා සිය අධ්‍යාපන කටයුතු සඳහා පරිගණක භාවිත කරන ශිෂ්‍ය පිරිසක් බවට පත්වීමය. එය විශ්වවිද්‍යාල චින්තන රටාවේ සේ ම වැඩ කරන ශෛලියේ ද පෙරළියක් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. එය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ගෞරවය හා අභිමානය ලබාදෙන සාධකයක් ලෙස ද ක්‍රියාකරනු ඇත. 

ලැප්ටොප් වර්ගයේ පරිගණක යන්ත්‍රයක් ලබාදීම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අලුතෙන් එකතු වන ශිෂ්‍යයන්ට පමණක් ලැබෙන වරප්‍රසාදයක් බවට පත් නොකළ යුතුය. ඒ වරප්‍රසාදය දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත වී සිටින පැරැන්නන්ට ද ලබාදිය යුතුය. එසේ නොවතොත් එය භේදයක් ඇති කිරීමට හේතුවිය හැකිය. මේ ක්‍රමය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පමණක් සීමා නොකොට, සියලුම රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා ද යොදාගත හැකිය. කොටස් වශයෙන් වැටුපෙන් කපා ගන්නා ක්‍රමයට අඩුම මිලකට සියලුම ගුරුවරුන් සඳහා ද ලැප්ටොප් වර්ගයේ පරිගණක ලබාදෙන ක්‍රමයක් ඇති කළ හැකිය. ඒ මගින් ගුරුවරුන් ද පරිගණකවලින් වැඩ කරන තැනකට යොමු කළ හැකිය. රජයේ පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් වන අතර ඒ සියලුදෙනා පරිගණක භාවිත කරන තැනකට යොමුවේ නම් එය රටේ පරිගණක සාක්ෂරතාවයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු ඇත්තේය. ඒ තත්ත්වය ඔවුන් කෙරෙහි පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කෙරෙහිද බලපායි. ඒ මගින් ඇතිවන වැදගත්ම ප්‍රතිඵලයක් වනු ඇත්තේ රටේ ගුරු පරපුර නවීන ගුරු පරපුරක් බවට පත්වීමය.