18/06/2011, සිතුමිණි රත්නමලල
කල් ඇදීමෙන් හෝ අවසානයේ සරසවි ඇදුරන්ගේ ගැටළු වලට පිළිතුරු නොදී බැරි තැනකට රජය තල්ලු වෙමින් සිටී. සරසවි සිසු, පාසල් ගුරු, දෙමාපිය, රාජ්‍ය සේවක ආදී විශාල පිරිසක් ඒ සඳහා එකතු වෙමින් විශාල සහයෝගයක් දක්වමින් සිටිති. සටනද ආචාර්ය වරුන්ගේ වැටුප පිළිබඳ ප්‍රශ්ණයකින් එහාට ගිය නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම පිළිබඳ බරපතල තත්ත්වයක් සහිත එකක් බව සියල්ලෝ තේරුම් ගනිමින් සිටිති. රජය විසඳුම් දීම පැහැර හරින තරමට මීට සහයෝගය දක්වන්නට එක්වන්නට තවත් පිරිස් තීරණය කරමින් සිටිති.සිය මුග්ධ අත්තනෝමතිකත්වය මුදා හරින තරමට රටම විරුද්ධව නැඟී සිටින්නට හැකි වන පරිද්දෙන් මෙය සියළු බලවේග එක්වන මහා බලවේගයක් වෙමින් පවතී.
මේ සටන අනිවාර්යයෙන්ම දිනනු ඇත. සරසවි ඇදුරාට සිදුව ඇති අසාධාරණ කම් වලට යම් හෝ සහනයක් අවසානයේ ලබාගන්නට හකිවනු ඇත.ආණ්ඩුව ඉන් ගැලවී යා නොහැකි තරමට විවිධ ආකාරයෙන් කොටු වෙමින් සිටී. එහෙත් ඒ තනිව ලබන ජයග්‍රහණයක් නොවේ...... රටේ බොහෝ බලවේග එක්වී "ලබා දෙන" ජයග්‍රහණයකි.
රටේ මහජනතාව සරසවි ඇදුරාට ඒ සහයෝගය ලබා දෙන්නට එක් වෙමින් සිටින්නේ ඇයි? මේ ක්‍රියාමාර්ගය හුදෙක් "තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ" ක්‍රියාදාමයකින් එහා ජාතික වගකීමක් හා බැඳී ඇති බවත් ඒ සඳහා ඉතාමත් බුද්ධිමත් සහ සාර්ථක උපායමාර්ගික [ strategic ] ගමන් මඟක සරසවි ඇදුරන් ගමන් ගන්නා බවත් ඔවුන් තේරුම් හනිමින් සිටින නිසායි.....
"ජාතික" කර්තව්‍යයන් සඳහා සරසවි ඇදුරාගේ නායකත්වය පිළිගන්නට සහ සහයෝගය දෙන්නට තමා සූදානම් බව ඉතාමත් හිතෛශී ආකරයෙන් මහජනතාව විවෘතවම පෙන්වමින් සිටිති......... එයින් ගම්‍යවන කරුණ නම් අපේ රට, විශ්ව විද්‍යාල ආචාර්ය වරයාගෙන් දැනුම නිශ්පාදනය හා බෙදාහැරීමට අමතරව බලාපොරොත්තු වන තවත් දේ ඇති බවයි. එහෙයින් මේ සටන දිනීමෙන් පසු අනවරත ලෙස ඒ වගකීම බාරගන්නට සරසවි ඇදුරාට සිදු වනු ඇත. එය පැහැර හැරීමේ ගුණමකු බවක් සිදු නොවන බවට අපි ශපථ කළ යුත්තෝ වෙමු. ආදර්ශමත් නායකත්වය රට සරසවි ඇදුරන්ගෙන් ඉල්ලමින් සිටී........
එහිදී FUTA වෙත පැවරෙන වගකීම සුළු පටු එකක් නොවේ...
සිතුමිණි රත්නමලල
2011.06.18