Friday, June 17, 2011

විශ්වවිද්‍යාල ආචාර්ය වැටුප් හා පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන විමසුමක්‌

Divaina, 17/06/2011,

දරුස්‌මාන් වාර්තාවත් සමග ජාත්‍යන්තර වශයෙන් ඇති වූ තත්ත්වය හොඳ අතට හරවා ගැනීම සඳහා වසර ගණනාවක්‌ම වෙහෙසීමට රජයට සිදුවේ. එවැනි තත්ත්වයක්‌ තුළ දේශීය වශයෙන් ඇතිවන ගැටලුවලට ආණ්‌ඩුව භාවිත කරන උපක්‍රමවල වැරැදිසහගතභාවය හේතුකොටගෙන රටේ යම් යම් අංශ අර්බුදකාරී තත්ත්වයකට පත්කෙරෙන පරිසරයන් නිර්මාණය වේ. මේ අතර ප්‍රධාන ගැටලු කීපයක්‌ සාකච්ඡා කිරීමට මෙහිදී බලාපොරොත්තු වන්නේ අනෙකුත් ගැටලු පැනනඟින්නේද එවැනිම පසුබිමක්‌ තුළ බැවිනි. 

ප්‍රථමයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණදී ඇති වැටුප පහළ යැමේ ගැටලුව විසඳීමට කරන ලද ඉල්ලීමට ආණ්‌ඩුව ලබාදෙන ප්‍රතිචාරයේ ස්‌වභාවය හා මන්දගාමී බව හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමු. මේ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම ස්‌වෙච්ඡා තනතුරුවලින් ඉවත්වීම නිසා අධ්‍යයනාංශවල වගකීම් භාරගැනීමට කිසිවකු නොමැතිවීමෙන් අධ්‍යයන වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී මේ වන විට සති තුන ද ඉක්‌මවා ගොස්‌ ඇත. එමෙන්ම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස්‌ පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ප්‍රතික්‍ෂේප කරන බව ඔවුන් දන්වා ඇත. මෙවැනි තීරණවලට එළැඹ ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප පහළ යැම හුදෙක්‌ පඩිපත හා ජීවන තත්ත්වයට බලපාන සරල දෙයක්‌ නිසාම නොවේ. එනම් රටේ සමස්‌ත උසස්‌ අධ්‍යාපනය හා එහි ගුණාත්මකභාවය කෙරෙහිද බලපැවැත්වේ. ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) මේ බව පෙන්වාදී දැනටමත් විශාල කාලයක්‌ ගතවී මෙතෙක්‌ කල් ගියද ආණ්‌ඩුව මෙයට නිසි ප්‍රතිචාර ලබානොදීම වෙනුවෙන් ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට නොඑළඹියේ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ ආණ්‌ඩුවේ උත්සාහය ඉදිරියේ එම සියල්ල ඉවසා සිටිය යුතු බැවිනි. නමුත් වර්තමානය වනවිට තත්ත්වය වෙනස්‌ බව ආණ්‌ඩුවම ප්‍රකාශ කර ඇත. විපක්‍ෂයක්‌ නැති තරමට සියලු මන්ත්‍රීවරුන් ආණ්‌ඩු පක්‍ෂය වෙත පැමිණ ඇත. ජනතා විමුක්‌ති පෙරමුණ ඉතා සුළු පිරිසකට සීමාවී ක්‍රියාත්මකභාවය අඩුව ගොස්‌ ඇත. අනපේක්‍ෂිත හෝ හදිසි යුද වියදම් නැතිවී ගොස්‌ ඇති අතර දැන් දැරියයුතු වන්නේ කාලය අනුව සැලසුම් කළ හැකි වියදම්ය. පුනරුත්ථාපන හා ප්‍රතිසංස්‌කරණ වියදම් වුවද එසේ සැලසුම් කළ හැකි ඒවාය. ආයෝජනය හා විදේශ විනිමය තත්ත්වය යහපත් අතට හැරී ආර්ථිකය 8% ඉක්‌මවා වර්ධනය වෙමින් පවතී. මෙය හොඳින්ම පෙනෙන්නේ රාජ්‍ය ආයතන 230 කට අධික සංඛ්‍යාවක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ප්‍රධානීන්ගේ දීමනා දෙගුණය ඉක්‌මවා ඉහළ දමා තිබෙන ආකාරයෙනි. තම ඉල්ලීම් ලබා නොදීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර වන්නේත් මෙවන් පසුබිමක්‌ තුළයි. මෙයට ප්‍රතිචාර වශයෙන් ආණ්‌ඩුව භාවිත කළේ සාමාන්‍යයෙන් මෙතෙක්‌ ලංකාවේ කිසිම විටෙක භාවිත නොකළ අන්දමේ නුසුදුසු උපාය මාර්ග කීපයකි. එනම්, 

1. ඉල්ලීම් කුමක්‌ද යන්න අදාළ නිලධාරීන්ට පැහැදිලි නොමැති බවක්‌ පෙන්වීම සහ ඒ වෙනුවෙන් විශාල කාලයක්‌ වැය කිරීම.

2. අසත්‍ය ප්‍රකාශන මගින් සත්‍ය යටපත් කිරීමට උත්සාහ ගැනීම.

3. විශ්වවිද්‍යාල ආචාර්යවරුනට හා විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයට නින්දාකොට නිහඬ කිරීමට උත්සාහ ගැනීම.

4. වාචික තර්ජන.

5. චක්‍රලේඛ තර්ජන. 

6. නීතිමය උපක්‍රම.

මෙම උපක්‍රමවලට උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා සෘජුවම සම්බන්ධ වූ අතර අදාළ නිලධාරී පිරිස්‌ හා අවස්‌ථාවාදීහු අතළොස්‌සක්‌ ද සම්බන්ධ වූහ. නමුත්, මෙම උපක්‍රම හමුවේ ආචාර්යවරු තව තවත් ශක්‌තිමත් වූහ. එසේම මෙතෙක්‌ වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොවූ වෘත්තීය සංගම් ද එම ශක්‌තියට එක්‌ වූයේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීමෙන් අධ්‍යයන ප්‍රජාව දිගුකාලීනව මුහුණපා ඇති ප්‍රධාන ගැටලු රාශියකට විසඳුම් ලැබේ. ඒවා විශ්වවිද්‍යාල ඇදුරාට මෙන්ම සිසුවාටද ඉමහත් සේ වැදගත් වේ. සාපේක්‍ෂ වැටුප පහළ යැම හේතුවෙන් වෘත්තීය ගරුත්වය නැතිව යැම, උසස්‌ සුදුසුකම් සහිත නව ආචාර්යවරු බඳවා ගැනීමට නොහැකිවීම, දැනට සිටින ඉහළ සුදුසුකම් සහිත ආචාර්යවරු රඳවා ගැනීමට නොහැකිවීම යන ගැටලු මේ සරසවි ඇදුරු ඉල්ලීම ඉටුවීමෙන් විසඳේ. එහෙත් මෙම ගැටලු නිසි ලෙස සාකච්ඡාවට ගෙන සුදුසු පිළියම් නිශ්චිත වශයෙන් ම ලබාදීමට තවමත් රජය නිසි පියවර ගෙන නැත. එහෙයින් ඒ සඳහා අඛණ්‌ඩව ක්‍රියාත්මකවීම මෙවර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරමුණ වී තිබේ.

දෙවනුව අවධානයට යොමුකරන්නේ පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුප් යෝජනාව හේතුකොටගෙන ඇතිවූ අර්බුදයයි. සමාජ ආරක්‍ෂණ ක්‍රමයක්‌ වශයෙන් විශ්‍රාම වැටුප් ක්‍රම වෙත නැඹුරුවීම වර්තමාන ලෝක ප්‍රවණතාවය. විශ්‍රාම වැටුප සේවකයන්ගේ පැත්තෙන් වඩාත් වැදගත් වන්නේ ආයු අපේක්‍ෂණය ඉහළ ගොස්‌ ඇති සමාජයන් සඳහාය. ශ්‍රී ලංකාවේද ආයු අපේක්‍ෂණය සංවර්ධිත රටවලට ආසන්න ලෙස ඉහළ ගොස්‌ ඇත. එවන් තත්ත්වයක්‌ තුළ වැඩකරන ජනතාව විශ්‍රාම ගිය පසු තවත් දිගුකාලයක්‌ ජීවත්වීමට සිදුවන නිසාත් එසේ ජීවත්වීමට සිදුවන කාලයේ ඉපයීම් කිරීමට නොහැකි නිසාත් විශ්‍රාම වැටුපක්‌ තිබීම යෝග්‍ය ලෙසට සඳහන් කළ හැකිය. නමුත් එය අපේ රටට ගැලපෙන ආකාරයෙන් සකස්‌ වී තිබේද? එහි පවත්නා අඩු ලුහුඬුකම් කවරේද? පිළිබඳව කතා කළ යුතුව ඇත. එහෙත් ඒ පිළිබඳ මෙහිදී සැලකිල්ලට නොගන්නේ එය දැනටමත් ආණ්‌ඩුව විසින් ඉවත් කරගෙන ඇති බැවිනි. කෙසේ වෙතත් සෑම ප්‍රධාන ප්‍රශ්නයකදීම විරුද්ධ පක්‍ෂවලට දෝෂාරෝපණය කිරීමේ උපක්‍රමය වෙනුවට තම පක්‍ෂයේම දේශපාලනඥයන් හා අදාළ නිලධාරීන් නිසි ලෙස හසුරුවා ගැනීම වඩාත් වැදගත්ය. කුමන හොඳ දෙයක්‌ හෝ බලහත්කාරයෙන් කිරීමට අවශ්‍යතාවක්‌ නැත. උදාහරණ වශයෙන් ආණ්‌ඩුව සහල් සහනාධාරයක්‌ දෙන්නට තීරණය කළ හොත් එය ප්‍රතික්‍ෂේප කරන්නට පහර දීමට අවශ්‍ය වන්නේ නැත. මක්‌නිසාද? ඔවුන් මීට පෙර උතුර නැගෙනහිර සිටි මිනීමරු ත්‍රස්‌තවාදී ක්‍රියාවල යෙදෙන්නන් නොව, තම දහදිය මහන්සියේ උරුමය වෙනුවෙන් ඉල්ලීම් කරන්නන් බැවිනි. 

තුන්වැනි කාරණය ලෙස අවධානය යොමු කරන්නේ ආණ්‌ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමට ප්‍රවේශ වන අන්දම පිළිබඳවයි. පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ ඉතිහාසය ක්‍රි.ව. 859 තරම් ඈතට දිවගියද ඒවා බටහිර ලෝකය තුළ ව්‍යාප්ත වූවේද ඉතාමත් පසුකාලීනවයි. මෑත කාලයේ මෙය දියුණුවෙමින් පවත්නා රටවල ප්‍රවණතාවක්‌ බවට පත්ව ඇත. උසස්‌ අධ්‍යාපනය ලබන සියල්ලන්ටම සිසුන්ගේ ගාස්‌තු අයනොකර හෝ සම්පූර්ණ අයකිරීමක්‌ ඇතිව වුවද උසස්‌ අධ්‍යාපනය සැපයීමට රජයට තනිවම නොහැකිය යන අදහස පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට හේතු වන එක්‌ ප්‍රධාන කාරණයකි. නමුත් මෙහි ඇති සැබෑ ගැටලුව වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳ නොව ඒවා පිහිටුවීමට ආණ්‌ඩුව ප්‍රවේශ වන ආකාරය පිළිබඳවයි. උසස්‌ අධ්‍යාපනය යනු ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය තරම්ම නැතත් සමාජය මත විශාල වශයෙන් හොඳ ප්‍රතිඵල (ධන බාහිරතා) ජනනය කරන අර්ධ පොදු භාණ්‌ඩයකි. (Semi -
Public good) මෙවැනි භාණ්‌ඩයක්‌ (සේවාවක්‌) ප්‍රථම වතාවට වෙළෙඳපොළට විවෘත කරන විට විශේෂ කාරණා කීපයක්‌ කෙරෙහි සැලකිල්ල යොමුවිය යුතුය. ඉන් සමහරක්‌ උදාහරණ වශයෙන් දැක්‌වීමට පුළුවන.

ෆ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ අරමුණු මොනවාද? එනම් එමගින් විසඳීමට බලාපොරොත්තු වන්නේ කුමන ගැටලු ද?

ෆ අවසර දෙනු ලබන්නේ කුමණ ස්‌වභාවයකින් යුක්‌ත විශ්වවිද්‍යාල පිහිටුවීම සඳහා ද? එනම් ඒවා ලාභය අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ආයතන ද (For profit organizations) නැතහොත් ලාභය සඳහා නොවන ආයතන ද Not for profit
organizations)?

ෆ ඒවාට ශිෂ්‍යයන් හා කාර්යමණ්‌ඩල බඳවා ගැනීමේ පටිපාටිය කුමක්‌ද?

ෆ ඉගැනුම් හා ඉගැන්වීමේ කටයුතුවල ගුණාත්මකභාවය පාලනය සඳහා අනුගමනය කරන ක්‍රමය කුමක්‌ද?

ෆ රටේ උසස්‌ අධ්‍යාපනයට හා සමස්‌ත අධ්‍යාපනයට මෙමගින් ඇතිවිය හැකි බලපෑම කුමක්‌ද?

ෆ මෙම විශ්වවිද්‍යාල පර්යේෂණ සඳහා නැඹුරුකරන්නේ කෙසේද?

ෆ මෙම විශ්වවිද්‍යාල නිසා සමාජමය වශයෙන් ඇතිවිය හැකි ප්‍රතිඵල මොනවාද?

මෙම ගැටලු විශ්ලේෂණයට භාජන කිරීමෙන් අනතුරුව ලෝකයේ වෙනත් රටවල අත්දැකීම්වලින්ද ප්‍රයෝජන ලබා අපේ රටට ගැලපෙන අන්දමේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආකෘතියක්‌ සැකසීම මුලින්ම කළ යුතුය. එමෙන්ම, එම ආකෘතිය කෙතරම් හොඳ එකක්‌ වුවද එය හඳුන්වාදීමේදී විශ්‍රාම වැටුප හඳුන්වාදීමේදී අනුගමනය කළ ක්‍රමයෙන් රජය බැහැර විය යුතුය. ලෝකයේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ එක්‌සත් රාජධානියේ කරන ලද අධ්‍යයනයකට අනුව විවිධ රටවල අත්දැකීම් කීපයක්‌ මෙහිදී ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. පෞද්ගලික විශ්වවිද්‍යාල අතින් නම් දරා ඇති රට ඇමරිකා එක්‌සත් ජනපදයයි. ලෝකයේ විශ්වවිද්‍යාලවල හොඳකම අනුව පෙළගැස්‌මක්‌ කළ හොත් හාවර්ඩ් ඇතුළු ඇමරිකානු පෞද්ගලික විශ්වවිද්‍යාල කීපයක්‌ම එහි මුලටම පැමිණේ. නමුත් ඇමරිකාවේ එම විශ්වවිද්‍යාල පෞද්ගලික ඒවා වුවද, ඒවා රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් එතරම් වෙනස්‌ නොවේ. මක්‌නිසාද? මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල ලාභය අරමුණු නොකළ (Non - profit Organization) ආයතන වීමයි. මෙම අධ්‍යයනයෙන් හෙළිවන පරිදි එක්‌සත් ජනපදයේ විශ්වවිද්‍යාල මට්‌ටමේ උසස්‌ අධ්‍යාපන ආයතන ලාභය අරමුණු කරගත් හා නොගත් ලෙස බෙදී ගොස්‌ ඇත්තේ පහත දැක්‌වෙන අන්දමටය.



මේ අනුව පැහැදිලි වන්නේ ඇමරිකා එක්‌සත් ජනපදයේ තිබෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් 86% ක්‌ ම ලාභය අරමුණු නොකළ ආයතන බවයි. එනම්, ලාභය අරමුණු කළ ආයතන පවතින්නේ 14% ක්‌ වැනි සුළු ප්‍රතිශතයකි. උසස්‌ අධ්‍යාපන ආයතන අනෙකුත් වෙළෙඳ ආයතන මෙන් ලාභය අරමුණු කරගත් ඒවා බවට පත් වුවහොත් එම ආයතන තුළ අභ්‍යන්තරික වශයෙන් නිරායාසයෙන්ම ඇතිවන පිරිවැය අවම කිරීමේ ක්‍රියාවලිය නිසා නිෂ්පාදනය කරන උපාධියේ ගුණාත්මයද පහළ බසී. ලංකාවේ දැනට පවතින පෞද්ගලික පාසල්වලට සිදුව ඇත්තේ ද මෙම දෙයමය. පාසල්වලටත් වඩා උසස්‌ අධ්‍යාපනයේදී ආයතනවලට ලැබෙන ලාභය, ගුණාත්මය ඉහළ දැමීම සඳහා යොමු නොවන තත්ත්වය ඉහළය. මක්‌නිසාද? වෙනත් භාණ්‌ඩ හා සේවා පාරිභෝගිකයන් මෙන් නොව, මෙම ක්‍ෂේත්‍රයේ පාරිභෝගිකයන් වන සිසුන්ගෙන් බොහෝ පිරිසක්‌ උපාධියේ ගුණාත්මයට වඩා සහතිකපත්‍ර සුදුසුකම ලැබීමට යොමුවීමේ ප්‍රවණතාවක්‌ ඇති බැවිනි. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකරන විට ඒවා ලාභය අරමුණු නොකළ (Not for profit) ආයතන ලෙස ඇතිකළ හොත් ඒවායේ ලාභාංශ නිකුත් කළ නොහැක. යම් ලාභයක්‌ තිබේ නම් ඒවා සියල්ල නැවත එම විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහාම උදාහරණ වශයෙන් පාඨමාලා ගුණත්වය ඉහළ දැමීම, සේවක වැටුප් ඉහළ දැමීම, යටිතල පහසුකම් දියුණු කිරීම වැනි දේ සඳහාම යොමු කළ යුතුය. එයට සම්බන්ධ වන ව්‍යවසායකයන් ඇතුළු සියලුමදෙනාට හිමිවන්නේ ඔවුන්ගේ කාර්ය වෙනුවෙන් ගෙවීම්ය. 

කෙසේ වෙතත්, සමහර රටවල් ඇමරිකාව අනුගමනය කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ ද ඇමරිකාවේ මෙම තත්ත්වය හොඳින් තේරුම් නොගෙන කරන ලද හඳුන්වාදීම් තුළින් උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශාල අවුල් ඇතිකරගෙන තිබේ. මේ අනුව පෞද්ගලික අංශයට උසස්‌ අධ්‍යාපනය විවෘත කිරීමට විරුද්ධ වීමේ අවශ්‍යතාවක්‌ නැතත් එයට නිසි ආකාරයෙන් ගැලපෙන ආකෘතිය තෝරා නොගන්නේ නම් බංග්ලාදේශය වැනි රටවලට ඇතිවූ පරිදි අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකිය. අවසාන වශයෙන් කිවහොත් ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය නම් ඒ සඳහා යෝග්‍යවන්නේ භදඑ දෙර ඡරදසෙඑ ධරට්‌බසzaඑසදබ ආකෘතිය බව සඳහන් කළ හැකිය. 

ආචාර්ය චන්ද්‍රකුමාර පතිරගේ 
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය