Divaina, 05/06/2011, ආචාර්ය දර්ශනී ගුණතිලක
රජුන් අදමිටු වනවිට පිළිවෙළින් මැති ඇමැතිවරුන්ද බමුණු ගහපතියන්ද ආදී වශයෙන් පැමිණ අවසානයේදී සාමාන්‍ය ජනතාව දක්‌වාම ඒ අදමිටු බව පැතිරෙන බව පෙන්වා දුන්නේ බුදුන්වහන්සේය. එකල්හි සොබා දහම ද විපරීත වෙයි. විසම සුළං හමයි. භවභෝගයන්හි පුරුදු රස ගුණ වියෑකී යයි. ජනයා සෑම අතින්ම පාහේ ව්‍යසනයට පත් වෙයි. මහා සුපින ජාතකයට අනුව රටක පරිහානි සමයකදී සුදුස්‌සන් ඉවතට විසිවී නුසුදුස්‌සාටම තැන ලැබෙයි. වියතුන්ගේ, ප්‍රඥවන්තයන්ගේ බසට නොව අඥනයන්ගේ බසටම ගරු සැලකිලි ලැබෙයි.
ලංකාවේ වර්තමාන සමාජ දේශපාලන තත්ත්වය අවබෝධ කරගැනීම සඳහා මෙබඳු බුද්ධ දේශනාවකින් ලැබෙනුයේ නොමද පිටුවහලෙකි. මැති ඇමැතිවරුන් යනු රටක දේශපාලන හා සමාජීය යාන්ත්‍රණයේ නියමුවන් පිරිසකි. එබැවින් යම් ක්‍ෂෙත්‍රයක් සඳහා මැති ඇමැතිවරුන් පත්කිරීමේදී එම ක්‍ෂේත්‍රයෙහි ශක්‍යතා හා සීමා පිළිබඳ අදාළ පුද්ගලයාගේ දැනුම් සම්භාරය සලකා බැලීම බෙහෙවින් වැදගත් වෙයි. එහෙත් මෙම අවම නිර්ණායකය හෝ සැලකිල්ලට ගන්නා අවස්‌ථා මෙරටෙහි කෙතරම් විරලද? උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් කරන ලද පත්වීම්ම මේ සම්බන්ධ එක් උදාහරණයකි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයක් යනු රටක ඉතා ඵලදායී ක්‍රියාකාරිත්වයක් නියෝජනය කරන්නකි. රටට පමණක් නොව ගෝලීය අවශ්‍යතාවලටද සෑහෙන දැනුම සපයා දෙන විද්වතුන් බිහිකරන විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රියාත්මක වනුයේ මේ යටතෙහිද? අනාදිමත් කාලයක් මුළුල්ලෙහි මෙරටෙහි ඉහළ තනතුරු දැරූ අති බහුතරය විශ්වවිද්‍යාලවලින් පෝෂණය ලද පිරිසයි. පරිපාලන නිලධාරීන්, වෛද්‍ය වෘත්තිකයන්, ඉංජිනේරුවරුන්, විද්‍යාඥයන් හා හෙට දවසේ අනාගතයට යහමග පෙන්වන ගුරුවරුද ඒ අතර වෙති. මෙරට පමණක් නොව විදේශයන්හිද ඉහළ තනතුරු හොබවන, රටට කීර්තියක් අත්පත් කරදෙන පිරිස් වෙත්නම් ඉන් බහුතරයද මේ උපාධිධාරීහුම ය.
අධ්‍යාපනයේ විවිධ කඩඉම් පසුකරමින් අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා අනේක විධ දුෂ්කරතා යටතේ සිය උපාධිය සම්පූර්ණ කරගෙන සුදුසුකමින් පරිපූර්ණව විශ්වවිද්‍යාලයෙන් පිටවන මේ ජාතික සම්පත හැඳින්වීම සඳහා සිංහල භාෂාවේ කවර නම් වචනයක් යෝග්‍ය වන්නේද? දේශන පමණක් නොව ජීවිතයද හදාරා දුක සැප හඳුනාගෙන ඕනෑම කටුක වාතාවරණයක සිනාසී ජීවත්වන්නට හැකියාවක් ඇතිකරගෙන සමාජයට පිවිසෙන මේ ඵල සම්පත හුදෙක් කාලකණ්‌ණින් නම් ඔවුනට දැනුම බෙදන අප හැඳින්විය යුත්තේ කුමන වචනයකින්ද? උගතුන්ගෙන් ඵලප්‍රයෝජන ලබාගන්නටත්, දක්‍ෂයාට සුදුසු තැන දීමටත් පසුබට වන, හුදු දේශපාලනික බලය පමණක් සුදුසුකමක් වන කවර රටක වුවද උගතකු වීම එක් අතෙකින් පාපයක්‌ද විය හැකිය. අපේ දැනුමට අනුව නම් උණ පුරුකේ දමා තිබුණත් ඇද ඇරිය නොහැකිවා මෙන් අසංවර අපරිණතභාවය ප්‍රසිද්ධියේ හුවාදක්‌වන උපාධිධාරීහු ලංකාවේ සිටිත් නම් ඒ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි.
කෙසේ වෙතත් දැනුමෙහි, ප්‍රඥවෙහි හා එහි ඵලදායිතාවෙහි අගය තක්‌සේරු කිරීමට නම් විශාල දැනුම් සම්භාරයක් හා පරිණතභාවයක් අවශ්‍යය. මැණිකක අගය දන්නේ ඒ පිළිබඳ විශේෂඥයකු විනා අන්ධයකු නොවේ. තමා නායකත්වය දෙනු ලබන ක්‍ෂේත්‍රයෙහි අවම වශයෙන් වපසරිය හෝ දන්නා අය අදාළ තනතුරුවලට පත් කළ යුතු බව අප අවධාරණය කරන්නේ එබැවිනි.
රජයක් තම උපාධිධාරින් කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ මෑතක දිය හැකි හොඳම නිදසුන අසල්වාසී ඉන්දියාවයි. එරටෙහි තරුණ උපාධි අපේක්‍ෂකයෝ බොහෝ දෙනෙක් ඇමරිකාවේ හා ඕස්‌ටේ්‍රලියාවේ අධ්‍යාපනය හදාරති. 2008 - 2009 වර්ෂවල ඔවුන්ට විශාල ව්‍යසනයකට මුහුණ දීමට සිදුවිය. එනම් සැලසුම් කරන ලද රිය අනතුරුවලින් හෝ සෘජු පැහැර ගැනීම් හා වෙඩි තැබීම්වලින් සිසුන් මරණයට පත්වීමයි. මෙහි විශේෂත්වය වූයේ මේ සියලු දෙනාම තම උසස් අධ්‍යාපන ආයතනයන්හි ඉහළම ලකුණු මට්‌ටමක් හිමිකරගත් අතිදක්‍ෂයන් වීමයි. 2008 වර්ෂයේ පමණක් සිසුන් 28 දෙනකු අමෙරිකාවේදී ඝාතනය වූ අතර ඕස්‌ටේ්‍රලියාවේ සිසුන්ගේ ජීවිතවලට නොකඩවා මරණ තර්ජන එල්ල විය. ශාරීරික පහරදීම්වලට ලක්‌වූ සිසුන් බොහොමයක් ආපසු සිය රට බලා පැමිණියහ.
ඉන්දීය රජය මේ තත්ත්වයට ප්‍රතිචාර දැක්‌වූයේ කෙසේද? එම රටවල් මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් නොනැවතුනු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා පෞද්ගලිකවම ඇමරිකාවට ගොස් එවක ජනාධිපති බුෂ් මහතා සමග මේ පිළිබඳ සාකච්ඡා කළේය.
ඉන්දීය මධ්‍යම රජයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හා විදේශ අමාත්‍යවරයා ඕස්‌ටේ්‍රලියාවට ගොස් තම සිසුන්ට රාජ්‍ය රැකවරණ සලසන්නැයි ඉල්ලා සිටියහ. සති දෙකක් පමණ වූ කෙටි කාලයකින් මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට රජයට හැකිවිය. ස්‌වකීය උපාධි අපේක්‍ෂකයන්ගේ ඉරණම පිළිබඳ වගකීම රජය භාරගත්තේ ඔවුන්ගේ වටිනාකම නිවැරැදිව තක්‌සේරු කළ බැවිනි. එපමණක් නොව නායකත්වය යනු ශාරීරික ශක්‌තියෙන් ඔබ්බට ගිය ආකල්ප වර්ධනයකින්ද යුක්‌ත වූවක් බව ඔවුහු ආදර්ශයෙන් පෙන්වා දුන්හ. එහෙත් ලංකාවේ උපාධිධාරීන්ගේ ගරුත්වය හෙළාදැකීමේ නායකත්ව ප්‍රයත්නයෙන් පෙනී යන්නේ ආකල්ප වශයෙන් පවත්නා ජාතික පරිහානිය විනා අන් යමක් නොවේ.
උපාධිධාරින්ට මඟපෙන්වන ආචාර්යවරුන් සම්බන්ධව ද මෙරට බුද්ධිමත් ජනතාව දැනුවත් වීම වටී. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනු උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතැම් රූපවාහිනි නාලිකාවක නිර්වචනය කරන පරිදි බඩගෝස්‌තරවාදීන් පිරිසක් නොවේ. බොහෝ වෙහෙස මහන්සියෙන් හා කැපවීමෙන් අධ්‍යයන කටයුතුවල නියෑළී පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලබාගන්නා සිසුන් පමණක් තාවකාලික කථිකාචාර්ය තනතුරකට අයෑදුම් කිරීමේ අවම සුදුසුකම ලබාගනී. විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන්ම ස්‌වාධීන පර්යේෂණ ද තනතුර ලබාගැනීමේ සුදුසුකම් අතර වෙයි. මේ ඉහළ කඩඉම් පැන සේවයට බැඳෙන ඔවුන් වසර 3-8 දක්‌වා කාලයක් තුළ පශ්චාත් උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතුය. අනතුරුව ආචාර්ය උපාධිය සඳහා විදේශයකදී (වසර 5-7 පමණ) විඳිය යුතු අනේකවිධ දුක් ගැහැට දන්නේ සැබෑ වශයෙන්ම පර්යේෂණ සුදුසුකම් සපුරා ආචාර්ය උපාධිය දිනාගත් අයකු මිස සම්මාන උපාධියකින් බැබලෙන්නකු නොවේ. කෘතහස්‌ත දේශපාලනඥයන් වන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හෝ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මේ කරුණ සම්බන්ධයෙන් මා හා එකඟ වනු ඇත.
විදේශගතව පශ්චාත් උපාධි හැදෑරූ ආචාර්යවරුන් 550 ක් පමණ ලංකාවේ සේවයට වාර්තා කර නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. ඔවුන්ට දොසක් කිව නොහැක්‌කේ තම සුදුසුකම්වලට සරිලන හා විශේෂයෙන්ම ඊට ගරු කරන එනිසාම ඉහළ වැටුපක් ලබාදෙන ප්‍රජාවකට සේවය කිරීමට ඕනෑම අයකු නිරායාසයෙන්ම පෙළඹෙන බැවිනි. එහෙත් තමා ලද දැනුමින් රටටත් අහිංසක සිසු දරුවන්ටත් සේවය කිරීමට කෘතවේදීව මෙරටට පැමිණි, දැනට විශ්වවිද්‍යාලවල රැඳී සිටින ආචාර්යවරුන් වෙනුවෙන් රජය මෙයට වඩා සැලකිලිමත් විය යුතුය. මෑතදී ආරම්භ වූ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධව රජයේ වගකිවයුත්තන් දැක්‌වූ ප්‍රතිචාරය, මේ නොසැලකිලිමත්භාවයට මනා නිදසුනකි. ඔවුන් වැටුප් ඉල්ලා සිටිනුයේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ඉදිරියේ තම වෘත්තීය ගරුත්වයද පාවා නොදී තවදුරටත් නැගී සිටීමේ හැකියාවක් නොමැති බැවිනි.
වෛද්‍ය, ඉංජිනේරු, නීති, කළමනාකරණ සමාජ හා මානව විද්‍යා ආදී ක්‍ෂේත්‍ර නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙරට අතහැර ගොස් වඩාත් ආකර්ෂණීය වැටුප් හා යටිතල පහසුකම් ඇති රැකියා ලබානොගන්නේ ඔවුන්ගේ නොහැකියාව නිසා නොවන බව වගකීමෙන් ප්‍රකාශ කළ යුතුය. සියලු කෙනෙහිලිකම් මැද ඔවුන් තවදුරටත් රැඳී සිටින්නේ මෙරට දරුවන්ගේ සුබසිද්ධිය තකා විනා පෞද්ගලික ලාබ ලැබීමේ පටු ෙච්තනාවෙන් නොවේ.
රටක සංවර්ධනය යනු වරාය, ගුවන් තොටුපළ, ගුවන් පාලම් හා අධිවේගී මාර්ග පමණක් නොවේ. එම භෞතික සංවර්ධනය ද අවශ්‍යය. එහෙත් රටක වසන ජනයාගේ චර්යාව, සාරධර්ම, ආකල්ප මෙන්ම දැනුම් සම්භාරයද විශේෂයෙන් ගණනය කළ යුතුය. අප රටේ ආදායම සීඝ්‍රයෙන් පිටතට ඇදී යන ප්‍රධාන මාර්ගයක් වන්නේ විදේශවලින් අධ්‍යාපනය ලැබීමයි. ඒ සඳහා විසඳුමක් වන්නේ බස් නැවතුම් පළවල් ඉදිවන්නා සේ පළාත් විශ්වවිද්‍යාල හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිකිරීම නොව පවත්නා විශ්වවිද්‍යාලයන්හි යටිතල පහසුකම් වර්ධනය කර අනුබද්ධ පශ්චාත් උපාධි ආයතන පිහිටුවා ඒවායේ ගුණාත්මකභාවය වර්ධනය පිණිස රජයේ සෘජු මැදිහත්වීමයි. කළයුතු දේ පසෙක තබා "නව අදහස්" ලේබලය යටතේ උසස් අධ්‍යාපන පද්ධතිය විනාශ කිරීමට අරඅඳින අත්තනෝමතික දේශීය බලවේග පිළිබඳ වත්මන් බුද්ධිමතුන් සංවාදයට එළඹිය යුතු කාලය මෙය බව අවධාරණය කර සිටිමු.
ආචාර්ය දර්ශනී ගුණතිලක,
පේරාදෙණිය සරසවිය.