Sunday, May 15, 2011

ආචාර්ය හා රථාචාර්ය

Gadfly Zone, මැයි 14, 2011,

-එම්බල අමාත්‍ය ! කිමද තා කණස්සලෙන්?


- ස්වාමිනි මේ විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රශ්නය මා පෙළයි. රාත්‍රියන්හි පවා මාහට නින්දක් නැත. නොයෙක් නපුරු සීන දැක බිය වී ගත දහදියෙන් තෙමී අවදි වෙයි.

- කිමෙක්ද අමාත්‍ය මේ විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රශ්නය ? එවැන්නක් ඇතැයි මා මෙතෙක් කල් දැන සිටියේ නැහැ නොව.

-( අපොයි තොත්ත බබා ,මුකුත් දන්නේ නැහැ )
රජතුමනි, මම මෙය සුළු ප්‍රශ්නයකි යි සිතුවෙමි. මෙවන් සුළු ප්‍රශ්නයකින් ඔබ තුමන් වෙහෙසීම නොමනා යයි සිතුවෙමි.

- ඊට කම් නැත. ඉදින් දැන් වත් මා දැනුවත් කරනු

- මෙයයි ප්‍රශ්නය උතුමාණනි, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය කුඩාචාර්ය පිරිස් ඔවුනට ලැබෙන වැටුප් මද යැයි පවසති. ඔවුන් මහා ඝෝෂා කරමින් ඔබටද මටද අපහාස කරති.යක්ෂයන් මෙන් මා අනුභව කරන්නටම සැරසෙති.

- ආහ් ,ඇමතිය, ඔවැනි යකුන් පලවා හරින මන්ත්‍රය මතුරා බැලුවේ නැතිද?

-කිමෙක්ද ස්වාමිනි ඒ බලගතු මන්ත්‍රය?

- ආහ් තොප එය දන්නේ නැතිද? තා කෙසේනම් ඇමතිකම් කරයිදැයි මා නොදනිමි . තොප අර මල්වංශ ඇමති ආදර්ශයට ගත යුතුය. ඔහු සෑම විටම ඒ මන්ත්‍රය මතුරමින් සිටි .

- සමා වෙන්න දේවයන්වහන්ස මට මන්ත්‍රය කියා දුන මැනව.

- ලියාගනුව ඇමතිය ,

” බටහිර බලවතුන් අපරට ආක්‍රමණය කිරීමට සැරසෙන මේ මොහොතේ වැඩි වැටුප් ඉල්ලන්නෝ දේශද්‍රෝහීන්ය ”

මේ මන්ත්‍රය එකසිය අට වරක් මතුරා තුන්වරක් බිමට කෙල ගැසූ විට ඕනේ යකෙක් මෙල්ල කල හැකියි ඇමතිය.

- අහෝ දේවයන්වහන්ස , මම එම මන්ත්‍රයත් මතුරුවෙමි. එහෙත් මේ විශ්වවිද්‍යාල යක්ෂයන් මෙල්ල කිරීමට නොහැකි විය. මට අලුත් මන්තරයක් කියා දුන මැනව.

- එම්බල ඇමතිය ,එසේනම් මන්ත්‍ර වලින් පලක් නැත. වෙනත් පැලෑනක් ගැසිය යුතුය.

-එසේය දෙවන්වහන්ස

- එසේය එසේය කියමින් නොසිට මදක් කල්පනා කරව

- එසේය,ස්වාමීනි

- නොදකින් මෙහෙම ඇමතියෝ ,

- එසේය ස්වාමීනි

- ඇමතිය , දැන් ඔය ආචාර්ය වරුන් හැර තවත් අය විශ්ව විද්‍යාල තුල සිටීද?

- එසේය ස්වාමීනි, ශිෂ්‍යයෝ

-උන් කවුද ගණන් ගන්නේ ඇමතිය. උන්ට අපි වැටුප් ගෙවන්නේ නැහැ නොව. ඔය ශිෂ්‍යයනුත් ආචාර්යවරුනුත් හැර වෙන කිසිවෙක් නැතිද?

- සිටී ස්වාමීනි , විධායකයින්

- ආහ් ! විධායකයින් !! මගේ සිතෙහි යම් පැලෑනක් ඇඳෙමින් තිබේ ඇමතිය. ඔය ආචාර්යවරුත් ශිෂ්‍යයොත් විධායකයොත් හැර වෙන කිසිවෙක් විශ්ව විද්‍යාල තුල නැතිද ඇමතිය. ?

- සිටී ස්වාමිනි , ඇයි රථාචාර්ය වරුන්

-රථාචාර්ය වරුන් ! කදිමයි , ඇමතිය,කදිමයි දැන් කදිම පැලෑනක් ගැසිය හැක. එම්බල ගසව හොඳ පැලෑනක් .,

-එසේය ස්වාමිනි

- හෙසේ හෙසේ නොවේ, ඉක්මනට ගසපිය

- එසේය එසේය මෙන්න පැලෑන , මම වහාම ගොස් විධායකයින් කීප දෙනෙකුට අත්ලස් දී ආචාර්යවරුන්ට වැටුප් වැඩි කළහොත් උනටද වැටුප් වැඩි කරන මෙන් ඉල්ලා සිටින්නට පොළඹවමි . උන් ඝෝෂා කරන හඬින් ආචාර්ය වරුන්ගේ හඬ යටපත් වනු ඇත.

- නියමයි, ඇමතිය, ඒ අතර ජනතාවට මම මෙසේ කියන්නෙමි.

“විශ්ව විද්‍යාල ආචාර්යවරුනට වැටුප් වැඩි කල හොත් රථාචාර්ය වරුන්ටද වැටුප් වැඩි කිරීමට සිදුවෙනු ඇත. මක් නිසාද යත් උන්ද ආචාර්යවරුන් බැවිනි. එය කිසිසේත් ප්‍රයෝගික කටයුත්තක් නොවේ. මක් නිසාද යත් පසු ගිය කාලයේ වෙද හල බාරව සිටි බඩ පත ඇමැත්තා ඌව දිසාවෙන් පමණක් අසූ කෙළක් ජනයා රථාචාර්ය වරුන් වශයෙන් බඳවා ගෙන ඇත. දැන් සිටින එකා ඊට දෙවෙනි නැත. එසේ හෙයින් උන් සියලු දෙනාට වැටුප් වැඩි කිරීමට සිදු වුවහොත් රාජ භාණ්ඩාගාරයද සිස් වනු ඇත. එම නිසා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ටද වැටුප් වැඩි කල නොහැක. “

- නියමායි,මහරජ නියම ටිකිරි මොලේ. බොල බූරු පුතේ අපි යන්ට යමු … වැඩක් දෙන්ටා