Saturday, May 28, 2011

මමත් කියන්නේ පඩි වැඩිවෙන්න ඕන කියලා තමයි! - උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක

Divaina, 29/05/2011, උදේශ සංජීව ගමගේ

මමත් කියන්නේ පඩි වැඩිවෙන්න ඕන කියලා තමයි!
උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක

විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වැටුප් අර්බුදය හා විශ්වවිද්‍යාල සිසු නායකත්ව පුහුණු වැඩමුළු සම්බන්ධයෙන් මතුව ඇති අර්බුද මේ වනවිට දේශපාලන කරළිය තුළ ප්‍රධාන මාතෘකාවක්‌ බවට පත්ව තිබේ.

උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා සිය අමාත්‍යාංශය බාරගත් දින පටන් විටින් විට මතුව එන විවිධ අර්බුද අතර මෙය සුවිශේෂ වන්නේ එස්‌. බී. අමාත්‍යවරයා කරනු ලබන බොහෝ ප්‍රකාශ ඉතා උණුසුම් බැවිනි. මේ සාකච්ඡාව ද ඒ උණුසුම පිළිබඳවය.

ප්‍රශ්නය - ඔබ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය බාරගත් දින සිටම දිගින් දිගටම අර්බුද මතුවන්නේ ඇයි කියන එකට උත්තරයක්‌ දැනගන්න කැමැතියි.

පිළිතුර - එහෙම අර්බුදයක්‌ නැහැනේ... මට පෙන්නන්න එහෙම එක අර්බුදයක්‌.

ප්‍රශ්නය - එකක්‌ නොවෙයි... ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් සම්බන්ධයෙන් අර්බුද දෙකක්‌ තියෙනවා.

පිළිතුර - ඒක අපි අමාත්‍යාංශය බාරගත්ත නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්‌ නොවෙයිනෙ, විශ්වවිද්‍යාල ඇතුළේ තිබුණු ප්‍රශ්න....

ප්‍රශ්නය - නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්න පටන් ගන්නේ ඔබ අමාත්‍යාංශය බාරගනිද්දී, කියූ ඔවුන්ගේ වැටුප් විශාල වශයෙන් වැඩිවිය යුතුයි කියන කතාවත් එක්‌කයි...

පිළිතුර - මේ කාරණය ගැන මම දිගින් දිගටම පැහැදිළි කිරීම් කරලා තියෙනවා. ඒත් මාධ්‍ය පවා මේ දිහා බලන්නේ ඉතාම වැරැදි විදිහට. මේක අද ඊයෙක ඇතිවුනු ප්‍රශ්නයක්‌ නෙමෙයි... ඔව් මම අදත් කියන්නේ ඒ අයගේ වැටුප් වැඩිවෙන්න ඕන කියන එක තමයි. ඒ අයගේ වැටුප් ලක්‍ෂ දෙකකට වඩා වැඩිවෙන්න ඕන.... එහෙම වැටුපකට ගියොත් අපිට පුළුවන් පිටරට ගිහින් ඉන්න අපේ උගතුන් පිරිසත් නැවත ගෙන්න ගන්න. ඒත් මේක භාණ්‌ඩාගාරයෙන් සල්ලි අරන් කරන්න පුළුවන් දෙයක්‌ නොවෙයි. ඔයා ඔය කියන කතාවේ දී මම මේටිකත් කිව්වා... ඒත් ඒවා හලලයි ඔයාලා කතා කරන්නේ... ලෝකයේ අනික්‌ රටවල් එක්‌ක බැලුවොත්, ඒ රටවල විශ්වවිද්‍යාල කියන්නේ විශාල වශයෙන් මුදල් උපද්දන ආයතන. අපේ අසල්වැසි රට ඉන්දියාවේ මේක සාර්ථකව කරගෙන යනවා. අපි මේ රටේ විශ්වවිද්‍යාල වලට විදේශ ශිෂ්‍යයන් ඇතුළත් කරගැනීම මගින්, අධ්‍යයන අවස්‌ථා සහ පාඨමාලා පුළුල් කරගැනුම මතින් හා තවත් බොහෝ ක්‍රම මගින් මේ මුදල් උපද්දවීමේ කාර්යය කරන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔය කියන කාරණය ගැඹුරින් විග්‍රහ කළොත් නිදහස්‌ අධ්‍යාපනයටත් වළකපන ක්‍රියාවලියක්‌ විදිහටයි පේන්නේ.

පිළිතුර - නැහැනේ... නිදහස්‌ අධ්‍යාපනය තව තවත් පුළුල් වෙනවා. ඒ විතරක්‌ නොවෙයි, නිදහස්‌ අධ්‍යාපනය තවදුරටත් සුරක්‍ෂිත වෙනවා.

ප්‍රශ්නය - ආචාර්ය වැටුප් ප්‍රශ්නය ගැන කතා කළොත්, 1970 කලින් වැටුප් ව්‍යqහය තුළ ආචාර්ය වැටුප් ස්‌ථානගත කර තිබුනේ මහ බැංකුවට සමාන්තරව. නමුත්, ඊට මදක්‌ ඉහළින්. ඒත් මේ වෙනකොට එහි ප්‍රබල විෂමතාවන් දකින්න ලැබෙනවා.

පිළිතුර - ඔව් ඉස්‌සර එහෙමයි... මහ බැංකුවට වඩා පොඩ්ඩක්‌ උඩින් තමයි විශ්වවිද්‍යාල ආචාර්ය වැටුප් තිබුණේ. හැබැයි ඒක වෙනස්‌ කළේ අපි නොවෙයි එ.ජා. පක්‍ෂයයි. එ.ජා.ප.ය භාණ්‌ඩාගාරයෙන් නඩත්තුවන හා නොවන ලෙස වර්ගීකරණයක්‌ කළා. එතකොට මහ බැංකුව, වරාය, විදුලිබල මණ්‌ඩලය, තෙල් සංස්‌ථාව මේ ආදී තැන් මුදල් උපයන ආයතන. ඒ නිසාම ඒ ආයතනවලට වැටුප් වැඩි කරගැනීමට ඉඩ දුන්නා. නමුත් භාණ්‌ඩාගාරයෙන් නඩත්තු වන ආයතන වලට එහෙම කරන්න බැහැ. විශ්වවිද්‍යාල වලටත් ඒ වගේ මුදල් උපයන ආයතන බවට පත්වෙන්න පුළුවන්. එතකොට පඩිත් වැඩිකර ගන්න පුළුවන්. හැබැයි ඒක කරන්නනම් ඒකට සූදානම් වෙන්න ඕන. ඒ නිසා තමයි මෙවර සියයට පහක්‌ පමණ විදේශීය ශිෂ්‍යයන් ගන්න කිව්වේ. සියයට දහයක විදේශීය ශිෂ්‍යයන් ගත්තොත් විශ්වවිද්‍යාලයකට විශාල ආදායමක්‌ උපයාගත හැකියි. එතකොට විශාල වශයෙන් ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකරගන්න පුළුවන්. ඒකට විශ්වවිද්‍යාල සූදානම් විය යුතුයි.

ප්‍රශ්නය - මේ ගැන ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී, ආචාර්යවරුන්ට වැටුප් මදි බව තමාත් පිළිගන්නා බව කියා තිබුණා.

පිළිතුර - ඔව්.... හැබැයි මේ මොහොතේ වැටුප් වැඩිකරන්න බැරි ඇයි කියන එකත් එතුමා කිව්වා. තවත් සාකච්ඡාවක්‌ අපි තුන්වෙනිදාට පවත්වනවා. හැබැයි, මම ඔබට මතක්‌ කරගන්න මේ කියන්නේ, මෙවර අයවැයෙන් පවා 36.25% (සියයට තිස්‌හයයි දශම දෙකයි පහක්‌) දුන්නා. රජයේ අනික්‌ සියළු සේවකයන්ට අත්තේ සියයට පහයි. ඒ ගාණත් අරගෙන තවත් සියයට එකසිය හතලිහක්‌ ඉල්ලනකොට කොහොමද ඒක දෙන්නේ කියන එකත් සාධාරණව හිතන්න ඕන.

ප්‍රශ්නය - ආරම්භයේදීම ඔබ අර්බුද නැහැ කියලා කිව්ව. ශිෂ්‍යයන් සම්බන්ධයෙන් අර්බුද තියෙනවා. හමුදා පුහුණුව සම්බන්ධයෙන් මතුවෙලා තියෙන්නෙත් එහෙම ප්‍රශ්නයක්‌.

පිළිතුර - නැහැ... ඒ යෙදුම වැරදියි. හමුදා පුහුණුවක්‌ නොවෙයි. අපි දෙන්නේ නායකත්ව පුහුණුවක්‌.

ප්‍රශ්නය - නායකත්ව පුහුණුව කියන ක්‍රියාවලිය තුළ සිදුවන දේ විග්‍රහ කරන්න....

පිළිතුර - විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අපි නායකත්ව හා ධනාත්මක චින්තනය පිළිබඳ දවස්‌ විසි එකක වැඩමුළුවක්‌ තියෙනවා. එහිදී අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පිළිවෙළකට, කලාවකට, වෙලාවකට අනුව වැඩ කරන්නත්, තමුන්ට එල්ලවෙන තර්ජන ගර්ජන අභියෝග වලදී ඊට මුහුණ දෙන්නත්, සුදුසු මානසික ඒකාග්‍රතාවයක්‌ ගොඩ නගනවා. ඒත් එක්‌කම ශාරීරික යෝග්‍යතාවය ආරක්‍ෂා කරගැනීම සඳහා අවශ්‍ය පුහුණුවක්‌ දෙනවා. ඒ විතරක්‌ නොවෙයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳවත් අවබෝධයක්‌ දෙනවා. හැබැයි මේ හැම එකකටම වඩා අපි "විනය" පිළිබඳ පූර්ණ අවබෝධයක්‌ ලබාදෙනවා.

ප්‍රශ්නය - ඒ කියන්නේ මේ වෙනකොට විනය ගැන අවබෝධයක්‌ නැති අයද විශ්විවිද්‍යාල වල ඉන්නේ.

පිළිතුර - විනය ගැන අවබෝධයක්‌ නැති විනය පිරිහුනු අය ඉන්න නිසා නේන්නම් විශ්වවිද්‍යාල තුළ අමානුෂික වද හිංසා, කළ කෝලහල ඇතිවෙන්නේ. විනය හොඳටම පිරිහී විශ්වවිද්‍යාල වල ශිෂ්‍යයන්ට කියන දෙයක්‌ තමයි සමහර ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල තුළ අහිතකර ක්‍රියාවල යෙදෙන බව. ඒ කියන්නේ ශිෂ්‍යයන් මත්පැන් භාවිතයට ඇති පුරුද්ද වැඩියි, බොහෝ දෙනෙක්‌ පුස්‌තකාල වලට යනවා අඩුයි කියලයි ඒ අය කියන්නේ.

මේ ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්නේ මහ තරගයකට මුහුණ දීලයි. රෑ දවල් නැතුව ඒ ලෙවල් වලට පාඩම් කරනවා. සවස පුරාම ටියුෂන් පංතිවලට යනවා. එහෙම ගිහින් විශ්වවිද්‍යාලවලට සමත් වෙලා ඇවිත් දේශනවලට, පුස්‌තකාලවලට නොගොස්‌ වෙනත් දේවල් වලට යොමුවෙනවානම් එතැන වින්‍ය පිරිහීමේ ප්‍රශ්නත් තියෙනවා. පොඩ්ඩක්‌ නොවෙයි ගොඩක්‌ම... විශ්වවිද්‍යාල ක්‍රීඩා ආචාර්යවරු ගෙන්වලා පොඩි ව්‍යායාමයක්‌ හරි කරන ළමයි කොච්චර ඉන්නවද කියලා අහුවම සියයට හතක්‌-අටක්‌ කියලා තමයි තියෙන්නේ. ඒක ඉතාම අඩු ගාණක්‌.

ප්‍රශ්නය - නමුත් විශ්වවිද්‍යාල තුළ උළෙලවල්, ක්‍රීඩා උළෙලවල් මේ ආදී සිසුන් සංවිධානය කරන බොහෝ ඉසවු තුළ ඔය කියන අර්බුදය අපි දැක්‌කේ නැහැ.

පිළිතුර - නැහැ දකින පෙනෙන දේට වඩා දේවල් මෙතන තියෙනවා. විනය පිරිහීම කියන එක ඒ විදිහට හොයන්න බැහැ. විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයෝ පිරිසක්‌ තවත් ශිෂ්‍යයන් පිරිසකට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්නෙම නැහැ. ඉංග්‍රීසියෙන් කතාකරන්න, පුස්‌තකාලවලට යන්න දෙන්නේ නැහැ. නවක ශිෂ්‍යයෙකුට කථිකාචාර්ය වරයෙකු සමග කතා කරන්න දෙන්නේ නැහැ. එහෙම කළොත් ගහනවා. ඒවා විනය ප්‍රශ්න නොවෙයිද? ඒවා හැදෙන්න ඕන...

ප්‍රශ්නය - මේ පුහුණුවට හමුදා කඳවුරුම තෝරාගත්තේ ඇයි...

පිළිතුර - වෙන තැනක්‌ යෝජනා කරන්න මට ඔයා...

විසි දෙදහසකට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ කණ්‌ඩායම් ගත කළත් ඒවාගේ පිරිසක්‌ සති තුනක කාලයක්‌ රඳවාගෙන පුහුණු කළ හැකි තැනක්‌ නැහැ. කුස්‌සි තියෙන, පිට්‌ටනි තියෙන, වැසිකිළි - කැසිකිළි පහසුකම් තියෙන නේවාසිකාගාර වෙන තියෙනවනම් මට කියන්න.

ප්‍රශ්නය - නායකත්ව පුහුණුවකට වඩා මිල්ටරිකරණය වූ මානසිකත්වයක්‌ ඔවුන් තුළ ගොඩනැගෙන්ඩ ඇති ඉඩකඩ වැඩියි නේද ඇමැතිතුමා...

පිළිතුර - මොකක්‌ද මිලිටෙරි කරණය කියන්නේ... මෙතන බෝම්බ පුපුරවන්න, වෙඩි තියන්න, ගරිල්ලා සටන් කරන පුහුණුවක්‌ නොවෙයිනේ දෙන්නේ.

එතනදී, වෙලාවට වැඩකිරීම හා නිසි පරිදි කාර්යයන් වල යෙදීම ගැනයි උගනවන්නේ.

ප්‍රශ්නය - සියළු පහසුකම් තියෙන තැන් හැටියට හමුදා කඳවුරු තෝරා ගත්තා කිව්වට නැගෙනහිර පළාතේ කඳවුරක වැසිකිළි පහසුකම් හා ජලය පිළිබඳ ගැටළුවකට ශිෂ්‍යයන් පිරිසක්‌ මුහුණ දුන් බව කියනවා.

පිළිතුර - සමස්‌තය තුළ එක පුංචි වරදක්‌ විශාල දෙයක්‌ හැටියට මවන්න එපා... ඒ වරදත් ඉක්‌මනටම නිවැරැදි කළා.

ප්‍රශ්නය - පුහුණුව අනිවාර්ය යද?

පිළිතුර - ඔව්.... විශ්වවිද්‍යාලවලට තේරුණු ළමයි ඒ පුහුණුව ලබාගත යුතුයි.

ප්‍රශ්නය - පුහුණුව නොලබපු අය විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගන්නේ නැද්ද?

පිළිතුර - නෑ... නෑ... එහෙම තීන්දුවක නැහැ. නමුත් ඒක ඒ අයට විශාල පාඩුවක්‌. මේක ඒ අයගේ ජීවිතයේ විශාල පරිවර්තනයක්‌ කරයි. ලබන සැරේ අපි මේක මාස දෙකක පුහුණුවක්‌ බවට පත්කරනවා.

සකච්ඡා කළේ
උදේශ සංජීව ගමගේ