Tuesday, May 31, 2011

සරසවි තුනක අංශ ප්‍රධානීන්ගේ ඉල්ලා අස්‌වීමේ ලිපි භාරගැනීමෙන් වළකින්න

Divaina, 31/05/2011,සරත් ධර්මසේන

අභියාචනාධිකරණය උපකුලපතිවරුන්ට නියෝග කරයි

ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ සහ වයඹ විශ්වවිද්‍යාලවල අංශ ප්‍රධානීන් ඉදිරිපත් කර ඇති ඉල්ලා අස්‌වීමේ ලිපි භාරගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය ඊයේ (30 වැනිදා) එම විශ්වවිද්‍යාල තුනේ උපකුලපතිවරුන්ට හා සනාතන සභාවල සාමාජිකයන්ට නියෝග කළේය. විශ්වවිද්‍යාල තුනේ අංශ ප්‍රධානීන්ට පැවැරී ඇති කාර්යන්වලින් ඉවත්ව සිටීමෙන් ඔවුන් වළක්‌වන නියෝගයක්‌ද අභියාචනාධිකරණය විසින් ඒ සමග නිකුත් කරන ලදී.

අභියාචනාධිකරණයේ සභාපති සත්‍ය හෙට්‌ටිගේ සහ විනිසුරු උපාලි අබේරත්න යන මහත්වරු එම අතුරු නියෝග නිකුත් කළේ විශ්වවිද්‍යාල තුනේ අවසාන වසරේ ඉගෙනීම ලබන සිසුන් තිදෙනකු විසින් වෙන වෙනම ගොනුකර තිබූ පෙත්සම් හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊයේ විවෘත අධිකරණය හමුවේ දැක්‌වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

විශ්වවිද්‍යාල තුනේ කුලපතිවරු, උපකුලපතිවරු, සනාතන සභාවල සාමාජිකයන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක, එම අමාත්‍යංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් උසාවි කැඳවා පෙත්සම් පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමටද විනිසුරු මඩුල්ල තීරණය කළ අතර එකී නියෝග පෙත්සම් විභාග පවත්වා අවසන් තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරන තුරු බලපැවැත්වෙනු ඇත.

අප්පුහාමිලාගේ හරිස්‌චJද්‍ර අමරසිංහ, ආර්. එම්. දේශප්‍රිය රත්නායක සහ බී. අසංක බුලේගොඩ මෙහි පෙත්සම්කරුවෝ වෙති.

පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් කියා සිටියේ විශ්වවිද්‍යාල තුනේ අංශ ප්‍රධානීන් තනතුරුවලින් ඉල්ලා අස්‌වීමේ ලිපි භාරදී ඇති නමුත් විශ්වවිද්‍යාල බලධාරීන් ඒවා නිල වශයෙන් තවම භාරගෙන නැතැයි තමන්ට දැනගන්නට ලැබී ඇති බවයි.

අංශ ප්‍රධානීන්ගෙන් විද්‍යාල අධ්‍යාපන හා පරිපාලන කටයුතුවලට අදාළව වැදගත් හා විශාල සේවාවක්‌ ඉටුවන බවත් විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම ආදී අත්‍යවශ්‍ය කාර්යන් වලට ඔවුන්ගේ සහභාගිත්වය අතිශයින් වැදගත් වන බවත් ඔවුන් දිගටම තනතුරුවල වැඩ වරා සිටිය හොත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු මුළුමනින්ම ඇනහිටින අතර විශ්වවිද්‍යාල තුළ අවුල්සහගත තත්ත්වයක්‌ ඇති වන බවත් උසස්‌ අධ්‍යාපනය ලබන තමා ඇතුළු සිසුන් දහස්‌ සංඛ්‍යාත පිරිසකගේ අපේක්‍ෂා භංග වෙන බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වල සඳහන් කර සිටිති.

විශ්වවිද්‍යාල පනතේ 52 වැනි වගන්තියට අනුව පත් කරනු ලබන අංශ ප්‍රධානීන් වසර 3 ක්‌ එම තනතුරුවල රැඳී සිට පැවරී ඇති කාර්යයන් නිසියාකාරව ඉටුකළ යුතු බවත් එසේ නොකිරීම නීති විරෝධී සදාචාර විරෝධී බවත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු නිසියාකාරව පවත්වාගෙන යැමේ කටයුත්ත නීතියෙන් පැවරී ඇති කුලපති, උපකුලපති ඇතුළු බලධාරීන්ට අංශ ප්‍රධානීන්ගේ අස්‌වීමේ ලිපි භාරගැනීමට නීතියෙන් අයිතියක්‌ නැති බවත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් කියා සිටිති.

නීතිඥ ගවුරි සංගරී තවරාසා මහත්මියගේ උපදෙස්‌ පිට ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා, අධිනීතිඥ සංජය ජයවර්ධන, ඡේ. සී. වැලිඅමුණ පයිසර් මුස්‌තාපා, ඉසුරු බාලපටබැඳි, අසිත් දසනායක යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. පෙත්සම් විභාගය ලබන ජුනි 30 දා පැවැත්වේ.