Thursday, May 26, 2011

වෘත්තීයමය ගැටලු සාකච්ඡා මඟින් විසඳාගන්න ආචාර්යවරු එකඟ වෙති

ජනපති සමඟ පැය 2ක සාකච්ඡාවක්
ඊළඟ හමුවීම ජුනි 3දා

Dinamina, 26/05/2011, ධනුෂ්ක ගොඩකුඹුර සහ සමන්මලී පි‍්‍රයශාන්ති

වෘත්තීයමය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ (25) එකඟතාවයකට පැමිණියේය.

විශ්වවිද්‍යාල වලට පමණක් සීමා නොවී සමස්ත තත්ත්වය දෙස අවධානය යොමු කොට මේ ගැටලුව විසඳිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන් අතර සංගමයේ නිලධාරීහු ඊට එකඟත්වය පළ කළහ. මේ එකඟත්‍රාවන්ට පැමිණියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අරලියගහ මන්දිරයේ දී ඊයේ (25) ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනාධිපතිවරයා සමඟ පැය දෙකකට අධික කාලයක් වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරු යනු බුද්ධිමත් පිරිසක් බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා කම්කරු පංතියේ සටන් ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවන බව ප්‍රකාශ කළේය.

වසර 30 ක යුද්ධය නිම කර රට ගොඩනඟන අවස්ථාවේ දී රට හමුවේ ඇති අභියෝග හඳුනා ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙත ශක්තියක් ඇතැයි තමා විශ්වාස කරන බවද හෙතෙම පැවැසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වල සාධාරණයක් ඇතැයි තමා පිළිගන්නා බව කී ජනාධිපතිවරයා සමස්ත තත්ත්වය දෙස බලා මෙය විසඳා ගැනීම සම්බන්ධයෙන් එම ආචාර්යවරුන් ද පිළිගනු ඇතැයි විශ්වාසය පළ කළේය.

තම ස්ථාවරය වෙනස් කිරීමට සූදානම් බව විශ්ව විද්‍යාල ආචාර්යවරු පවසා ඇති අතර ඔවුන්ගේ ගැටලු ලිඛිතව ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට එකඟතාවය පළ කළහ.

මේ අතර ලබන ජුනි (3) දා මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා එකඟතාවයකට පැමිණියහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.