Saturday, May 14, 2011

සරසවි වලින් තොග පිටින් එළියට දමන හැටි: මැරිච්ච එවුනුත් එළියට දමන හැටි: ක්ෂිතිජයට උඩින් විද්‍යාර්ථීන් හදන හැටි -එස්.බී. තම තියරිය ගැන පම්පෝරි ගහයි

ලංකා ඊ නිව්ස් -2011.මැයි.14, පෙ.ව.10.30,
නවක විශ්ව විද්‍යාල සිසුන්ට හමුදා කඳවුරු තුල හමුදා උපදේශකයන් යටතේ සති 3 ක ධනාත්මක කුසලතා සහ නායකත්ව පුහුණුවක් යැයි නම් කරන ලද පුහුණුවක් දී සරසවිය තුලට ගැනීමේ එස්.බී. දිසානායක මහතාගේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ඊයේ පනාගොඩ යුද හමුදා කඳවුරේදී එම හමුදා උපදේශකයන් සඳහා හමුවක් පැවැත්වීය.

1988 සිට තමා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්වන තුරුම විශ්ව විද්‍යාල පාලනය කෙළේ සිසුන් බව පැවසූ ඇමැතිවරයා තමා පැමිණීමෙන් පසු සිය ගණනින් සරසවි සිසුන් එළියට දැමූ බව කීවේ පම්පෝරියක විලාශයෙනි. මෙම එළියට දැමීමේ එස්බී තියරිය කොතෙක්දැයි කිවහොත් ජයවර්ධන පුර සරසවියේ මිය ගිය සිසුවෙකුද එළියට දමා ඇතැයි ඔහු කීවේ අමානුෂික ස්වරූපයකිනි. මෙවැනි අත්තනෝමතික තහනම් නියෝග නිසා සිත් තැවුලට පත් ශිෂ්‍ය භික්ෂුවක් සිය දිවි හානි කර ගත්තේ මේ නොබෝදා ය.

කෙසේ වෙතත් ඇමැති එස්බී තම තියරිය මෙසේ ප‍්‍රකාශ කෙළේය.

‘1988 ඉඳලා මේ මම උසස් අධ්‍යාපන ඇමැතිතුමා වෙනකම්ම විශ්ව විද්‍යාල පාලනය කෙළේ ශිෂ්‍යයො. එ් නිසා විශ්ව විද්‍යාල වල තත්ත්වය කඩාගෙන වැටුන. අධ්‍යාපන මට්ටම කඩාගෙන වැටුන. මම ඇමැති වුනාට පස්සෙ සීයයි දෙසීයයි එකසිය පනහයි තුන්සීයයි, මේ තොග පිටින් එළියට දානව. අර ජයවර්ධනපුර මැරිච්ච එකෙකුත් එළියට දාල බලනකොට..හඃ හඃ (සිනහවෙමින්* නවක වදය අපි මේ වසරේ සියයට 80 කින් අඩු කර ගත්ත. ඔබ තුමාල බාර ගන්න දරුවො විශ්ව විද්‍යාලෙට එනකොට සියයට සීයක්ම නවත්ත ගන්න පුළුවන්.’

‘මේ තමුන්නාන්සේල ලඟට එන්නෙ අහිංසකම අහිංසක එවුන්. උන් යක්කු කරල ගන්නෙ. මොන තරම් භයානක වෙලාද කියනව නම් විශ්ව විද්‍යාල වලට වඩා භයානකයි කාර්මික විද්‍යාල. ඊට වඩා භයානක වෙලා තියෙනව භික්ෂු විශ්ව විද්‍යාල. මේ වගේ තැනකට අලූත් හාමුදුරු ගොල්ල ගියාම අපිට විශ්වාස කරන්න බැරි තරම් පර පීඩනයක් දෙනව. අනේ අර පන්සලේ ලොකු හාමුදුරුවො ලඟ, අම්මල තාත්තල ලඟ, දණ ගහල වඳින, බිම් බලාගෙන ඇවිදින, පින්ඩපාතෙ වඩින, ඉතාම අහිංසක විදිහට ගාථා පාඩම් කරමින් ගස් යට ඉන්න, හයියෙන් හිනා වෙන්නෙ නැති, හයියෙන් කතා කරන්නෙ නැති, සාමනේර හාමුදුරුවො තමයි භික්ෂු විශ්ව විද්‍යාලයට ගියාම නවක වදය දී, දරාගන්න බැරි තරම් පර පීඩනයක් දී යක්ෂයෙක් බවට පත් කරන්නෙ. ඇයි එහෙම යක්ෂයෙක් බවට පත් කරන්නෙ. එ්කෙ දේශපාලනයක් තියෙනව.’
‘අපේ මේ වැඩ පිළිවෙල තුල අපිට දේශපාලන සතෙක් හදාගන්න ඕනෙ නෑ. එහෙම අල්ප මාත‍්‍ර අදහසක් නෑ. ජනාධිපතිතුමාට සන්ධානයට ගැතිකම් කරන, යූඑන්පී එකට විරුද්ධ දරුවෙක් හදාගන්න හමුදා කඳවුරු වලට දාල කරන උප්පරවැට්ටියක් කියල එහෙම හිතන්න එපා. එහෙම කිසිම අදහසක් නෑ. අපි විශ්වාස කරනව අවංකවම මේ දුවල පුතාල සති 3 ක මේ පාඨමාලාවෙන් පස්සෙ අලූත් දරුවෙක් විදිහට විශ්ව විද්‍යාලයට ගෙන්න ගන්න.’

‘ඇත්තටම අපිට ඕනෙ විශ්ව විද්‍යාලයට ආදරය කරන දරුවෙක් හදාගන්න. පෙම්වතෙක් පෙම්වතියක් හොයාගන්න (තාවකාලිකව හරි*, හොඳට පුස්තකාලෙට ගිහින් පාඩම් කරන, ඉංග‍්‍රීසි පන්ති ගිහින් ඉංග‍්‍රීසි ඉගෙන ගන්න මහා විද්‍යාර්ථියෙක්, ලෝකෙ රටේ වටිනාකමක් ඇති මිනිහෙක් එළියට ගන්න තමයි අපට ඕනෙ. ජනාධිපතිතුමාගෙ අධ්‍යාපන ප‍්‍රතිපත්තියෙ ලියල තියෙනව වගේ ක්ෂිතිජයට උඩින් ලෝකය දකින්න පුළුවන් විද්‍යාර්ථියෙක් හැදීම අරමුණයි.’

‘එ්ක කරන්න පුළුවන් මේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න සුදුසුම පිිරිස තමයි අපේ ආරක්‍ෂක අංශ වල ඉන්න තමුන්නාන්සේල.’

එස් බී ඇමැතිවරයා තම ‘තියරිය’ වැඩිදුරටත් ප‍්‍රකාශ කෙළේය.