Friday, May 27, 2011

සරසවිවල ආචාර්යවරුන්ගෙන් සියයට අනූවක්‌ම තනතුරුවලින් ඉවත්වීමෙන් පෙනී යන්නේ අයවැය යෝජනා අනුමත නොකරන බවයි අනුර කුමාර දිසානායක

Divaina, 27/05/2011,

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සියයට අනූවක්‌ම තනතුරුවලින් ඉවත්වීමෙන් පෙනී යන්නේ අයවැයෙන් කළ යෝජනා බහුතරයක්‌ ඔවුන් අනුමත නොකරන බව යෑයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26 දා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.

දිසානායක මහතා මෙසේද කීය.

අපේ රටේ ජාතික සංවර්ධනය වෙනුවෙන් දායක කරගත යුතු බුද්ධිමය ශ්‍රම සම්පතේ වැදගත්ම කොටසක්‌ වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණපා සිටින ප්‍රශ්න කීපයක්‌ පිළිබඳ මෙම ගරු සභාවේ අවධානය යොමු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

අපේ රටේ බුද්ධිමය ක්‍ෂේත්‍රයේ, පර්යේෂණ ක්‍ෂේත්‍රයේ, මෙන්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ද සුවිශාල ගැටලු ප්‍රමාණයක්‌ මෙන්ම සමාන්තර අධ්‍යාපන සුදුසුකම් සහිත අනෙකුත් රාජ්‍ය සේවා හා පුද්ගලික අංශයේ වැටුප හා සංසන්දනය කරන විට අඩු වැටුපක්‌ ලබමින් තවදුරටත් විශ්වවිද්‍යාලවල සේවය කිරීම පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මාගේ ස්‌තුතිය පුද කරන අතර ඔවුන් එම තත්ත්වයට පත් කර ලංකාවේ උසස්‌ අධ්‍යාපන ආයතන විනාශ කර පුද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩ විවර කිරීමට බලාගෙන සිටින ආණ්‌ඩුවට බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.

එA වගේම මෙම ගැටලුවට නිසි අවධානයට යොමු නොකර ඔවුන් බලාපොරොත්තු වන හා ආණ්‌ඩුව ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා මේ වන විට ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ආණ්‌ඩුව විසින්ම ඊනියා ප්‍රකාශනයක්‌ බවට පත්කර අවසානය. එහි සඳහන් පරිදි "විදේශගතවී ලෝක පරිමාණයේ විශිෂ්ටයන් බවට පත්වී සිටින අපේ බුද්ධිමතුන්ගේ ආයෝජන, දැනුම හා සේවාවන් ලබාගැනීම සඳහා ප්‍රතිබුද්ධිගලනය සඳහා ක්‍රියාමාර්ගයක්‌ හඳුන්වා දෙනු ඇත."

ගරු කථානායකතුමනි, ආණ්‌ඩුවේ මෙම වැඩපිළිවෙළ මත චින්තන ප්‍රකාශ හාස්‍යයට ලක්‌වී ඇති අතර තවදුරටත් එසේ වන්නේ නම් ලාංකේය අධ්‍යාපනය විනාශ මුඛයට තල්ලු වන බවත් එA වැළකීම වෙනුවෙන් මෙම ගරු සභාවේ අවධානය යොමු කළ යුතු බවත් පෙන්වා දීමට කැමැතිය.

2010 ජුලි 20 වැනි දින මෙම ගරු සභාවේ අවධානයට මෙම ගැටලු ඉදිරිපත් කර සිටීමේදී මම කියා සිටියේ පොරොන්දු දේශපාලනය තුළ අතරමං කර ඔවුන්ගේ සේවය පිළිබඳ අතෘප්තියක්‌ ඇති නොකරන බවය. එහිදී ගරු එස්‌. බී. දිසානායක ඇමැතිතුමා ප්‍රකාශ කළේ අතිගරු ජනාධිපතිතුමා මෙම ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයම වරක්‌ නොව දෙවරක්‌ම ඇහුම්කන් දුන් බවය. එA වගේම රුපියල් 20,750 මූලික වැටුපක සිටින ආධුනික පහළ ශේ්‍රණියේ කථිකාචාර්යවරයාගේ වැටුප රුපියල් 72,000 ටත් රුපියල් 57,755 ක මූලික වැටුපකට සිටින ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාගේ වැටුප රුපියල් 2,00,000 කටත් ගෙන යන බවයි. මෙලෙස බොරු පොරොන්දු ලබාදී රටේ බුද්ධිමත්ම ශ්‍රම සම්පත රැවටීම අප පිළිකුලින් යුතුව හෙළා දකිනවා.

මේ මොහොත වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තීය ක්‍රියාමාර්ගවලට පෙළඹී සිටින බව අප කවුරුත් දන්නවා. මේ තත්ත්වයට පත්වීමට පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරු 2008 සිට සාකච්ඡා කර ආණ්‌ඩුව විසින් පොරොන්දු ලබාදී ඉටු නොකිරීම නිසා ඇති වූවකි. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරු ආණ්‌ඩුවට කොපමණ අවස්‌ථා ලබාදුන්න ද ආණ්‌ඩුව එAවා තඹ සතයකට ගණන් නොගන්නා බව අප දනිමු. ඔවුනගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සාධාරණ බව ඔප්පු කිරීමට මම පහත කරුණු ඉදිරිපත් කරමි.

1. ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනාවලියක්‌ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් පසුගිය 2007 වසරේ ඔක්‌තෝබර් මස 16 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිතව දැනුම් දීම.

2. 2008 ජනවාරි 31 ගරු ජනාධිපතිතුමා සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡා කිරීම.

3. 2008 වසරේදී ආචාර්යවරුන්ගේ වැටුප් ව්‍යqහයන් සංශෝධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කමිටුවක්‌ පත් කිරීම.

4. වැටුප් සම්බන්ධයෙන් කළ දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම වසරේ අගෝස්‌තු 08 වැනිදා එම කමිටුව සිය නිර්දේශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම. එහි සඳහන් වූයේ ආචාර්යවරුන්ගේ වැටුප් හා දීමනා සාධාරණ තලයක පිහිටුවා නැති බවය.

ආචාර්යවරුන්ට සමාන සුදුසුකම් සහිත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි වැටුපක්‌ හමුවන බව ද සඳහන් විය. එමෙන්ම එA හා සමාන මට්‌ටමකට ආචාර්යවරුන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුතු යෑයි කමිටුව නිර්දේශ කර තිබිණි.

4. 2008 සැප්තැම්බර් 08 උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද අනුමැතිය ඇතිව නව වැටුප් ව්‍යqහයක්‌ ඇතුළත් යෝජනා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම. එම වැටුප් යෝජනා කිසිදු සැලකිල්ලකට භාජන නොවිණි.

5. 2009 මාර්තු 24 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්ය, විධායක කාර්මික හා අනධ්‍යයන කාර්යමණ්‌ඩල වැටුප් සංශෝධන පිළිබඳ යෝජනා එතැන් සිට මසක්‌ තුළ ඉදිරිපත් කරන බව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව ලිතව දැනුම්දීම.

6. 2009 දෙසැම්බර් මස 09 වැනිදා ජනාධිපතිවරණය පවත්වන වකවානුවේ ගරු බැසිල් රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ද සාකච්ඡා විය.

7. 2010 ජුලි 20 වැනි දින මා විසින් මෙම සභා ගැබ තුළ නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ගරු එස්‌. බී. දිසානායක මහතා ලබාදුන් වැටුප් වැඩිවීමක්‌ අවශ්‍ය බව අයවැය ලේඛනයෙන් ලබාදෙන බවටත් වූ පොරොන්දුව

8. 2010 සැප්තැම්බර් 04 ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයට එවූ ලිපිය.

9. 2010 සැප්තැම්බර් 05 ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය වැටුප් යෝජනාවලියක්‌ ආණ්‌ඩුවට ඉදිරිපත් කිරීම.

දැන් තත්ත්වය ඉතාම බරපතල තත්ත්වයකට පත්වෙමිනුයි තිබෙන්නේ. මේ වන විට විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය විශාල බලපෑමකට ලක්‌ව තිබෙනවා. මේ වන විට ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග ලෙස අංශ ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක, ශිෂ්‍ය උපදේශක, පාඨමාලා සම්බන්ධීකාරක වැනි ස්‌වෙච්ඡා පරිපාලන තනතුරුවලින් ඉවත් වී තිබෙනවා. ආචාර්යවරුන්ගෙන් 90% ක්‌ පමණ එකඟතාව පළ කර එම තනතුරුවලින් ඉවත්වීමෙන් පෙනී යන්නේ ආණ්‌ඩුව අයවැයෙන් කළ යෝජනා බහුතරයක්‌ ආචාර්යවරුන් අනුමත නොකරන බවය. අංශ ප්‍රධානීන් 318 දෙනාගෙන් 278 දෙනකුම තනතුරු අතහැර ඇත.

2010 ජුලි 20 අපි ප්‍රකාශ කළේ මෙම ප්‍රශ්න නොවිසඳුනහොත් විශ්වවිද්‍යාල පද්ධතියේ බිඳවැටීම දක්‌වා ඉදිරියට යා හැකි බවයි. අද එය ඔප්පු වී ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණපා සිටින මෙම බරපතල ගැටලුව හා විශ්වවිද්‍යාල සිසුන් පත්ව ඇති අපහසුතාව මෙම ගරු සභාවේ අවධානයට යොමු කරන අතරම පහත ප්‍රශ්නවලට ගරු උසස්‌ අධ්‍යාපන ඇමැතිතුමන්ගේ පිළිතුරු අපේක්‍ෂා කරනවා.

01. 2011.05.25 දිනයේ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක්‌ පැවැත්වූයේද? පැවැත්වූයේ නම් එහි ප්‍රතිඵල කවරේද?

02. එහිදී ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමක්‌ අවශ්‍ය බව ප්‍රතිපත්තියක්‌ ලෙස පිළිගනු ලැබුවේද?

03. එම වැටුප් වැඩිවීමේ ප්‍රමාණයන් කවරේද?

04. එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට අපේක්‍ෂා කරනු ලබන්නේ කවර වකවානුවකද?

උක්‌ත ප්‍රශ්න පිළිබඳව ගරු උසස්‌ අධ්‍යාපන ඇමැතිතුමා මෙම ගරු සභාව දැනුවත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යැමට බාධාවක්‌ව පවතින මෙම ප්‍රශ්න විසඳීම කෙරෙහි මෙම ගරු සභාවේ දැඩි අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.