Tuesday, May 10, 2011

Editorial: විශ්වවිද්‍යාල ආචාර්ය වැටුප් ප්‍රශ්නය!

Divayina, 09/05/2011
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු "වහා ගිනි ඇවිලෙන සුළු" ආයතන විශේෂයකැයි සිතෙන තරමටම ඒවා නිරන්තරව සිදුවන සිසු අරගල ද විවිධ ගැටුම් යනාදියෙන් ද සංකීර්ණව තිබෙන බව රහසක්‌ නොවේ. මෑතක සිට ඒ බොහෝ තැන්වල සිසු විරෝධතාවක්‌, වෙනත් ගැටුමක්‌ නැති දිනයක්‌ නොවූ තරම්ය. ඒ ඇතැම් සිසු අරගල හා ගැටුම් පසුපස කිසියම් දේශපාලනයක්‌ ද තිබෙන බව පැහැදිලිය. විශ්වවිද්‍යාල බඳු බුද්ධිමය ආයතනවලට දේශපාලනය නොමැනවැයි කිසිවකුට කිව නොහැක. එහෙත් ඒවායේ යුක්‌ති යුක්‌ත භාවය පිළිබඳ ගැටලු මෙන්ම වෙනත් විවේචන ද තිබේ.

අද අප කතා කරන්නේ ඒ සිසු අරගල හෝ සිසු සටන්වලට වඩා වෙනස්‌ හා සුවිශේෂ සටනක්‌ පිළිබඳවය. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටනකි. විශ්වවිද්‍යාල සිසුන්ට තිබෙන අයිතිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද තිබිය යුතු බවට විවාදයක්‌ නැත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරන පරිදි ඔවුන්ගේ සටන පැහැදිලිවම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳ රජය එකඟ වූ යෝජනා ක්‍රියාත්මක නොකිරීම නිසා ගත් පියවරකි. මේ පිළිබඳව විවිධ මට්‌ටමේ සාකච්ඡා සිදු වුවත් ඒ කිසිවකින් විශ්වවිද්‍යාල ආචාර්ය වැටුප් විෂමතාවට විසඳුමක්‌ ලැබී නැතැයි ඔහු චෝදනා කරයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ද පිළිගත් යෝජනාවලියක්‌ ක්‍රියාත්මක නොකරන රජය අද ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නීති විරෝධී එකක්‌ ලෙස හැඳින්වීම හාස්‍යයට කරුණක්‌ බව ද ඔහු පවසයි. අද තිබෙන ජීවන වියදමට සරිලන පරිදි මේ රටේ ඉහළම බුද්ධි කේන්ද්‍රයේ සිටින විශ්වවිද්‍යාල ඇදුරු මහැදුරු ආදීන්ගේ වැටුප සංශෝධනය විය යුතු බව උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ද පිළිගත්තක්‌ බව ඔහු අවධාරණය කරයි.

කෙසේ හෝ අද (09 දා) සිට ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙතෙක්‌ තමන් විසින් උසුලන ලද ස්‌වෙච්ඡා තනතුරු අත්හැරීමේ තීරණයක්‌ ද ගෙන තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක, පාඨමාලා සම්බන්ධීකාරක වැනි තනතුරුවලින් ඉවත් වන බව දැනටමත් සමහරුන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

උතුර නැගෙනහිර ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සාමාජිකත්වය දරන සියලුම ආචාර්යවරු මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගනිතියි ද වාර්තා වේ. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නීති විරෝධී බව ද සඳහන් කර තිබේ.

කෙසේ හෝ වේවා විශ්වවිද්‍යාල ආචාර්යවරු යනු මේ රටේ ඉහළම විද්වතුන්ගෙන් සැදුම්ලත් උසස්‌ම අධ්‍යාපන ආයතන පද්ධතිය නියෝජනය කරන්නාහුය. ඔවුහු නිදහස්‌ අධ්‍යාපනයේ වරම් ලැබ එහි හිණිපෙතට ගමන් කර විවිධ ක්‍ෂේත්‍ර පිළිබඳ ප්‍රාමාණිකයෝ ද වී සිටිති. එහෙත් ඔවුන්ගේ කාර්යභාරයට සරිලන වටිනාකමක්‌ හෝ ඇගැයීමක්‌ නොලැබෙන බව ද ඔවුන්ගේ චෝදනාවක්‌ වී තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරයා ප්‍රාමාණික විද්වතකු සේ සැලකීම පිළිබඳව උරණ වන අය ද සිටිති. විද්වාන් සර්වත්‍ර පූජ්‍ය තෙ" (විද්වතා සැම තන්හිම පිදුම් ලබයි) යන සුභාෂිතය අනුව මේ විද්වත් යන හැඳින්වීමට තරම් නොවන්නෝ ද වෙතියි කෙනෙක්‌ අප සමඟ වාදයට ඒමට ද බැරි නැත. එහෙත් අපගේ අවධාරණය වන්නේ සාපේක්‍ෂව බලද්දී විශ්වවිද්‍යාල ආචාර්යවරයාට මෙන්ම මහාචාර්යවරයාට ද සමාජයෙහි ඉහළ පිsළිගැනීමක්‌ හිමිවන බව හා හිමිවිය යුතු බවය.

2008 පමණ සිට තුන් වසරකට නොඅඩු කාලයක්‌ මුළුල්ලේ මෙම වැටුප් ප්‍රශ්නය ඇදී එන්නක්‌ නම් එය ද වරදකි. අප දන්නා තරමින් විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ සිටි හා සිටින බුද්ධිමතුන්ගෙන් වැඩි දෙනෙක්‌ මේ රට හැර වෙනත් රටවලට යැමට කල්පනා කරන්නාහු ද ඔවුන්ට ලැබෙන අඩු වැටුප් නිසාමය. බුද්ධි ගලනය යනුවෙන් හැඳින්වෙන්නේ ද එම අර්බුදයයි.

නිදහස්‌ අධ්‍යාපනයේ විශිෂ්ටතම නිෂ්පාදන ලෙස නිමැවෙන මේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් මේ රටේ බුද්ධිමය ක්‍ෂේත්‍රයට සිදුවන මෙහෙවර අප අගය කළ යුතුය. අද මේ රට මුහුණදී සිටින එක්‌ උපද්‍රවයක්‌ වන්නේ ද බුද්ධිමය දරිද්‍රතාවයි. එය සංස්‌කෘතික සමාජ, ආර්ථික යනාදී ක්‍ෂේත්‍ර ගණනාවක්‌ කෙරෙහි ද සෘජුවම බලපාන්නකි.

මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප ඉතා අඩු එකක්‌ බව ද එය අඩුම වශයෙන් රුපියල් ලක්‍ෂ දෙකක්‌වත් විය යුතු බව ද වරක්‌ පාර්ලිමේන්තුවේදී ම කීවේ වත්මන් උසස්‌ අධ්‍යාපන ඇමැති ඇස්‌. බී. දිසානායක මහතාය. අද ජාතික අධ්‍යාපනය හා උසස්‌ අධ්‍යාපනය යන දෙකම භාරව සිටින්නේ ද මේ රටේ එකම විශ්වවිද්‍යාලයකින් බිහි වූ ඇමැතිවරුන් දෙපළකි. ඒ හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන කීපදෙනෙක්‌ ද මේ රටින්ම බිහි වූ උගත්තුය. සාමාන්‍යයෙන් වෙනත් බොහෝ ක්‍ෂේත්‍රවල කෙරෙන වර්ජනයකදී වර්ජකයන් ඉවත් කිරීම හෝ ඒ වෙනුවට අලුත් අය යෙදවීම වැනි ක්‍රියාකාරකම් වෙත ද පාලකයෝ විමසිලිමත් වෙති. එහෙත් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය පදවි සඳහා මේ අය වෙනුවට වෙනත් ආදේශක තිබේද යන්නත් ගැටලුවකි. මේ රටේ අද පඳුරකට ගැසුවත් ආචාර්යවරු තුන් හතර දෙනෙක්‌ දිවයති ද සමහරු කියති. එහෙත් ඒ පිනාචාර්ය ගණයට සරසවි ආචාර්යවරයා දැමීම නොවටී.

මෙම වර්ජනය වෘත්තීය වුවමනාවකට වඩා දේශපාලන වුවමනාවක්‌ බව ද සමහරු කියති. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. අප යෝජනා කරන්නේ මේ ප්‍රශ්නය උඩුදුවන්නට පෙර එයට මැදිහත් වී සාධාරණ විසඳුමක්‌ ලබාදීම බුද්ධිමත් පියවරක්‌ බවයි.