Saturday, May 21, 2011

දිසාපාමොක්‌ලා සමග විහිළු කරන දේශපාලන අන්දරේලා!

Divaina, 22/05/2011,  නිලන්ත මදුරාවල

අර්බුදයක්‌ ඇති කරන්නයි මේ උත්සාහ කරන්නේ
ඇමැති එස්‌. බී. දිසානායක මහතා 




ආචාර්යවරුන් ඉල්ලා සිටින වැටුප වැඩිවීම කිසිසේත් දෙන්න පුළුවන් කමක්‌ නැහැ. පසුගිය අයවැයෙන් සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට පහකින් වැඩි කළා. නමුත් ආචාර්යවරුන්ට සියයට 36.25 ක වැටුප් වැඩිවීමක්‌ දුන්නා. දැන් සියයට 140 ක වැටුප් වැඩිවීමක්‌ ඉල්ලනවා. කොහොමද දෙන්නේ. මේ වසරට මුදල් වෙන් කරලා ඉවරයි. ආචාර්යවරුන්ට සියයට 140 ක වැටුප් වැඩිවීමක්‌ දෙන්න අයවැය කණපිට පෙරළන්න සිද්ධ වෙයි. ආහාර ද්‍රව්‍යවලට බදු ගහන්න සිද්ධ වෙයි. අනික්‌ අතට වෙනත් ක්‍ෂේත්‍රවල සේවකයො නිකං ඉඳීවිද? ඒ අයත් ඉල්ලයි. ආචාර්යවරුන්ගේ මේ ඉල්ලීම අසාධාරණයි. ආණ්‌ඩු විරෝධී ආචාර්යවරුන් සුළු පිරිසක්‌ එකතු වෙලා මේ අර්බුදයක්‌ ඇති කරන්නයි මේ උත්සහ කරන්නේ. ඒ නිසා ආචාර්යවරුන්ගෙන් කරුණාවෙන් මම ඉල්ලනවා මේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වෙන්න එපා කියලා.

ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අසාධාරණ බව කියමින් රට තුළ අපට එරෙහි මතයක්‌ ගොඩනගන්නට බොහෝ පිරිස්‌ උත්සාහ කරමින් සිටිනවා. මේක දේශපාලන න්‍යාය පත්‍රයක්‌, කුමන්ත්‍රණයක්‌ යෑයි කියන බලධාරින් ඇත්ත ප්‍රශ්නයට විසඳුම් හොයන්නෙ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දීර්ඝ කාලයක සිට අසාධාරණයට ලක්‌වෙමින් සිටිනවා. ආචාර්යවරුන්ගේ වැටුප් සටන වරින් වර මතු වුණා. වැටුප් ගැටලුවෙ ඉතිහාසය දෙස බලද්දී ඒ බව පැහැදිලිsයි. අද ආණ්‌ඩුවට සහය දෙන ඇතැම් ආචාර්යවරු එදා සේවයෙන් පහ කිරීමට පවා වැටුප් සටන් ප්‍රබල වුණා. අපි ඉල්ලන්නෙ අසාධාරණ වැටුපක්‌ නොවෙයි. මේ වැටුප් පරිමාණයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත්, උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයත් අනුමත කර වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. අපි ඉල්ලන්නේ ඒ වැටුප් වැඩි වීමයි. ඒක අසාධාරණද?


අපි ඉල්ලන්නේ සාධාරණ වැටුපක්‌ 
ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අපූරු ප්‍රකාශයක්‌ කළේය. "විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ වැටුප රුපියල් දෙලක්‍ෂය දක්‌වා වැඩි කිරීමත්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ වැටුප රුපියල් ලක්‍ෂ පහ දක්‌වා ඉහළ මට්‌ටමකට ගෙන ඒමත් මගේ ඉලක්‌කය" යෑයි දිසානායක මහතා සිය මුවින් ප්‍රකාශ කළේය. වැටුප් වැඩි කරගැනීමේ අරගලයක නිරතව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට නම් ඇමැතිවරයාගේ මේ ප්‍රකාශය බඩ අල්ලාගෙන සිනහ විය හැකි තරමටම හාස්‍යජනක වනවාට සැක නැත. කුමන අයුරකින් ඔප මට්‌ටම් කළත් එහි හරසුන් බව මකාලන්නට නම් නොහැකි යෑයි දැකීම අරුමයක්‌ නොවේ. මෙරටේ බුද්ධිමතුන්ගේ නැණ පහන් දල්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දිසානායක මහතාගේ ප්‍රකාශය අබැටක තරම්වත් අගයක්‌ නොවන වග නම් ස්‌ථිරය. ඊට හේතු කාරණා තිබේ. පසුගිය වසර අගභාගයේ දී මේ හා සමානම ප්‍රකාශයක්‌ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළේය. එහිදී ඔහු සඳහන් කළේ ආචාර්යවරයකුගේ වැටුප රුපියල් දෙලක්‍ෂය දක්‌වා ඉහළ නංවන බවය. මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දොaංකාර දෙන විට විශ්වවිද්‍යාල ආචාර්යවරු සටන් මගකට අවතීර්ණ වී සිටියහ. ඒ සිය වැටුප් වැඩි කරගැනීම වෙනුවෙනි. සාකච්ඡා වට කිහිපයකින්ම හෙම්බත්ව සිටි ආචාර්යවරුන්ට මේ ප්‍රකාශය සිතට ගතට නව පනක්‌ එක්‌ කළා නිසැකය. මන්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ඔවුන් ඉල්ලා සිටි වැටුප් පරිමාණයන්ද ඉක්‌මවූ හෙයිනි. එම නිසා තරමක්‌ දුරට හෝ සිය වෘත්තීය ක්‍රියාමාර්ග ආපස්‌සට ගැනීමට ආචාර්යවරු තීරණය කළාට සැක නැත. එහෙත් දිසානායක මහතාගේ එම ප්‍රකාශය හුදු වචන ගොඩක්‌ පමණක්‌ වීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යළි සටන්මගට අවතීර්ණ වීම හේතුව ය. යළිත් ඔවුහු සිය වැටුප් වැඩිකර ගැනීමේ සටන්මග යමින් සිටිති. ජ්‍යෙෂ්ඨ මහාචාර්වරයකුගේ වැටුප රුපියල් පන්ලක්‍ෂයක්‌ දක්‌වා ඉහළ නැංවීම තම ඉලක්‌කය යෑයි අතපය දිගු කරමින් ඇමැතිවරයා කියන්නේ ඒ සටන අතරතුරය. පසුගිය වසරේ මෙන් මෙවරද තමන්ගේ මුවින් පිට කරන වචන ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග විනිවිදිනු ඇතැයි ඇමැතිවරයා සිතනවා වන්නටද බැරි නැත. අනෙක්‌ අතට මෙම වැටුප් ප්‍රශ්නය පිළිබඳ අදහස්‌ දක්‌වන කවර හෝ අවස්‌ථාවකදී දිසානායක මහතා උත්සාහ දරන්නේ එය මීට දින කිහිපයකට පෙර උද්ගත වූවක්‌ය යන්න හුවා දැක්‌වීමටය. නැතහොත් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ දේශපාලන වර්ණ ගැබ් වී ඇතැයි කියමින් ඉන් මගහරින්නට ය. සම්මේලනයේ අභ්‍යන්තරය රතු, කොළ සමග මිශ්‍ර වූ ආණ්‌ඩු විරෝධී ආකල්පයක සිටින සුළු පිරිසකගේ ග්‍රහණයට නතු වී ඇති බවටද ඇමැතිවරයා චෝදනා කර සිටියි. එසේත් නැත්නම් ලොව ඇති එකම අසාධාරණ ඉල්ලීම මෙම වැටුප් ප්‍රශ්නය බව රටට කියන්නට දිසානායක මහතා දැඩි උත්සාහයක්‌ ගනී. දරුස්‌මාන් වාර්තාව උපුටා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ දියත් වෙමින් පවතින මේ මොහොතේ රට අර්බුදයට යන කඩාකප්පල්කාරී ක්‍රියා නොකළ යුතු යෑයි දිසානායක මහතා තවත් වරෙක පවසයි. මේ සියලු ප්‍රකාශ හමුවේ උපේක්‍ෂාවෙන් හිඳිමින් සිය ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම හැර වෙනත් ආසන්න විකල්පයක්‌ නැත යන තැන නතරවන්නට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට සිදු වී තිබේ.

ඇමැතිවරයා කවර ප්‍රකාශ කළද මෙම වැටුප් ප්‍රශ්නයට වසර කිහිපයක ඉතිහාසයක්‌ පවතී. බලධාරීන් කවර උත්සාහයන් ගත්තද ඒ ඉතිහාසය වෙනස්‌ කළ නොහැකිය.

ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනාවලියක්‌ ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය විසින් පසුගිය 2007 වසරේ ඔක්‌තෝබර් මස 16 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිතව දැනුම් දෙනු ලැබීය. නව වැටුප් පරිමාණයන් ද එම ලිපිය සමග ඉදිරිපත් කෙරිණ. දශක ගණනාවක්‌ පුරා අධ්‍යයන කාර්ය මණ්‌ඩල අත්හැර දමා ඇතැයි එම ලිපියේ සඳහන් කර ඇත. එමෙන්ම ආචාර්යවරුන්ගේ වැටුප් සාධාරණ ලෙස සකස්‌ කර නැතැයිද එහි සඳහන් කර තිබේ. තවද විශේෂ ජනාධිපති කොමිසමක්‌ පත් කරමින් ආචාර්යවරුන්ගේ වැටුප් සුදුසු අයුරින් වැඩි කිරීමට පියවර ගන්නැයි ද සමිති සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි. සම්මේලනයේ ලිත ඉල්ලීම පිළිබඳ කතිකාවකින් තොරවම 2007 වසර ගෙවී ගියේය. ඉන් පසුව 2008 වසරේදී සම්මේලනය යළිත් සිය වැටුප් සම්බන්ධයෙන් කතා කිරීමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ආචාර්යවරුන්ගේ වැටුප් ව්‍යqහයන් සංශෝධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ම කමිටුවක්‌ පත්කරන ලදී. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු උප සභාපති මහාචාර්ය එම්. ටී. එම්. පිµaරි, එවකට මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය මලික්‌ රණසිංහ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. රණේපුර යන මහත්වරු සහ අතිරේක ලේකම් ඩබ්ලිව්. කරුණාරත්න මහත්මිය එම කමිටුවට අයත් වූහ. වැටුප් සම්බන්ධයෙන් කළ දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම වසරේ අගෝස්‌තු මස 8 වැනිදා එම කමිටුව සිය නිර්දේශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කළේය. ප්‍රතිපාදන කොමිෂන් සභාව පත්කළ කමිටුවෙන් ද කියා සිටියේ ආචාර්යවරුන්ගේ වැටුප් හා දීමනා සාධාරණ තලයක පිහිටුවා නැති බවය. ආචාර්යවරුන් සමාන සුදුසුකම් සහිත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි වැටුපක්‌ හිමිවන බවද එම කමිටු නිර්දේශවලින් කියෑවේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්‌ඩල ලබන වැටුප් හා දීමනා ඉහළ තලයකට පත්ව ඇති බවත් එම කමිටු නිර්දේශවල සඳහන් වේ. එමෙන්ම ඒ හා සමාන මට්‌ටමකට ආචාර්යවරුන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුතු යෑයි කමිටුව නිර්දේශ කර තිබිණි. මීට අදාළවද සමිති සම්මේලනය හා බලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්විණි. 2008 වසරේ සැප්තැම්බර් මස 8 වැනිදා ආචාර්යවරුන්ට ඉමහත් අස්‌වැසිල්ලක්‌ ගෙන දෙමින් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අනුමැතිය මත නව වැටුප් ව්‍යqහයන් ඇතුළත් යෝජනා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරිණි. එම යෝජනාවලියෙන් ඉල්ලා තිබුණේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ වැටුප සියලු දීමනාද සහිතව රුපියල් 16,87,50 ක්‌ දක්‌වා ඉහළ නංවන ලෙසය. එමෙන්ම එම යෝජනාවන්ට අනුව අලුතින් සේවයට එක්‌වන කථිකාචාර්යවරයකුගේ වැටුප් හා දීමනා රුපියල් 78 750 ක්‌ වේ. වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද එම වැටුප් යෝජනාද කිසිදු සැලකිල්ලකට ලක්‌ නොවූ බව සඳහන් කළ යුතුය. පසුගිය වසරේ සැප්තැම්බර් මස 5 වැනිදා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හදිසි වැටුප් යෝජනාවලියක්‌ ආණ්‌ඩුවට ඉදිරිපත් කරන්නේ මෙම වසරට අදාළ අයවැය යෝජනාවලියට එය ඇතුළත් කර ගැනීමේ අපේක්‍ෂාවෙනි. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ වැටුප දීමනාද සහිතව රුපියල් 132,000 දක්‌වාත් අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයකුගේ වැටුප දීමනාද සහිතව රුපියල් 44,385 දක්‌වාත් ඉහළ නංවන ලෙසත් එම හදිසි යෝජනාවලියෙන් ඉල්ලා තිබිණි. සම්මේලනයේ අපේක්‍ෂාව වූයේ මෙම වසරේ අයවැය යෝජනාවන්ට එම ඉල්ලීම ඇතුළත් වනු ඇති බවය. අවසානයේ සිදු වූයේ ආචාර්යවරුන් කිසිසේත්ම අපේක්‍ෂා නොකළ දෙයකි. අයවැයෙන් ආචාර්යවරුන්ට ලැබුණේ සියලුම රජයේ සේවකයන්ට හිමි වූ සියයට පහක වැටුප් වැඩි වීම සහ සියයට 6.25 ක අධ්‍යයන දීමනාවය. මීට අමතරව පර්යේෂණ දීමනාවක්‌ ලෙස 25% ක්‌ ලබා දීමටද අයවැයෙන් යෝජනා කළේය.

රජයේ සේවකයන්ට සියයට පහකින් වැටුප් වැඩි වන විට ආචාර්යවරුන්ගේ වැටුප සියයට 36.25 කින් වැඩි කර ඇතැයි ඇමැති එස්‌. බී. දිසානායක මහතා පුන පුනා ප්‍රකාශ කරන්නේ මෙම දීමනාද සමග ආචාර්යවරුන්ට ලැබෙන වැටුප පිළිබඳවය. එහෙත් මෙම සියයට 25 ක පර්යේෂණ දීමනාව මාස්‌පතා වැටුපට එකතු නොවේ. එම සියයට 25 ලබා ගැනීම සඳහා පර්යේෂණ කළ යුතුය. ඒ වෙනුවෙන් වෙනම ක්‍රියාවලියක්‌ පවතී. ඒ සඳහා මාස කිහිපයක්‌ අවශ්‍යය. පර්යේෂණ දීමනාව ලබා ගැනීම සඳහා එම ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය. ඇමැතිවරයා ප්‍රකාශ කරන ආකාරයට ලිsපියක්‌ ඉදිරිපත් කරමින් පර්යේෂණ දීමනා ලබා ගත නොහැකි යෑයිද ආචාර්යවරු පවසති. විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ පර්යේෂණයක්‌ ලිපියකට සීමා නොවන බවද ඔවුහු පවසති. ලිපියක්‌ ඉදිරිපත් කරමින් පර්යේෂණ දීමනාවක්‌ ලබා ගැනීම යෝග්‍ය නොවන බව ඔවුන්ගේ අදහසය. කෙසේ වුවද ආණ්‌ඩුව අයවැයෙන් ඉදිරිපත් කළ වැටුප් වැඩි වීම හා දීමනා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයන් කොටසක්‌ විසින් ඉහ මුදුනින් පිළිගන්නා ලදී. ඔවුන් ආණ්‌ඩුව සමග පවතින මිත්‍රත්වය ඊට හේතු වූ බව පැහැදිලිය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලතලද දැරූ එම ආචාර්යවරුන් ආණ්‌ඩුවේ යෝජනා පිළිගත්තද ඊට එරෙහිව තවත් පිරිසක්‌ පෙළ ගැසුණහ. සමිති සම්මේලනයේ නිලධාරීන් තෝරා ගැනීමේ ජන්දයේදී ආණ්‌ඩුවේ හිතවතුන්ගෙන් නිලතල ඉවතට විසි වෙමින් ආණ්‌ඩුවේ යෝජනාවන්ට එරෙහි වූ පිරිසට සම්මේලනයේ බලය ලැබීමෙන්ම ආචාර්යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දේශපාලනයට යට කළ නොහැකි බව රටටම පෙනී යයි. සම්මේලනය දැන් සිය ශක්‌තිය පෙන්වීමට පටන් ගෙන ඇත. 2008 වසරේදී උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය මත වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ වැටුප් යෝජනා ක්‍රියාත්මක කරන්නැයි ඔවුහු දැන් ඉල්ලා සිටිති. එම වැටුප් යෝජනා ලබා ගැනීම සඳහා සමිති සම්මේලනය මේ වන විට වාත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙමින් සිටියි. පසුගිය 9 වැනිදා සිට විශ්වවිද්‍යාලවල තමන් දරන පරිපාලන තනතුරුවලින් ඉල්ලා අස්‌වූ ආචාර්යවරුන් ලබන අගෝස්‌තු මස පැවැත්වෙන උසස්‌ පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇඟයීම් අධීක්‍ෂණයෙන් ඉවත් වීමට ද මේ වන විට තීරණය කර ඇත. අංශ ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක, ශිෂ්‍ය උපදේශක, පාඨමාලා සම්බන්ධීකාරක වැනි ස්‌වෙච්ඡා පරිපාලන තනතුරුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයට ආචාර්යවරුන්ගෙන් සියයට අනූවක්‌ පමණ එකඟතාව පළ කර එම තනතුරු අත්හැරීමෙන් පෙනී යන්නේ ආණ්‌ඩුව අයවැයෙන් කළ යෝජනා බහුතරයක්‌ ආචාර්යවරුන් අනුමත නොකරන බවය.

වයඹ විශ්වවිද්‍යාලයේ හා විවෘත විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානීන්ගේ තනතුරු අත්හැරීම ප්‍රතිශතයක්‌ වශයෙන් සියයට සියයකි. රුහුණ විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානීන් 43 දෙනාගෙන් 40 දෙනෙක්‌ තනතුරු අත්හරිමින් සියයට 93 ක ප්‍රතිශතයක්‌ පෙන්නුම් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානීන්ගේ ඉල්ලා අස්‌වීමේ ප්‍රතිශතය සියයට 89 කි. යාපනය හා මොරටුව විශ්වවිද්‍යාලයන්හි සියයට 87 බැගිනි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අනුව විශ්වවිද්‍යාල 12 ක අංශ ප්‍රධානීන් 318 දෙනාගෙන් 278 දෙනකුම තනතුරු අත්හැර සිටිති. එහෙත් ඇමැති එස්‌. බී. දිසානායක මහතා පවසන්නේ තනතුරු අත්හැර අංශ ප්‍රධානී රාජකාරිවලින් බැහැරව සිටින්නේ ආචාර්යවරුන් 144 ක්‌ පමණක්‌ බවය. අප දන්නා පරිදි ඇතැම් විශ්වවිද්‍යාලයන්හි සමහර පීඨවල දේශන නොපැවැත්වෙයි. ඊට හේතු වී ඇත්තේ දේශන ශාලා විවෘත කිරීමේ, රසායනාගාර විවෘත කිරීමේ වගකීම පැවැරෙන්නේ අංශ ප්‍රධානීන්ට වීමය. රසායනාගාරවල උපකරණ පිළිබඳ වගකීම දැරීමට පීඨාධිපතිවරුන් සූදානම් නැත. මෙම තත්ත්වය මත විද්‍යා පීඨවල අධ්‍යයන කටයුතු අඩාළ වී තිබේ. එමෙන්ම යාපනය, පේරාදෙණිය, රුහුණ හා රජරට යන විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීSSSඨවල අංශ ප්‍රධානීන්ද වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්‌ වෙමින් තනතුරු අත්හැර සිටින බව සමිති සම්මේලනය ප්‍රකාශ කරයි. එහෙත් ඇමැතිවරයා පවසන්නේ වෛද්‍ය පීඨ කිසිවක අංශ ප්‍රධානිවරයකු ඉල්ලා අස්‌වී නොමැති බවය. කෙසේ වුවද අර්බුදයක්‌ උද්ගත වී ඇති බව පැහැදිලි කරුණකි. වරෙක උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පවසා සිටියේ තනතුරු අත්හරින අංශ ප්‍රධානීන් වෙනුවට වෙනත් ආචාර්යවරුන් පත් කරන බවය. ඒ සඳහා අවශ්‍ය තරම් ආචාර්යවරුන් සිටින බවද හෙතෙම කී නමුත් පසුගිය 9 වැනිදා සිට තනතුරු අත්හැර සිටින අංශ ප්‍රධානීන් වෙනුවට වෙනත් කිසිදු ආචාර්යවරයකු මෙතෙක්‌ පත් කර නැත. එලෙස කළ හැකි නම් එය පසු දින සිටම ක්‍රියාත්මක කරමින් තම හැකියාව පෙන්වීමට දිසානායක මහතාට හොඳටම අවස්‌ථාව තිබිණි. එහෙත් අදටත් ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටියි. කියන සියලු දේ ප්‍රායෝගික නොවන බව අවබෝධ වී ඇත්තා සේය. ඇමැතිවරයා කුමන ප්‍රශ්නයක්‌ වුවද විසඳීමට උත්සාහ කරන්නේ මර්දනීය හා දඩබ්බර ආකාරයෙනි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් පසුගිය දිනවල ඔහුq විසින් කරන ලද ඇතැම් ප්‍රකාශ නිසා ආණ්‌ඩුවට හිතවත් ආචාර්යවරු පවා අන්දමන්ද වී සිටිති.

සිය වැටුප් වැඩි කරන්නැයි ආචාර්යවරුන් කරන සටන අසාධාරණ යෑයි කිසිවකුට කිව නොහැක. ඒ ඉල්ලීම් අසාධාරණ යෑයි කියන සියල්ලෝ පදනම් කර ගන්නේ පසුගිය වසරේ අගභාගයේ ඉදිරිපත් කළ අය-වැය යෝජනාවලිය පමණය. සියලු රාජ්‍ය සේවකයන්ට සියයට පහක වැටුප් වැඩි වීමක්‌ දෙන විට ආචාර්යවරුන් පමණක්‌ වැඩි වැටුපක්‌ ඉල්ලීම අසාධාරණය යන්න ඔවුන්ගේ තර්කයය. 1970 කාලය දෙසට ගියහොත් විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ තත්ත්වය කෙබඳුද යන්න පැහැදිලි කර ගත හැකිය. එම කාලයේ සහකාර කථිකාචාර්යවරයකුගේ වැටුප රුපියල් 700 කි. එම සුදුසුකම් මත මහ බැංකුවට බැඳෙන නිලධාරියකුගේ වැටුප රුපියල් 600 කි. එපමණක්‌ නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපද රුපියල් 600 කි. එහෙත් අද තත්ත්වය කෙබඳුද? විශ්වවිද්‍යාල ආචාර්යවරයාට අද දක්‌වන සැලකිල්ල සාධාරණදැයි ඔවුන්ගේ ඉල්ලීම් අසාධාරණ යෑයි මොරදෙන පිරිස්‌ මැදහත් සිතින් විමසිය යුතුය. අද කථිකාචාර්යවරයකුගේ වැටුප රුපියල් 26,900 කි. එම සුදුසුකම් මත මහ බැංකුවේ කළමනාකාරණ පුහුණු නිලධාරියකු ලෙස සේවයට එක්‌ වන නිලධාරියකුගේ වැටුප රුපියල් 45,000 කි. පුහුණුව අවසන් වූ වහාම එම වැටුප රුපියල් 63,000 දක්‌වා වැඩි වෙයි. එපමණක්‌ නොව එදා කථිකාචාර්යවරයාට වඩා අඩු වැටුපක්‌ ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් 54,000 ක වැටුපක්‌ ලබයි. තමන් සතු හැන්දෙන් තමන්ටම බෙදාගෙන ඇති ආකාරය ගැන කියන්නට තවත් අටුවාටීකා අවශ්‍ය නැත. එදා කථිකාචාර්යවරයාට තිබූ තත්ත්වය අද කෙබඳුද යන්න පැහැදිලිය. ඒ අසාධාරණයට වගකිව යුත්තෝ කවරහුද? විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙලෙස පහත් තත්ත්වයකට පත්වීම හෝ පත් කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් ආචාර්යවරුද වගකිවයුතුය. මෙතරම් පහත් තත්ත්වයකට පත් වන තෙක්‌ බලාසිටින්නට තරම් ආචාර්යවරුන් නිහඬ වූයේ ඇයිද යන්න විමසිය යුතුය. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වශයෙන් සේවයට එක්‌ වීමට පළමු ශ්‍රේණියේ හෝ දෙවැනි ශ්‍රේණියේ ඉහළ සාමර්ථ්‍යයක්‌ අවශ්‍යය. එම සුදුසුකම් මත සේවයට එක්‌වන ආධුනික කථිකාචාර්යවරයා වසර අටක්‌ යන තෙක්‌ ස්‌ථිර නොකෙරේ. එම වසර අට ගතවීමට පෙර පශ්චාත් උපාධියක්‌ සඳහා ලියාපදිංචි වී සුදුසුකම සපුරාලිය යුතුය. එම සුදුසුකම සපුරාලිය නොහැකි වුවහොත් සේවයෙන් ඉවත් විය යුතුය. සේවයේ ස්‌ථිර වීමෙන් වසර පහකට පසුව තීරුබදු රහිත වාහනයක්‌ මිලදී ගැනීමට තිබූ හිමිකම මේ වන විට වසර 12 දක්‌වා දීර්ඝ කර ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් 74 දෙනකු පළමු ශේ්‍රණියට ඇතුළත් වීමට නොහැකිව තවමත් නිවෙස්‌වලය. ඒ සඳහාද නිශ්චිත වැඩපිළිවෙළක්‌ ආණ්‌ඩුවට නැත. දිනෙන් දිනම විශ්වවිද්‍යාල ආචාර්යවරයා පහත් තත්ත්වයකට ඇද දමමින් සිටින බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට පමණක්‌ නොව මෙම ගැටලුවලටද විසඳුම් ලබාදිය යුතුය. එහි විවාදයක්‌ නැත. එහෙත් සිදු වෙමින් පවතින්නේ බොළඳ විහිළු කතාවලින් සියල්ල යටපත් කිරීමට වෙර දැරීමය. ඒ සුජාත දුක්‌ගැනවිලිවලට පහරදී වැනසීම එතරම් සුබදායී නොවන වග අවසාන වශයෙන් ලියා තබමු.

නිලන්ත මදුරාවල