Thursday, May 26, 2011

ස්‌වේච්ඡා සේවාවක බලය පෙන්වන සරසවි ඇදුරු අරගලය

Divaina, 26/05/2011, ලියනගේ අමරකීර්ති

ලංකාවේ විශ්ව විද්‍යාලවල අති විශාල බහුතරයක්‌ ආචාර්යවරු තමන් දැරූ ස්‌වේච්ඡා තනතුරුවලින් ඉවත් වී සිටිති. මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතාමත් සාර්ථක වී ඇති අතර එමගින් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු මුළුමනින්ම පාහේ නැවතී ඇත. එහෙත් ආචාර්යවරුන් වන අපි සෑම දිනෙකම විශ්ව විද්‍යාලයට පැමිණ බලධාරීන්ගෙන් සාධාරණීය පිළිතුරක්‌ ලැබෙන තුරු අපේක්‌ෂා සහගතව සිටිමු.

සාධාරණීය ප්‍රතිචාරයක්‌?

ඔව්. වෙන කිසිම වර්ගයක ප්‍රකිචාරයක්‌ අපි බාර නොගන්නෙමු. අපි දිනපතා හමු වී සාකච්ඡා කරන්නෙමු. වෘත්තීය සටන ගැන අපේ අදහස්‌ බෙදා හදා ගනිමු. සටනෙහි අනාගත සැලසුම් සාකච්ඡා කරමු. මෙරට වඩා උගත් පිරිසගෙන් සැදි වෘත්තීය සමිති සම්මේලනය අප සතු නිසා අපට ඇති අනාගත සටන් සැලසුම්ද බොහෝය. මේ කවරක්‌ කළත් විශ්ව විද්‍යාලවල ඉගැන්වීමේ කටයුතු කරගෙන යාම ඉතා අසීරුය. අංශාධිපතිවරුන් ඉල්ලා අස්‌වීම නිසා අධ්‍යයන අංශ මට්‌ටමේ කිසිදු පාලනයක්‌ නැත. ස්‌වේච්ඡා පදනමින් බාර ගැනෙන තනතුරුවලින් සැදි පරිපාලන පද්ධතියකින් විශ්ව විද්‍යාලවල අධ්‍යයන හා පර්යේෂණ කටයුතු පාලනය කෙරෙන නිසා එවැනි තනතුරු හිස්‌ වී ඇති තත්ත්වයක්‌ තුළ හුණු කෑල්ලක්‌ හෝ වයිට්‌ බෝඩ් මාකරයක්‌ වැනි දේ නැතිව විශ්ව විද්‍යාල ඉගැන්වීමක්‌ කළ නොහැකිය. ගහක්‌ යට වාඩි වී කටට එන්නක්‌ කියමින් විද්‍යා පීඨ හෝ ඉංජිනේරු පීඨ වැනි තැන්වල උගන්වන්නට හැකිද?

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වෘත්තීය සටන් ක්‍රියා මාර්ගය දිනෙන් දිනෙන් ශක්‌තියෙන්ද වේගයෙන්ද වැඩෙන්නේ අප සියලු දෙනා සුන්දර සාමූහිකත්වයක්‌ වෙත දින දිනම එකමුතු කරමිනි. පසුගිය මැතිවරණ කිහිපයකදී රජයට සහාය දුන් අයද ආණ්‌ඩුවේ නිල හෝ නොනිල උපදේශක මට්‌ටම්වල සිටි හෝ තාමත් සිටින අයද මෙම වෘත්තීය සටනට සහාය දෙති. ඉන් ඇතැමෙක්‌ වර්තමාන උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා රජයට එක්‌වීමට පෙර සිටම රජයට සහාය දැක්‌වූවෝ වෙති. කටකතාවෙහි එන හැටියට නම් ඒ බුද්ධිමතුන්ගෙන් ඇතමෙක්‌ එස්‌ බී දිසානායක නම් යූ.ඇන්.පී. කාරයා රජයට ගෙන ඒමට කපුකමද කළෝය. ඒත් ඇමතිතුමාණෝ අපේ වෘත්තීය සටන යූඇන්පී කුමන්ත්‍රණයකැයි කියති¾ අපේ වෘත්තීය සමිති නායකත්වය මේ සටන එදිනෙදා කුණු දේශපාලනයෙන් බොහෝ ඉහළ අඩවියක්‌ වෙත ඔසවා තිබේ. අප සියලු දෙනාම ඒ නායකත්වය පිටුපසින් සිටින්නේ ඒ නිසාය.

තමන්ගේ කීර්තිය හා ප්‍රසිද්ධිය සඳහා බුද්ධියට වඩා මුඛය මත ර\ සිටින ඇමැති මහතා අප අමතන්නේ අප සමෘද්ධි නියාමකයන් පිරිසකැයි සලකාගෙන වැනිය. ඔවුන්ට බැණ අ`ඩ ගැසීම හරි යෑයි අපි නොකියමු. සමෘද්ධි නියමකයන් යනුද අපේ සහෝදර සහෝදරියන් නිසා ඔවුන් සමග අපට ඇත්තේ සාමූහික සාහෝදරත්වය මිස අනිකක්‌ නොවේ. ඇමැති කෙනකු ඔවුන්ට පහත් වචනයෙන් කෑ ගෑමද වැරදිය. එනමුත් අපට කතා කරන විට ඇමැති මහතාගෙන් මීට වැඩි ශික්‌ෂිත වාග් විලාසයක්‌ අපි අපේක්‌ෂා කරමු. ඔහු උසස්‌ අධ්‍යාපන ඇමැති වරයාද අප උසස්‌ අධ්‍යාපනය ක්‌ෂේත්‍රයෙහි ආචාර්යවරුන්ද වන බැවිනි. ඇමැති මහතාගේ නිල නම "උසස්‌ අධ්‍යාපනය බාර පහත්" ඇමැති වී නම් ඔහුගේ වාචාලකම් ගණන් නොගෙන ඉන්නට තිබිණ.

ස්‌වේච්ඡා තනතුරුවල බලය

ස්‌වේච්ඡා තනතුරුවලින් ඉවත් වීමෙන් පමණක්‌ අපේ විශ්ව විද්‍යාලවල කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නතර කරන්නට අපට හැකි විය. මේ ස්‌වේච්ඡා තනතුරු යනු මොනවාද යන්න පිළිබඳ මහජනතාව අතර ඇත්තේ අඩු අවබෝධයකි. පීඨාධිපති, අංශාධිපති, අධ්‍යක්‌ෂ, විනය පාලක, ප්‍රධාන ශිෂ්‍ය අනුශාසක, මණ්‌ඩල කැ`ඳවුම්කරු, මණ්‌ඩල සාමාජික, ශිෂ්‍ය සංවිධානවල ජ්‍යෙෂ්ඨ භාණ්‌ඩාගාරික යනාදී තනතුරු රාශියක්‌ විශ්ව විද්‍යාලවල ඇත. මේ තනතුරුවලින් බොහොමයකට කිසිම මූල්‍යමය ගෙවීමක්‌ කරනු නොලැබේ. ගෙවීම් සහිත තනතුරු (පීඨාධිපති වැනි) සඳහාද ඇත්තේ සොච්චම් ගෙවීමකි. ඉeගන්වීම හා පර්යේෂණ කිරීම විශ්ව විද්‍යාල ආචාර්යවරයාගේ ප්‍රධාන රාජකාරිය වුවද ඔහුගේ හෝ ඇයගේ කාලයෙන් විශාල කොටසක්‌ වැය වන්නේ ඉහත කී ස්‌වේච්ඡා තනතුරු සඳහාය. මේ තනතුර ස්‌ෙච්ඡා තනතුරු යෑයි හැඳින්වීම එක්‌ අතකින් වැරදිය. මන්ද යත් ස්‌වේච්ඡාවෙන් බාරගත්ත ද ඉන් පසු ඒ තනතුරු පිළිබඳ සියලු වගකීම ඒ තනතුර බාර ගන්නා අය මත පැටවෙන බැවිනි.

තම වෘත්තිය පිළිබඳ කැපවීමෙන් යුක්‌ත නියම විශ්ව විද්‍යාල ආචාර්යවරයාගේ සතියේ කාල සටහන මෙවැනි ස්‌වේච්ඡා කාර්යන්ගෙන් පිරී ඇත. මේ තනතුරු සඳහා වරසකට එක බැගින් හෝ ඊට අඩුවෙන් ලකුණු ලැබෙන අතර ඒ ලකුණු උසස්‌වීම් දීමේදී සලකා බලනු ලැබේ. එහෙත් බොහෝ විට එක්‌ තනතුරක්‌ සඳහා ලැබෙන්නේ උපරිම ලකුණු තුනකි. එනම් කෙනකු යම් ස්‌වේච්ඡා තනතුරක අවුරුදු තුනට වඩා වැඩ කරන්නේ නම් ඔහුට හෝ ඇයට ඒ අමතර කාලයට කිසිදු පිළිගැනීමක්‌ නොලැබේ. එනමුත් බොහෝ අචාර්යවරුන් මේ සේවාවන්a කරන්නේ ලකුණු බලාගෙන නොවේ. ඔවුන්ගේ සේවාවෙහි අරමුණ මෙම උසස්‌ අධ්‍යාපන ආයතන රැක ගැනීමත් තමන්ගේ ශිෂ්‍යයන්ට හැකි සෑම අකාරයෙන්ම සේවය කිරීමත්ය.

විශ්ව විද්‍යාල හා අනාගත පරම්පරාව

අදූරදර්ශී දේශපාලනය නිසාම ඇති වූ විවිධ ප්‍රශ්න තිබුණත් උසස්‌ අධ්‍යාපනය සඳහා මෙරට ඇති හොඳම ආයතන පද්ධතිය නම් ජාතික විශ්ව විද්‍යාලයන්ය. විවිධ ජනවර්ගයන්ට අයත් ලංකාවාසී දක්‌ෂතම දරුවන්ට පැමිණ තමන්ගේ දැනුම වැඩි වර්ධනය කර ගැනීමටත් අනාගත විශිෂ්ටතා වෙනුවෙන් සූදානම් වීමටත් ඇති වඩාම නිදහස්‌ හා උසස්‌ අධ්‍යාපන ආයතනය විශ්ව විද්‍යාලයයි. අප ස්‌වේච්ඡා තනතුරුවලින් ඉවත් වී බලධාරීන්ට පෙන්වා දෙන්නේ අප පඩියට කරන වැඩවලට අමතරව කැමැත්තෙන් කරන සේවය නැතිව මේ ජාතික ආයතනවලට ක්‍රියා කරන්නට බැරි බවය. නිදර්ශනයක්‌ ලෙස අංශාධිපති කෙනකු නැතිව කිසිම ඉගැන්වීම් කටයුත්තක්‌ කළ නොහැකිය. ඉeගන්වීම් වැඩ පවරන්නේ, ඒවා අධීක්‌ෂණය කරන්නේ, අවශ්‍ය පහසුකම් සපයන්නේ අංශාධිපතිවරයා හෝ වරියයි. ඉගැන්වීම් යාන්ත්‍රණයේ රෝදය කැරකෙන්නේ අංශාධිපති තනතුර නම් හබ් එක මතයි. අංශාධිපති තනතුරටත් වඩා බලයෙන් අඩු කමිටුවක්‌ නිදර්ශනය ලෙස ගනිමු. විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතුවලට අදාළ වැදගත් තීරණ මුලින්ම ගැනෙන්නේ කුඩා කමිටු තුළදීය. අවසානයේදී ඒ තීරණ පීඨමණ්‌ඩලයේ අනුමැතියට ඉදිරිපත් වෙයි. විශ්ව විද්‍යාලවල තීරණ ගැනීමේ ක්‍රියාවලිය එසේ විමධ්‍ය ගත කර ඇත. ඒ අතින් විශ්ව විද්‍යාලවල පාලනය ආණ්‌ඩුවටත් වඩා ප්‍රජාතාන්ත්‍රිකය(පේරාදෙණියේ නම් එහෙමය). කමිටුවක්‌ යනු විශ්ව විද්‍යාලයේ ප්‍රාණය නිවසන එක්‌ කුඩා ඒකකයක්‌ වන්නේ ඒ නිසාය. මේ කමිටු නිතර මුණ ගැසී අදාළ ප්‍රශ්න ගැන දීර්ඝ සාකච්ඡා පවත්වා තීරණ ගනියි. මේ කමිටුවල වැඩ කිරීම වෙනුවෙන් කිසිම මුදලක්‌ ගෙවනු නොලැබේ. සමහර විට උසස්‌ වීම් සඳහා ලකුණුවත් නොලැබේ. එහෙත් මෑතකදී රජයේ ආයතනවල අධ්‍යක්‌ෂ මණ්‌ඩලවල රැස්‌වීම් වාරයකට ඒ මණ්‌ඩල සාමාජිකයකුට ගෙවන මුදල රුපියල් දහ දාහක්‌ (10000) දක්‌වා වැඩි කර ඇත¾ මේ අධ්‍යක්‌ෂකකම් බොහෝ විට ලැබෙන්නේ දේශපාලන පක්‌ෂපාතකම් වෙනුවෙනි. අප අදාළ විෂයෙහි උපරිම අධ්‍යාපන සුදුසුකම්ද ලැබ ඉහත කී සේවාවන් කරන්නේ නොමිලේය.

අප නොමිලේ කරන වැඩ සඳහා වෙනත් පරිපාලන සේවයක්‌ ( උසස්‌ අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපන පරිපාලන සේවය නමින් ) ඇති කරන්නට සිදුවුවහොත් මහජන මුදල් තමන්ගේ මුදල් සේ සලකා "ආරක්‌ෂා කරන" බවට ප්‍රකට භාණ්‌ඩාගාරයේ ලේකම් තුමාට බිලියන ගාණක මුදලක්‌ අලුතින් සොයන්නට සිදු වනු ඇත. ඒ මහතා එවැනි මුදලක්‌ කොහෙන් හෝ හොයා ගත්තද අදාළ සේවාව සඳහා අප තරම් සුදුස්‌සන් සොයන්නට අසමත් වනු නියතය. සම්පූර්ණ වැඩ වර්ජනය නොයාම විශ්ව විද්‍යාලවල කටයුතු අඩපණ කරන්නට අපට හැකි වී ඇත්තේ අප සැබවින්ම වැදගත් වැඩ කොටසක්‌ ස්‌වේච්ඡාවෙන් කරන නිසාය. ඒ අතින් අප සතු ආචාරධාර්මික ප්‍රාග්ධනය කිසිම ඇමැති කෙනකුට නැති දෙයකි.

ආචාර්යවරුන්ට වැඩි වැටුප් ඇයි?

මේ රචනයේදී මා අවධානය යොමු කර ඇත්තේ නියම හා කැපවුණු ආචාර්යවරුන් ගැනය. සේවා කාලය තුළදී වෙනත් තැන්වල ගොස්‌ මුදල් උපයන බවට රජය අපට චෝදනා කරයි. එවැනි අය සිටී නම් ඒ කවුදැයි සොයා හෙළිදරව් කිරීම හා ද`ඩුවම් කිරීම රජයේ වගකීමකි. විශ්ව විද්‍යාලයේ සිටින කැපවුණු ගුරුවරුන්ට අනුන්ගේ වැඩ ගැන සොයන්නට වෙලාවක්‌ නැත. අපේ අරගලය අන් කවරක්‌ සඳහාවත් නොව විශ්ව විද්‍යාල ආචාර්ය වෘත්තීය නියම පරමාදර්ශ අත් නොහැර ජීවත්වීම සඳහා ආචාර්යවරුන්ට උදව් කිරීමයි. ආචාර්යවරයා පර්යේෂණයෙහි අධ්‍යයනයෙහි හා ඉගැන්වීමෙහි රඳවා තැබීමට ඔහුට හෝ ඇයට ප්‍රමාණවත් හා ගෞරවනීය වැටුපක්‌ ගෙවිය යුතුය. මැයි 10 වැනිදා ද අයිලන්ඩ් පුවත්පතේ අපූරු කතුවැකියෙන් පෙන්නා දුන් පරිදි ආචාර්යවරුන්ට වැඩියෙන් පඩි ගෙවා වැඩියෙන් වැඩ ගැනීම රජය විසින් කළ යුත්තකි.

විශ්ව විද්‍යාලවල අනාගතය

අපේ අරගලය හුදෙක්‌ අප සඳහා නොව අනාගතය සඳහාය. අපේ රට ආසියාවේ දැනුම් කේන්ද්‍රය කිරීමේ ක්‍රියාවලිය තුළ ක්‍රියාකාරී භූමිකාවක යෙදෙන්නට අපට අවශ්‍යතාව ඇත. ලංකාවේ විශ්ව විද්‍යාලවල දැනට පවතින වැටුප් ව්‍යqහ අනුව දක්‌ෂ හා සුදුසුකම් සහිත ආචාර්යවරුන් බඳවා ගැනීමත් රඳවා ගැනීමත් ඉතා අසීරු වී ඇත. මේ අංශයෙන් වඩාත් බරපතළ ගැටලු ඇත්තේ විද්‍යා පීඨවලය. ලංකාවේ වැටුප් සමග සස\ බලන කල ලෝකයේ ප්‍රකට විශ්ව විද්‍යාලවලින් ආචාර්ය උපාධි ලබා පැමිණ සිටින තරුණ ආචාර්යවරුන් තාමත් ලංකාවේ සිටීම පුදුම සහගතය. මෙම වැටුප් ගැටලුව විසඳීමට රජය අසමත් වුවහොත් ඒ විශිෂ්ට උගතුන් තම දැනුමද රැගෙන සිය දහස්‌ ගණනින් ලංකාව හැර යාමට හොඳටම ඉඩ ඇත. එවිට ආසියාවට ඉතුරු වන්නේ දැනුම නැති කේන්ද්‍රයකි. ඒ නිසා අපේ අරගලය ආසියාවේ දැනුම් කේන්ද්‍ර සැලැස්‌මට ජීවයක්‌ සපයන්නටය. එහෙත් විශාල කුණු කෙළ තොගයක්‌ දෛනිකව ජන මාධ්‍යයට නිකුත් කරන ඇමැති මහතා කියන්නේ අප කුමන්ත්‍රණ කාරයන් බවය. අප කුමන්ත්‍රණ කාරයන් නම් ආසියාවේ දැනුම් කේන්ද්‍ර සැලැස්‌මද කුමන්ත්‍රණක්‌ විය යුතුය. අප නම් සිතා සිටියේ එය මහින්ද චින්තනයේ කොටසක්‌ කියාය¾ තමාගේම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සැලසුම්වලට මෙලෙස එළිපිටම පහර දෙන ඇමැතිවරයකු අප නම් මීට පෙර දැන සිටියේ නැත.

අපි අපේ ශිෂ්‍යයන්ට දැඩි සේ ආදරය කරමු. අප ජීවය ලබන්නේ ඔවුන් අබිමුව පන්ති කාමරයේදීය. උගන්නන්නට අවස්‌ථාවක්‌ නැති කල අප ප්‍රාණයෙන් තොර වූවාක්‌ වැන්න. එහෙත් මෙවර අප අධිෂ්ඨාන කරගෙන සිටින්නේ අපගේ වෘත්තීය ගෞරවය යළි දිනාගත් ජයග්‍රාහී පිරිසක්‌ ලෙස අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හමුවට යාමටය. ඒ හැර අන් කිසිම ඉලක්‌කයක්‌ අපට නැත.


ලියනගේ අමරකීර්ති, සිංහල අංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.