Saturday, May 14, 2011

සරසවි ඇදුරන් ඉල්ලන්නේ 50% ක වැටුප් වැඩිවීමක්‌ පමණයි, 200% ක වැඩිවීමක්‌ කිසිදා ඉල්ලා නෑ, මහාචාර්ය සුමනසිරි ලියනගේ

Divaiyina, 14/05/2011, රංජිත් සේනවීර - පේරාදෙණිය

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සියයට දෙසීයක වැටුප් වැඩිවීමක්‌ ඉල්ලා සිටින බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළත් එවැනි ඉල්ලීමක්‌ ආචාර්යවරුන් කිසිදාක කර නොමැති බවත්, අප ඉල්ලන්නේ සියයට 50 ක වැටුප් වැඩිවීමක්‌ පමණකැයිද, එම සියයට පනහේ වැටුප් වැඩිවීම ලබාදීමට රජය පොරොන්දු වී සිටියත් රජය එය කඩකර ඇති නිසා අද විශ්වවිද්‍යාලවල වත්මන් අර්බුදය හටගෙන ඇතැයි ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාපීඨ ආචාර්ය සංගමයේ විධායක සභික මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට අරඹා ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හා ඊට රජය දක්‌වන ප්‍රතිචාර සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් මහාචාර්යවරයා එසේ පැවැසීය.

ඊට අමතරව ආචාර්යවරුන්ගේ සංගමය ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලුවේ නැහැ කියාත් එතුමා ප්‍රකාශ කර තිබුණා. නමුත් අපේ සංගමය අය-වැයට පසු 2011 මාර්තු මාසයේදී ජනාධිපතිතුමාට ලිපියක්‌ යවමින් සාකච්ඡාවක්‌ ඉල්ලා තිබෙනවා. නමුත් එයට කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැහැ. අනතුරුව උසස්‌ අධ්‍යාපන ඇමැතිතුමාගේ උපදෙස්‌ අනුව අප සංගමය ඉකුත් අප්‍රේල් 17 දිනැති ලිපිය ජනාධිපතිතුමා වෙත භාරදෙන ලෙස උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වෙත භාරදී තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රශ්නය ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න දෙවතාවක්‌ උත්සාහ ගෙන තිබෙන නමුත් ඒ එකකටවත් ප්‍රතිචාර ලැබුණේ නැහැ.

දැනට අපට දැනගන්නට ලැබී ඇත්තේ, ජනාධිපතිතුමාට භාරදෙන ලෙස අප සංගමය උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදුන් ලිපිය ජනාධිපතිතුමාට ලැබී නොමැති බවයි. අපගේ එකම අරමුණ මෙම ප්‍රශ්නය සාකච්ඡාවෙන් විස¹ගන්නයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුකළේ රජය ඒ සාකච්ඡාමය පිළිවෙතට යොමු නොවූ නිසයි.

අප කියන්නේ මෙම ප්‍රශ්නය සාකච්ඡාවෙන් විස¹ගත හැකි බවයි. ආචාර්යවරුන් සෑම වෙලාවෙම නම්‍යශීලීව කටයුතු කර තිබෙනවා. ඒ නම්‍යශීලීභාවය අපගේ දුර්වලකමක්‌ ලෙස සිතා එය රජය විසින් නොසලකා හැර තිබෙනවා. එපමණක්‌ නොව පසුගිය මාස දෙක තුන තුළ උසස්‌ අධ්‍යාපන ඇමැතිතුමා සහ උසස්‌ නිලධාරීන් විශ්වවිද්‍යාල ගුරු ප්‍රජාවට ඉතා පහත් අයුරින් නිග්‍රහ වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරන්න පටන්ගෙන තිබුණා. එම තත්ත්වයයි අපට බලකර සිටියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න.