Tuesday, May 17, 2011

වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලෙන සරසවි ඇදුරන්ට ජනපති හමුවීමට අවස්ථාවක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා ගෙන යනු වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමට කටයුතු යෙදා ඇති බව වාර්තා වෙනවා.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත මහතා සදහන් කළේ ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සිය වැටුප් ගැටලූව පිළිබදව කරුණු දැක්වීමට සාකච්ඡාවක් ලබාදීමට නියමිත බවත් තවමත් නිශ්චිත දිනයක් යොදා ගෙන නොමැති බවත්ය. 

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සදහන් කළේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග හෝ පෞද්ගලික මට්ටමින් ජනාධිපතිවරයා සිදුකරන සාකච්ඡාවලට තම සංගමය සහභාගි නොවීමට තීරණයක් ගෙන ඇති බවයි. 

වැටුප් ගැටලූව පිළිබදව සාකච්ඡා කරන්නේ නම් ඒ සදහා තම සංගමය මගින් කණ්ඩායමක් පත්කර ඇති අතර, ඔවුන් සමග සාකච්ඡා කළ යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා. 


Link: http://www.cnews.lk/sinhala/newsview/newsview.php?id=2415&b=1&c=o