Divaina Feature article
උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ (අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) දීප්තිමත් ශිෂ්‍යයෙක් බව එතුමා නිතර නිතර පැවැසුවද බොහෝදෙනකු දන්නා කාරණයකි.
සෝරත ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ එම විශ්වවිද්‍යාලයේ ඇති කළ පුනරුදයෙන් ඵල ලබා අධ්‍යාපනික ශික්‌ෂණයක් ලද ඇමැති දිසානායක ඒ ශික්‍ෂණයේ මහිම කියාපානා අපූරු කතාවක් පසුගිය 9 වැනිදා මහනුවරදී කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. අද සටහන ආරම්භයට පූර්ව සූදානමක් ලෙස ඇමැති දිසානායකගේ එම අදහස් පෙළ කියවා බලතොත් යෙහෙකැයි හැඟේ.
බාහිර උපාධිධාරීන් මහා කාලකණ්‌ණි පිරිසක් බවත් ඔවුන් රටටම බරක් බවත් පවසා ඇති ඇමැති දිසානායක මෙසේද පවසා ඇත. "විශ්වවිද්‍යාල තුළින් බිහිවිය යුත්තේ ක්‍රීම් ඔµa ද ක්‍රීම් දරුවන්. අසාර්ථක කාලකණ්‌ණි දරුවන් බිහිකරන එක ඉදිරියට නවත්වන්න ඕනෑ. බාහිර උපාධිකාරයෝ අද රටට, ගමට, පවුලට මහා බරක්. සමහරුන්ට රැකියා දෙන්න යනකොට ඒ අයට සාපෙළ නෑ. අපේ අරමුණ පාරවල් අයිනේ හිටගෙන ඉන්නේ නැති උපාධිධාරීන් බිහි කරන එකයි."
ඉහත වාක්‍ය කියවන බොහෝ දෙනකුට කටට අපුලක් දැනී නම් එය සාමාන්‍ය දෙයකි. අපුලක් දැනෙන දෙයක් සැපුණු විගස එය "තූ" ගා දමන්නට අප දෙවරක් සිතන්නේ නැත. එහෙත් වචන එසේ තූ ගා හෙළන්නට නොහැක. එබඳු කලෙක කළ හැක්‌කේ අපුල වචන පවසන්නා පිළිබඳ අපුලක් ඇති කර ගැනීමය.
ඇමැති එස්.බී දිසානායක යනු කට වරද්දා ගැනීමේ පවට සිරබත් කෑමට පවා සිදුවූ පුද්ගලයකු බව අපි දනිමු. ඒත් එසේ සිරබත් කන්නට සිදුවූයේ වචනවල වැරැද්ද නිසාම පමණක් නොව වචන වරද්දා ගන්නා විට බලය ද හීන වී තිබූ නිසා බව අමතක කළ යුතු නැත.
කෙසේ වුවත් ඇමැති දිසානායකට බාහිර උපාධිධාරීන් කාලකණ්‌ණින් ලෙස පෙනෙන්නේ මන්ද යන්න ගැටලුවකි. ඇතැම් විට එතුමා අධ්‍යාපනය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කොට සරසවි වරම් ලබා උපාධිධාරියකු වූ නිසා විය හැක. තමන් දැඩි කැපවීමකින් දුක්‌විඳ ලබාගත් තානාන්තරය තවත් පිරිසකට කිසිදු අපහසුවකින් තොරව ලැබෙනවා යෑයි යන වේදනාව දිසානායක මහතාට පමණක් නොව සරසවි වරම් ලද සියල්ලන්ටම ඇති වුණද එහි දොසක් නැත. එහෙත් බාහිර උපාධිය යනු කිසිදු ප්‍රමිතියක් නැතිව දෙන උපාධියක් නම් එහි වරද ඇත්තේ සරසවි වරම් නොලැබූ කල විකල්පයකින් හෝ තමන්ගේ අධ්‍යාපන කුසලතා ඉහළ නංවා ගැනීමට උත්සාහ කරන බාහිර උපාධි අපේක්‌ෂකයන්ගේද එසේත් නැතිනම් එම උපාධිය ප්‍රමිතියකින් යුතුව ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරගත නොහැකි අධ්‍යාපන බලධාරීන්ගේ ද යන්න කාලකණ්‌ණි කතාවලින් බැහැරව ඉතා සංයමයෙන් යුතුව විමසා බැලිය යුතු වෙයි. එහෙත් අපට වන පුදුමය නම් විෙද්‍යාදය සරසවියේ ධර්මානුකූල පසුබිමක උසස් අධ්‍යාපන ලද අයකු මෙබඳු ශික්‌ෂණයක් නැති කතා කියන්නේ කෙසේද? යන්නය.
මහින්ද රාජපක්‍ෂ රජය රටට ත්‍රස්‌තවාදයෙන් නිදහස ලබාදීමට සමත් වුව ද අධ්‍යාපනික නිදහස හා ආර්ථික නිදහස ජනතාවට ලබාදීමට අසමත් වනුයේ ඒ අරභයා වන කළමනාකාරිත්වයේ ඌන භාවය නිසා බවය අපට හැඟෙනුයේ. එහෙයිනි. රටේ වැදගත්ම ක්‌ෂේත්‍රයක් වන අධ්‍යාපන ක්‌ෂේත්‍රය කඩා වැටී තිබියදීත් ඒ අර්බුද සංයමයෙන් යුතුව නිරාකරණය කරගත හැකි සුදුස්‌සකු එම තනතුරට පත්කරගත නොහැකිව ඇත්තේ.
අද මේ රජයේ ඇමැතිවරයකු නැත්තේ වැසිකිළි සම්බන්ධයෙන් පමණි. එහෙත් ජාතික වැදගත්කමක් ඇති අර්බුදයක් මතුවූ විට අදාළ විෂයභාර ඇමැතිවරයා කරනුයේ ඒ අර්බුදය මඩවළක් කර ජනාධිපතිවරයාට භාර දීමය. ඊට හේතුව රාජපක්‍ෂ රජයේ ඇමැති මණ්‌ඩලයේ නොහැකියාව ද එසේත් නැතිනම් ජනාධිපතිවරයා මත බලඅධිකාරියක් ගොඩනැඟී තිබීම ද යන්න පිළිබඳ අපට ඇත්තේ විචිකිච්චාවකි.
කෙසේ වුවත් වගකියුතු ඇමැතිවරයකු ලෙස උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති මේ අර්බුද බුද්ධිමත්ව විසඳාගැනීමේ ක්‍රියාපිළිවෙතට වහාම අවතීර්ණ විය යුතුය. එසේ නැතිව ගැලරිය පිනවන කතාවලින් සිදුවනුයේ තමන්ගේත් රජයේත් ප්‍රතිරූපය බාල්දුවීම පමණය.
රටේ අධ්‍යාපනය පිළිබඳ ගන්නා තීන්දු - තීරණ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සෘජු බලපෑමක් කරන බව එස්. බී. දිසානායක බඳු පරිණත දේශපාලකයකුට අකාරාදී පිළිවෙළට පහදා දිය යුතු යෑයි අප සිතන්නේ නැත. විශ්වවිද්‍යාලයට ප්‍රවේශවීමට අවස්‌ථාවක් නොලබන්නෝ උසස් අධ්‍යාපනයට නුසුදුස්‌සෝ ලෙස තර්ක කිරීමට කිසිවකුට හැකියාවක් නැත. රැකියාවක නියුත්ත වෙමින් රටේ යාන්ත්‍රණයට දායකත්වය ලබාදෙමින් බාහිරව හෝ සිය අධ්‍යාපන කුසලතා ඉහළ නංවා ගනිමින් තමන් සේවය කරන ආයතන තුළ උසස්‌වීම් ලබන බොහෝ පිරිසක් ද බාහිර උපාධිධාරීහු අතර සිටිති. මේ පිරිස තව තවත් දැනුමින් සන්නද්ධ කරන්නේ කෙසේද යන්න මිස ඔවුන් දැනුමින් ඈත් කරන්නේ කෙසේද යන්නට විසඳුම් සෙවීමට අමාත්‍යවරයකු අවශ්‍ය නැත. මේ රටේ වන සේවා වියුක්‌තියට මෙන්ම ඌන සේවා නියුක්‌තියටද විසඳුමක් ලබාදීමට බාහිර උපාධි පාඨමාලාවලින් යම් දායකත්වයක් ලැබෙන බව අප අමතක කළ යුතු නොවේ. එහෙයින් දරුවන්ට පාරවල් ගාණේ සිටගෙන සිටින්නට සිදුවන්නේ නැති අධ්‍යාපන සැලසුම් සැකසීමට විෂය භාර ඇමැතිවරයාට බරපතළ වගකීමක් ඇත.
එහෙත් බාහිර උපාධි පාඨමාලා පිළිබඳ අර්බුදයට විසඳුමක් ලබාදෙනවා තබා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳ කතා බහ කිරීමටවත් විශ්වාසය දිනා ගැනීමට ඇමැති එස්. බී. දිසානායකට නොහැකි වී ඇත්තේ කාගේ වරදකින්ද යන්න අපට ඇති තවත් ගැටලුවකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳ අර්බුදය ද මේ වන විට මඩ වළක් වී අවසන්ය. මේ ප්‍රශ්නයේදී තමන් අසමත් ශිෂ්‍යයකු බව ඇමැති දිසානායක ද ඔප්පු කර අවසන්ය. තමන්ට විසඳිය නොහැකිම නම් ජනාධිපතිවරයා සම්බන්ධ කර හෝ මේ අර්බුදයට සාකච්ඡාමය විසඳුමක් සොයාගැනීමට විෂය භාර ඇමැතිවරයා ලෙස ඔහු දෙන දායකත්වය අතිශය ග්‍රාමීය මට්‌ටමකට පත්ව තිබීම කණගාටුවට කරුණකි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම සාධාරණද අසාධාරණද යන ප්‍රශ්නය පසෙක තබා ඔවුන්ගේ වෘත්තීය මට්‌ටම කෙබඳු ද යන්න පිළිබඳ මේ ප්‍රශ්නයට මැදිහත් වන බලධාරීන්ට මූලික අවබෝධයක් තිබිය යුතුය. බාහිර උපාධිධාරීන් කාලකණ්‌ණින් ලෙසත් අභ්‍යන්තර උපාධිධාරීන් "ක්‍රීම් ඔµaද ක්‍රීම්" දරුවන් ලෙසත් දකින ඇමැති දිසානායකට මේ ආචාර්යවරුන් "ක්‍රීම් ඔµa ද ක්‍රීම්" දරුවන් ලෙස බිහි වී ඉහළට ආ පුද්ගලයන් ලෙස නොපෙනීම පුදුමයකි. තමන්ගේ පරමාදර්ශය වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තුළින් බිහිවූ විශ්වවිද්‍යාල ආචාර්යවරයා හා සමග ගනුදෙනු කළ යුතු ආකාරය තමන්ටම නොතේරීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදයක් නොව තමන්ගේ අර්බුදයක් ය යන්න ඇමැති දිසානායක අවබෝධ කරගත යුතුවෙයි. සරලවම පවසතොත් තමන්ගේ සුපුරුදු දේශපාලන ගැලරි කතාවලින් බැහැරව විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා වන ආකාරයට මේ ප්‍රශ්නය වෙත එළඹීමට වගකිවයුතු ඇමැතිවරයකු ලෙස පියවර ගත යුතුය. මන්ද දැනට මේ අර්බුදය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා අනුගමනය කරන පිළිවෙත සුදුසු වන්නේ "ප්‍රයිවෙට් බස්" රියෑදුරන් සමග කරන ගනුදෙනුවකට ම පමණක් ම වන නිසාය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පසුගිය සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ "මේ අය මොනවා කිව්වත් මීට වඩා සත පහකින්වත් වැටුප් වැඩිකරන්න බෑ" කියාය. එයද ඇමැතිවරයාගේ ප්‍රකාශවලට දෙවැනි නොවන ආකාරයේ ප්‍රකාශයකි.
මේ වැටුප් වැඩි වීම නොලැබුණාය කියා විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු නවතා දමතැයි අපි නොසිතමු. එහෙත් රජය ආචාර්යවරුන්ගේ මැයි මස වැටුප අත්හිටුවීමට ගත් තකතීරු තීරණය "කැලණියේ" දේශපාලනය ප්‍රතිනිරූපණය කිරීමක් ලෙස අපි දකිමු. මෙබඳු ක්‍රියා මාර්ගවලින් සිදුවනුයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ගරුත්වය බාල්දු කරලීමය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තබා පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන්වත් මෙබඳු අතිශය දේශපාලනික ක්‍රියා මාර්ග අනුගමනය කිරීම රටේ අනාගතය සම්බන්ධයෙන් හානිදායකය. රජයේ මේ දුර්වල කම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වීමට උත්සාහ කළ අවස්‌ථාවේදී ද අපි දුටිමු.
එහෙයින් මෙබඳු ජාතික අර්බුද විස¹ ගැනීම සඳහා මීට වඩා සංහිඳියාවකින් යුතු හා කළමනාකාරීත්වයකින් යුතු ක්‍රියා මාර්ගයන්ට අවතීර්ණ වීමට ඇමැතිවරුන්ට මෙන්ම රජයට ද සිදුවෙයි. උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතාට මේ සත්‍ය අවබෝධ විණි නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදය මෙතරම් කුණු ගඳ ගහන මඩ වළක් බවට පත් වන්නේ නැත.
නිරෝෂන් හැඳලගේ