Saturday, May 28, 2011

විද්වත් හමුව

Divaina, 29/05/2011,

විශ්වවිද්‍යාලය යනු කුමක්‌ද? එයින් රටට ලැබෙන ප්‍රයෝජනය කුමක්‌ද? අපේ විශ්වවිද්‍යාලය ජනතා මුදල් කාබාසිනියා කරන තැනක්‌ද? මේ පිළිබඳ වර්තමාන සමාජය තුළ පුළුල් කතිකාවක්‌ ඇතිවිය යුතු බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලන්නේ ඇයි? ආණ්‌ඩුව ඔවුන්ගේ වැටුප් වැඩි නොකරන්නේ ඇයි? දිවයින ඉරිදා සංග්‍රහය ඒ පිළිබඳ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.



කීපදෙනෙක්‌ හැර මුළු රටම අපේ ප්‍රශ්නය පිළිගන්නවා
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයේ අලුත් තත්ත්වය කුමක්‌ද?

ජනාධිපතිතුමා සමග පසුගිය බදාදා සාකච්ඡාවක්‌ පැවැත්වූවා. අපේ ඉල්ලීම් ලබාදීම සඳහා ආණ්‌ඩුවට වැඩපිළිවෙළක්‌ තිබෙන බවක්‌ අපට එහිදී පෙනුණේ නැහැ. අප සමග සාකච්ඡාවට පැමිණ සිටි මේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කරන නිලධාරි පිරිස මේ රටේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය බරපතල එකක්‌ ලෙස සලකන බවක්‌ අපට හැඟුණේ නැහැ.

එස්‌. බී. දිසානායක ඇමැතිවරයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවිය යුතු යෑයි පසුගිය වසරේදී පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කරමින් දැරූ මතය දැන් වෙනස්‌ කරමින් එයට වෙනත් විදිහේ අර්ථකථන දෙන්නට උත්සාහ කරන බවක්‌ පෙනෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේත් මතයත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් ප්‍රශ්නයක්‌ නෑ කියලයි.

එස්‌. බී. ඇමැතිතුමා ගිය වසරේදී පාර්ලිමේන්තුවේදී පොරොන්දු වුණත් ඔබ කියන්නේ දැන් ආණ්‌ඩුව මේ ප්‍රශ්නෙ මග අරිනව කියලද?

මේ ප්‍රශ්නය මත අපි අරගලයක්‌ පටන් ගත්තට පස්‌සේ ජනමාධ්‍ය තුළින් විශාල ප්‍රචාරයක්‌ ලැබුණා. සෑම පුවත්පතකම පාහේ පළවූ ලිපි වලින් කතු වැකි වලින් පවා පෙන්වා දුන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙන බවයි. මේ වැටුප් ප්‍රශ්නය නිසාම අද අපේ විශ්වවිද්‍යාල වලින් පිටවන දක්‍ෂතම පිරිස අපේ රටේ රඳවා ගැනීම අපහසුවී තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පත් කළ කොමිෂන් වලිනුත් හෙළි වෙලා තියෙනවා. මේ නිසා බාහිර සමාජයේ මේ පිළිබඳ කෙරෙන සාකච්ඡාව තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය අපේ රටේ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ප්‍රමුඛ ප්‍රශ්නයක්‌ බවට පිළිගැනීමක්‌ තිබෙනවා. නමුත් අපේ රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ තීරණ ගන්නා නිලධාරී පිරිස මේ ප්‍රශ්නය ගැන හිතන්නෙ එහෙම නෙමෙයි. අපේ රටේ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ කඩිනමින් විසඳිය යුතු ප්‍රශ්නයක්‌ ලෙස මේ ප්‍රශ්නයට ප්‍රමුඛතාවක්‌ දෙන්න ඒ පිරිස සූදානම් නැහැ.

විශ්වවිද්‍යාල ආචාර්යවරු සියයට දෙසීයක වැටුප් වැඩිවීමක්‌ ඉල්ලීම අසාධාරණ බවයි ආණ්‌ඩුව කියන්නේ?

මූලික වැටුප දෙගුණයක්‌ විය යුතු සමහර වැටුප් තල තියෙනවා. එක්‌ පුවත්පත් සාකච්ඡාවකදී මේ දෙගුණයක්‌ විය යුතු කියන අදහස සියයට දෙසීයක්‌ ලෙස මා අතින් කියෑවුණා. එය කතා බහේදී සිදුවූ දෙයක්‌. පුවත්පතක පළවූ මෙන්න මේ කතාව අහුලගෙන ආණ්‌ඩුව මහා ලොකු ප්‍රචාරයක්‌ ගෙනියනව විශ්වවිද්‍යාල ආචාර්යවරු සියයට දෙසීයක වැටුප් වැඩිවීමක්‌ ඉල්ලනව කියල. අපි සංඛ්‍යාත්මකව යෝජනා මාලාවක්‌ දීල තියෙද්දී ආණ්‌ඩුව පුවත්පත් සිරස්‌තලයක්‌ ඉස්‌මතු කරගෙන කතා කරන්නේ ඇයි? අපි පැහැදිලි යෝජනා මාලාවක්‌ දීල තියෙද්දී අපේ ඉල්ලීම් පිළිබඳ මේ රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන උසස්‌ නිලධාරීන් දැනගන්නෙ පුවත්පත් සිරස්‌තල වලින් නම් එතනම තියෙනව මහ කනගාටුදායක තත්ත්වයක්‌.

විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉල්ලන්නෙ සියයට දෙසීයක වැටුප් වැඩිවීමක්‌ නෙමෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පත් කළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි.

ආණ්‌ඩුව පත් කළ කොමිසමක නිර්දේශ ආණ්‌ඩුවම ප්‍රතික්‌ෂේප කරන්නෙ ඇයි?

කමිටුවලට ඕනෑ තරම් යෝජනා ගේන්න පුළුවන්. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්න අමාරුයි කියන උත්තරේ තමයි ඔය ප්‍රශ්නෙට ආණ්‌ඩුව අපට දුන්නෙ. නමුත් වැටුප් පිළිබඳ ඉදිරිපත්වන යෝජනා ක්‍රියාත්මක නොවෙන්නෙ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් පමණක්‌ද කියන ප්‍රශ්නය මෙතනදී මතුවෙනව පසුගිය කාලෙ ක්‍රියාත්මක වූ යෝජනා දිහා බලන කොට. උදාහරණයක්‌ විදිහට ඇමැතිවරුන්ගෙ වැටුප් වැඩිවුණා. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ කාර්යාල සඳහා ප්‍රතිපාදන වෙන්වුණා. අපි අපේ වැටුප් වැඩි කිරීමේ යෝජනා ඉදිරිපත් කරන විට බොර තෙල් මිල වැඩිවෙච්ච හැටි තේ මිල පහළ වැටිච්ච හැටි සංඛ්‍යා ලේඛන පෙන්වනව. ආර්ථික අපහසුකම් ඕනෑම රටක තියෙනවා. ඇමරිකාවෙත් තියෙනව. නමුත් අපේ රටේ ආණ්‌ඩුව ප්‍රමුඛතාව දී තිබෙන දේවලට මුදල් වෙන්කරන විට ඔය ආර්ථික අපහසුතා මතුවෙන්නෙ නැහැ. මෙතන තියෙන්නෙ ආර්ථික අපහසුතා පිළිබඳ ප්‍රශ්නයක්‌ නෙමෙයි. ප්‍රමුඛතා පිළිබඳව ප්‍රශ්නයක්‌.

නමුත් මේ ආණ්‌ඩුව ශ්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්‌ථානය බවට පත් කිරීමට ප්‍රමුඛතාව දෙන බව මහින්ද චින්තනයෙන් ප්‍රකාශ කර තිබෙනවා?

ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනවල මොනව තිබුණත් ඒව ඒ තරම් බැරෑරුම්ව ක්‍රියාත්මක වන දේවල් නෙමෙයි කියන එකයි මගේ පෞද්ගලික අදහස. අඩු තරමින් එබඳු ඕනෑ කමක්‌ තියෙනව නම් මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු කියන්නෙ මොකක්‌ද කියල සාවධානව ඇහුම්කන් දීමක්‌වත් කරන්න එපායෑ. එබඳු අවශ්‍යතාවක්‌වත් මේ නිලධාරි පිරිස තුළ තිබෙන බවක්‌ අපට හැඟුනෙ නැහැ.

මේ වැටුප් වැඩි කිරීමේ අරගලය හරහා දේශපාලන කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වන බව ආණ්‌ඩුවේ ඇතැමුන් දරන මතයක්‌. ඒත් චෝදනාවේ යම් සත්‍යතාවක්‌ තිබෙනවද?

මේ අරගලයට මූලිකත්වය දෙන ආචාර්ය මහාචාර්යවරු දෙස බැලුවොත් ඔවුන් වැඩි දෙනෙක්‌ මේ ආණ්‌ඩුව පිහිටුවන්නට විශාල දායකත්වයක්‌ ලබාදුන් අය. මගේ ඇතැම් අදහස්‌ ආණ්‌ඩුවේ අදහස්‌ සමග වෙනස්‌ වෙන්නට පුළුවන්. නමුත් මේ ආණ්‌ඩුවට ඉතාමත් හිතවත්ව කටයුතු කළ මහාචාර්ය සුමනසිරි ලියනගේ වැනි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු රැසක්‌ මේ වැටුප් අරගලයට මූලිකත්වය දෙනවා. දේශපාලන කුමන්ත්‍රණකරුවන් හැටියට ඒ අය හඳුන්වන්න මේ ආණ්‌ඩුවට පුළුවන්ද. අපේ රට ආසියාවේ දැනුම් කේන්ද්‍රස්‌ථානයක්‌ කිරීමට අවංක ඕනෑ කමක්‌ ආණ්‌ඩුවට තියෙනව නම් කරන්න ඕන විශ්වවිද්‍යාලවල තමුන්ට හිතවත් ආචාර්යවරුවත් කියන්නෙ මොකක්‌ද කියල අහන එක මිසක්‌ ඔවුන්ව කුමන්ත්‍රණකාරයො කියල හංවඩු ගහන එක නෙමෙයිනේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට බැරිනම් තනතුරු අතෑරල ගියාවෙ අර 80 වැඩ වර්ජනයේදී කළා වගේ වෙන අය ඒ තනතුරුවලට දාන්න පුළුවන් කියල ආණ්‌ඩුව හිතනවද මම දන්නෙ නෑ. දැනුම් කේන්ද්‍රස්‌ථානයක්‌ කියන්නෙ ඉංගී්‍රසි ටිකක්‌ උගන්නල කම්පියුටරය ගැන දැනුමක්‌ ලබාදීල සහතිකයක්‌ දෙන එක නම් ආණ්‌ඩුව එහෙම හිතන එකත් හරි. අපි ගියත් ඒ වැඩේ කරන්න අය ආණ්‌ඩුවට හොයා ගන්න පුළුවන්.

නමුත් රටක විශ්වවිද්‍යාලයක්‌ කියන්නෙ මොකක්‌ද එහි ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදිය යුතු දැනුම සම්පාදනය කිරීම සඳහා ආචාර්යවරුන්ට අවශ්‍ය මානසික හා ශාරීරික විවේකය ලැබෙන ආකාරයේ වැටුපක්‌ ගෙවිය යුතුද යන කාරණා පිළිබඳ අපේ සමාජය තුළ පුළුල් සාකච්ඡාවක්‌ ඇතිවිය යුතුයි.

අපේ රටේ හුඟක්‌ ඇමැතිවරු මේ ප්‍රශ්නය ගැන අපිත් එක්‌ක එකඟ වෙනවා. අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් ප්‍රශ්නයක්‌ තිබෙන බව ඔවුන් පිළිගන්නවා. නමුත් ඒ අයට මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මේ ප්‍රශ්නය විසඳිය හැකි කිහිප දෙනා තුළ මේ ප්‍රශ්නය ගැන එබඳු පිළිගැනීමක්‌ නැහැ.

නමුත් පසුගියදා ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය විසඳීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග සාකච්ඡාවක්‌ කැඳවා තිබුණා නේද?

එතුමා මුලින් ආණ්‌ඩුවට සහයෝගය දක්‌වන ආචාර්යවරුන්ගේ රැස්‌වීමක්‌ කැඳවා තිබුණා. මා දන්නා තරමින් මේ වැටුප් ප්‍රශ්නය නිසා ආණ්‌ඩුවට සහයෝගය දක්‌වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩි දෙනෙක්‌ ඒ රැස්‌වීමට ගියේ නෑ. ආණ්‌ඩුවට හොඳටම සහයෝගය දක්‌වන ටිකදෙනෙක්‌ ගියා. ඒ අයගෙනුත් එක මහාචාර්යවරයෙක්‌ හැර අන් සියලු දෙනාම ජනාධිපතිතුමාට කියා තිබෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් ප්‍රශ්නයක්‌ තිබෙන බවයි. සාකච්ඡාවක්‌ සඳහා අපටත් අවස්‌ථාව ලැබුණේ ඉන්පසුවයි. දැන් අපේ සංගමයේ සාමාජිකයන් නොවන ආණ්‌ඩුවට හිතවත් ආචාර්යවරුත් මේ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමේ ප්‍රවණතාවක්‌ ඇතිවෙලා තියෙනවා.

අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වන තැනට මේ ප්‍රශ්නය තල්ලුවී ගියොත් එය මුළු රටේම ෙ€දවාචකයක්‌ වීම නොවැළැක්‌විය හැකි දෙයක්‌. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්‌ හැටියට ඔබ ඒ ගැන දරන්නෙ කෙබඳු අදහසක්‌ද?

මා තූළ විශාල කනගාටුවක්‌ තිබෙනවා. විශ්වවිද්‍යාල අපේ රටට අවශ්‍ය නැතැයි කියල හිතන පිsරිසකුත් අපේ රටේ සිටින බව පෙනෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙන බව සමස්‌ත සමාජයම පිළිගෙන තිබියදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන නිලධාරීන් කිහිප දෙනකුට පමණක්‌ එය අවබෝධ නොවීම කනගාටුදායකයි. විශ්වවිද්‍යාල රටට අවශ්‍ය බව කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද සනාථ විය යුතුයි. එසේ නොවන විට සෝබෝන්, ඔක්‌ස්‌µර්ඩ් ආදී නම් වලින් අපේ රටේ තිබෙන පෞද්ගලික පන්ති මෙන් විශ්වවිද්‍යාලද අනාගතයේදී නමට පමණක්‌ සීමාවූ ආයතන බවට පත්විය හැකියි. සෝබෝන්, ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාලවල ඇති තත්ත්වය එනමින් අපේ රටේ තිබෙන පෞද්ගලික ආයතනවල නැහැ වගේ කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආදී නම්වලින් හැඳින්වෙන අපේ විශ්වවිද්‍යාලත් අනාගතයේදී ඉංගී්‍රසි උගන්වන පරිගණක උගන්වන ඒවාට උපාධි දෙන ආයතන පමණක්‌ බවට පත්වීමට බොහෝවිට ඉඩ තිබෙනවා.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක