Thursday, May 12, 2011

අරළු වෙදාගේ උසස් අධ්‍යාපනය

Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය, මැයි 10, 2011

ඉස්සර කාලේ උන්නු එක මිනිහෙකුට හිතුනා වෙදකම ඉගෙන ගන්න කියලා. මිනිහා ගියා රටේ ඉන්න ප්‍රසිද්ධ වෙදෙක් ලඟට සාස්තරේ ඉගෙනගන්න . මේ වෙදා  හරි කට්ටයා. තමන්ගේ සාත්තරේ කාටවත් දෙන්න කැමති නැහැ.
ඉතින් වෙදා අර මනුස්සයාට  කිව්වා
 
” මම ඕනේ ලෙඩකට  දෙන්නේ අරළු .තමුසෙත් එහෙම කරනවා “කියලා.
 
අපේ මිනිහාත් ගෙදර ගිහින් පටන් ගත්තා වෙද කම. ඕනේම ලෙඩෙකුට දෙන්නේ අරළු. හැබැයි ඉතින් මිනිහාගේ  වාසනාවටද මන්දා මිනිහාගෙන් බෙහෙත් ගත්තු පළමුවෙනි තුන් හතර දෙනා නම්  අරළු  කසායෙන්  සනීප වුනා. දන්නවනේ අරළු කසාය බිව්වම වෙන වැඩේ. බඩ විරේකය තමා .
 
දවසක්  මේ අපේ  වෙදා ගමනක්  යන අතරේ  දැක්කා මිනිහෙක් අඬ අඬා යනවා . ගිහින්  විස්තරේ ඇහුවාම කියපි එයාගේ හරක් බාන හොරු අරන් ගිහිල්ලය  , උන්ව හොයා ගෙන යනවා කියලා. හරිම දුප්පත්  මනුස්සයෙක් .
 
වෙදාත් ගත් කටටම කියපි  ඕකට අරළු හැලියක් පත අටට හින්දලා බොන්න වැඩේ හරියයි කියලා.
 
හරක් අයිති කාරයා ගෙදර ගිහින් අරළු හැලියක්ම තම්බා ගෙන බීලා ආපහු එලියට බැස්සා හරක් හොයන්න.  වැඩි වෙලාවක් යන්න වුනේ නැහැ. මිනිහාගේ  බඩ කරදර කරන්න ගත්තා. අරලුවල බලේ.
 
ඒ කාලේ ඉතින් කොහෙද වැසිකිලි . මිනිහා  ළඟ තිබුන කැලේට රිංගලා ගහක් යට පාත් වෙන්න හදන කොටම , මෙන්න බොලේ වැඩේ . අර නැති වුනු හරක් දෙන්නා ඉන්නවා ඒ ගහේ බැඳලා .
 
එයින් පස්සේ අපේ වෙදාගේ කීර්තිය ඉහල ගියේ හරියට අර උපවාසෙන් පස්සේ මල්වංශ ගේ කීර්තිය වගේ.
 
මේ  වගේ කතා රටේ පතල වෙන කොට මිනිස්සු වෙදාට නමකුත් පට බැන්දා අරළු වෙදා කියලා.
 
 මට මේ කතාව මතක් වුනේ ඊයේ පෙරේදා අපේ උසස් අධ්‍යාපන ඇමතිතුමා කියපු කතාවක් පත්තරේක දැකලා.
 
දරුස්මාන් වාර්තාව මගින් රටට අත පෙවීමේ විදෙස් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවේ ඊට සහය දී රට පාවාදීමේ මහා පාප කර්මයට හවුල් නොවන්නැයි  විශ්ව විද්‍යාල   ආචාර්ය වරුන්ගෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා  ඉල්ලා  සිටින  බව  ලංකාදීපය පහු ගිය සෙනසුරාදා වාර්තා කරලා තිබුනා.
 
උන්නැහේ එහෙම කියලා තිබුනේ මේ දවස් වල විශ්ව විද්‍යාල ආචාර්ය වරු වැඩි වැටුප් ඉල්ලා අර ගෙන යන සටන  ගැන .  උන්නැහේ ඒ මදිවට කියනවා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය නියෝජනය කරන්නේ ආණ්ඩු විරෝධී හා ජනාධිපති  විරෝධී කුමන්ත්‍රණකරුවන් පිරිසක් කියලත්.
  
මේ මහා දේශප්‍රේමී කට්ටිය බෑන් කී මූන්  , බන් කි මූන් , දරුස්මාන් කියා කියා නැටුවෙ මොකටද කියලා දැන් හොඳාකාරවම  තේරෙනවා ඇති. මේ දවස් වල හැදෙන ඕනෙම ලෙඩකට බෙහෙත විදිහට ආණ්ඩුව දෙන්න යන්නේ දරුස්මාන් වාර්තාව . හරියටම  අරළු වෙදා ඕනෙම ලෙඩකට අරළු කසාය  දුන්නා වගේ.
 
හැබැයි ඉතින් රටේ උසස් අධ්‍යාපන ඇමතිත්   අරළු වෙදෙක් වුනාම ඒ රටේ අධ්‍යාපනයට  වෙන්නේ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
 
සටහන- හැබැයි ඉතින් අපි නම් විශ්ව විද්‍යාල  ආචාර්යවරුන්ට කියන්නේ , තමුන්නාන්සේලා බය වෙන්න එපා, බටහිර කුමන්ත්‍රණයක් ආවොත් අපි ආණ්ඩුව බේරා ගන්නම්, ඔබ තුමාල ඔය  සටන දිගටම කරන්න කියලා. එහෙම නැත්නම් අපේ විශ්ව විද්‍යාල ටික ඉක්මනින්ම වහලා දාන්න  තමා වෙන්නේ.