Saturday, July 2, 2011

විදෙස්‌ සිසුන්ට පාඨමාලා විකුණන බිත්තරය උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා දමා අවසන් පා. මන්ත්‍රී අනුර කුමාර දිසානායක

දිවයින 02/07/2011

අජිත් අලහකෝන්

පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන කෙකරගෑ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ජාතික විශ්වවිද්‍යාල තුළ විදෙස්‌ සිසුන්ට පාඨමාලා විකුණන බිත්තරය දමා ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01 දා) ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා මෙරට විශ්වවිද්‍යාලවලට සියයට 5 ක්‌ විදෙස්‌ සිසුන් සහ විදෙස්‌ගත ශ්‍රී ලාංකික සිසුන් ඇතුළත් කරගන්නා බව. මීට අදාළව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ජනවාරි 25 දා කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළා. අපේ විශ්වවිද්‍යාලවලට ඒ වෙද්දී සියයට දශම පහක ප්‍රතිශතයක්‌ විදෙස්‌ සිසුන් ඇතුළත් කරගත්තා. එය දසගුණයකින් වැඩිකර සියයට පහ දක්‌වා ඉහළ දමන්න තමයි මේ කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත් කළේ. මහාභාණ්‌ඩාගාරය දැනට විශ්වවිද්‍යාලවලට දරන වැඩි බර අඩුකර ගන්න විදෙස්‌ සිසුන්ට මුදලට අධ්‍යාපනය ලබාදෙන බව කැබිනට්‌ පත්‍රිකාවේ දැක්‌වෙනවා. 

ආරම්භයක්‌ ලෙස විදෙස්‌ සිසුන් සියයට පහකුත් ඉන්පසුව එය සියයට දහය දක්‌වා වැඩි කරන බවත් එස්‌. බී. දිසානායක ඇමැතිවරයා කියනවා. මේ සියයට පහ ගන්නේ දේශීය සිසුනට තිබෙන අවස්‌ථාව අඩු නොකර බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරනවා.

දේශීය සිසුන්ගෙන් 120,000 කට ආසන්න සංඛ්‍යාවක්‌ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබුවත් ඇතුළු කරගන්නේ සිසුන් 21,000 ක්‌ පමණයි. තවත් ලක්‍ෂයකට ආසන්න පිරිසක්‌ එළියේ ඉන්නවා. උදාහරණයක්‌ ලෙස වෛද්‍ය උපාධිය හැදෑරීමට සමත් දරුවෝ හිඟ නිසා නොවේ. ඊට ඇතුළත් කරගන්නා ප්‍රමාණය තීරණය කරන්නේ. එය තීරණය වන්නේ පීඨයේ ඇති පහසුකම් මතයි. විදෙස්‌ සිසුන් සියයට පහක්‌ ගන්නවා කියන්නේ පහසුකම් තවත් තියෙනවා කියන එකනේ. එහෙම නම් ඒ තුන සමත් දේශීය සිසුන් තවත් ඉන්නවා වෛද්‍ය උපාධියට ඇතුළු කරගන්න. ඒ අය ගත යුතුයි. දේශීය සිසුන්ට ඉඩ තිබියදී තමයි විදෙස්‌ සිසුන්ට ඒ අවස්‌ථාව දෙන්නේ. මෙවර වෛද්‍ය පීඨයට දේශීය සිසුන් 1165 ක්‌ ගන්නවා. විදෙස්‌ සිසුන් 60 ක්‌ ගන්නවා. සුදුසුකම් ලත් ඒත් ඇතුළත් කර නොගත් දේශීය සිසුන් අතරින් හැටදෙනකුට ඒ අවස්‌ථාව දෙන්න පුළුවන්නේ. අනෙක දිස්‌ත්‍රික්‌ අනුපාතය මත දුෂ්කර සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගන්නේ සියයට 2 ක ප්‍රතිශතයක්‌. ඒත් විදෙස්‌ සිසුන් සියයට 5 ක්‌ බඳවා ගන්නවා.

දේශහිතෛෂී, දේශ චින්තන, රතුහාලේ බත්කන ආණ්‌ඩුවේ අසහාය නායකයො දේශීය සිසුන්ට සලකන්නේ ඔය ආකාරයටයි. ජාතියේ ආඩම්බරකාර තාත්තලා... රටේ දරුවන්ට සලකන්නේ ඒ විදිහටයි. ඡේ. ආර්. ජයවර්ධනට, චන්ද්‍රිකා කුමාරතුංගට, රනිල් වික්‍රමසිංහට කළ නොහැකි වූ දේ දේශහිතෛෂී ලේබලය ගසාගත් ආණ්‌ඩුව අද සිදුකරනවා.

භාණ්‌ඩාගාරයට තිබෙන බර අඩු කරන්නලු විදෙස්‌ සිසුන් බඳවා ගන්නේ. ඇයි භාණ්‌ඩාගාරය ඇමැතිවරුන් වෙනුවෙන් දරන බර, ක්‍රිකට්‌ ආයතනයට ඩොලර් බිලියන දෙකක්‌ දෙද්දී ඇතිවන බර මේ විදියට නොසලකා අධ්‍යාපනයට කරන වියදම විතරක්‌ විශාල බරක්‌ ලෙස සලකන්නේ. මේ විදෙස්‌ සිසුන් වෙනුවෙන් විවර වෙන්නේ අපේ රටේ දරුවන් වෙනුවෙන් විවෘත විය යුතු දොරටු. බටහිර කුමන්ත්‍රණ ගැන, දේශීය ආහාර පාන ගැන, දරුස්‌මාන්ලා ගැන කතාකර මහත්තුරු කැබිනට්‌ රැස්‌වීමේදී අපේ සිසුන්ට සරසවි දොරටු අහිමි කරලා. සුද්දාගේ දරුවන්ට අවස්‌ථාව දෙන කැබිනට්‌ පත්‍රිකාවට අත් උස්‌සා සහාය පළ කළා. අපේ රටේ දරුවන්ගේ උසස්‌ අධ්‍යාපන අයිතිය අහිමි කරන මේ කුමන්ත්‍රණයට එරෙහිව ජනතා විමුක්‌ති පෙරමුණ විරෝධය දක්‌වනවා. මෙය පරාජය කළ යුතුයි.