Tuesday, July 19, 2011

සරසවි ආචාර්යවරුන්ගේ ඊයේ සාකච්ඡාවත් එකඟතාවකින් තොරව අවසන්

දිවයින 19/07/2011

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර ඊයේ (18 වැනිදා) සවස පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය

එහිදී සාකච්ඡාවට භාජනය වූ කරුණු අද (19 වැනිදා) සවස පැවැත්වෙන ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාවට ඉදිරිපත් කිරීමට එම සම්මේලනය ඊයේ (18 වැනිදා) රාත්‍රියේ තීරණය කළේය.

වැටුප් වැඩි කිරීම පසුගිය ජනවාරි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බවට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කර තිබූ යෝජනාවට එකඟතාව පළ නොකළ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වැටුප් වැඩි කිරීම ජුලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ හැකි බව පවසා ඇත.

පසුගිය අයවැයෙන් ආචාර්යවරුන් සඳහා ලබාදුන් සියයට 25 පර්යේෂණ දීමනාව ලබාගැනීම සඳහා ඇති කොන්දේසි ඉවත් කළ යුතු බවට සම්මේලනය කර තිබූ යෝජනාවට ද ලේකම්වරයා එකඟ වී නැත.
කෙසේ වුවද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ උපරිම වැටුප වන රුපියල් 1,15000 ලබාදීම හා ඉන් පහළ මට්‌ටමේ ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව පිළිබඳ අසතුටක්‌ නොමැති බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය. තමන් ඉදිරිපත් කර තිබූ යෝජනාවන් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නොලද හෙයින් ඊයේ (18 වැනිදා) පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳ සතුටු නොවන බවද සභාපතිවරයා සඳහන් කළේය. අද පැවැත්වෙන විධායක සභාවේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් දේවසිරි මහතා කීවේය.