Saturday, July 30, 2011

ආචාර්යවරුන්ගේ අරගලය; කොතැනින් කොතැනකටද?

රාවය 31/07/2011
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර [Sunday, July 31, 2011]


අවසානයේ තම අරගලය වහා නවතා දැමීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එකඟ වී තිබුණි. ඉතා ජයග්‍රාහී ලෙස අවසන් කළ හැකි අරගලයක් කිහිපදෙනෙක් විසින් හිතුමතික ලෙස පාවාදී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ බොහෝ ආචාර්යවරුන් අතින් විවේචනය වීමට මෙකී ක්ෂණික එකඟතාව හේතුවිය. තම සංගමයේ සීමිත පිරිසක් සහ රජයට හිතවාදී ආචාර්යවරු කිහිපදෙනෙක් ඉතා රහසිගතව සිදුකර ඇති සාකච්ඡා කිහිපයකින් අදාළ තීන්දුව ගෙන ඇති බව තවදුරටත් චෝදනා එල්ල විය. අරගලය සම්බන්ධයෙන් තම සංගමයේ නිල අදහස ජූලි 25 වැනි සඳුදා පැවැත්වීමට නියමිත වී තිබුණේ පළාත්පාලන මැතිවරණය දින දෙකකට පෙර හෙවත් නියමිත දිනට දින හතරකට පෙර (ජූලි 21 වැනි බ්‍රහස්පතින්දා) තමන් අරගලයෙන් ඉවත් වූ බවට හදිසියේ ප්‍රකාශ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධානීන් කටයුතු කිරීම එහි සෙසු සාමාජිකයන් බොහොමයකගේ දැඩි විමතියටත් කුතුහලයටත් හේතුවී තිබිණ. 

මීට ආසන්න දිනකදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ තම අරගලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉතා ඉක්මනින් නවතා දමනු ඇති බවත්, නොඑසේ නම් එය නතර කිරීම සඳහා වෙනත් ක්‍රම තමන් ළඟ ඇති බවත්ය. බලධාරීන් ළඟ මෙන් ගැලරියට කියන වාචාල කතා තමන් ළඟ නොමැති බවත් එහෙයින් තම ඉල්ලීම් ලැබෙන තුරු මේ අරගලය දිගටම ගෙන යන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා රාවයට ප්‍රකාශ කරන්නේ පී.බී. ජයසුන්දරගේ යෝජනාවට තම සංගමය එකඟ වූ බවට මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීමට පැය දෙක තුනකට ප්‍රථමය. 

අදාළ තීන්දුව ප්‍රකාශවීමට හරියටම දිනකට පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවලදී තමන් අපේක්ෂා කළ මූලික වැටුප ක්‍රමයෙන් අවම වූ බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග කළ සාකච්ඡාවේදී එය කිසිසේත් පිළිගත නොහැකි මට්ටමේ ඉලක්කම් කිහිපයක් පමණක් වූ බවයි. ජනාධිපතිවරයා පවා ලංසු නොතිබූ ආකාරයේ කොන්දේසි සහිත මේ ඉලක්කම් හරඹය පිළිගැනීමට තරම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෝඩ නොවන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය. 

තත්ත්වය මෙසේ තිබියදී ඉන් පැය කිහිපයකට පසු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එකඟ වන්නේ අන් කවරකටවත් නොව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ මේ යෝජනාවටම වීම තේරුම් ගැනීමට අපහසු කරුණකි. 

නව වැටුප් ව්‍යුහයට අනුව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ වැටුප රුපියල් පහළොස් දහසක් ද, මහාචාර්යවරයකුගේ වැටුප 17 දහසකින් ද, පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයකුගේ වැටුප රුපියල් දහතුන් දහසකින්ද, දෙවැනි ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයකුගේ වැටුප දොළොස් දහසකින්ද ස්ථීර කථීකාචාර්යවරුන්ගේ වැටුප රුපියල් අට දහසකින්ද වර්ධනය වීමට නියමිත බැව් පුවත්පත් වාර්තා කර තිබිණ. 

ආචාර්යවරුන්ගේ අරගලය සහ අදාළ එකඟතාව තුළ මතුවූ ප්‍රධාන ගැටලු කිහිපයක් වන අතර එහි මූලික පරමාර්ථ ඒ අතර ප්‍රධාන වේ. තම අරගලය ආරම්භ කිරීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රකාශ කළ මූලික කරුණක් වූයේ මෙය හුදෙක් තම පෞද්ගලික ලාභාපේක්ෂාවක් උදෙසා ගෙන යන්නක් නොව, සමස්ත අධ්‍යාපනයේම චිරස්ථීතිය උදෙසා සිදුකරන්නක් බවයි. අධ්‍යාපනය සඳහා වාර්ෂිකව රජය වැය කරන මුදල රජය සමස්ත වශයෙන් වැය කරන මුදලින් 6%ක් දක්වා වර්ධනය විය යුතු බව ඒ අනුව ඔවුන්ගේ මූලික සටන් පාඨයක් වී තිබුණි. එසේ නමුත් අරගලය දිගින් දිගට ක්‍රියාත්මකවීමේදී එම සටන් පාඨය ක්‍රමයෙන් හැලී ගිය අතර ඒ වෙනුවට ආචාර්යවරයාගේ මාසික වේතනය, බදුරහිත වාහන බලපත්‍රය, ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ වරප්‍රසාදය වැනි පෞද්ගලික කාරණා වඩාලාත් ඉස්මතු විය. එකී කරුණ ඉතා හොඳින් පැහැදිලිවන්නේ ආචාර්යවරුන් විසින් එකඟතාව පළකරන ලද යෝජනාවලිය තුළ එවන් පොදු කාරණා නොසලකා හැර තිබීමෙනි. 

තම අරගලය උසස් අධ්‍යාපනය රැකගැනීම බව පැවසූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වා දුන් මූලික කරුණ වන්නේ විශ්වවිද්‍යාල තුළ ලැබෙන ඉතා අවම වැටුපට සේවය කිරීමට ඒවායෙන් පිටවන දක්ෂ ශිෂ්‍යයන් සූදානම් නොමැති බවත්, එහෙයින් ඔවුන් වෙනත් රැකියා සොයා විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් ඉවත් වන බව ආචාර්යවරුන්ගේ සංගමය පෙන්වා දී තිබුණි. මෙම කරුණ සියයට සියයක් සැබෑය. එසේ නමුත් ගැටලුවක් වී ඇත්තේ තම මුඛ්‍ය පරමාර්ථය එය වී නම් මෙවන් එකඟතාවකට පැමිණියේ කෙසේද යන්නයි. මන්ද යත් අදාළ වැටුප් සංශෝධනය තුළ ආධුනික කථීකාචාර්යවරුන්ගේ වැටුප පිළිබඳ කිසිදු සඳහනක් නොමැති හෙයිනි. විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබාගන්නා ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවයට බැඳෙනුයේ ආධුනික කථීකාචාර්යවරයකු ලෙස මිස ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයකු ලෙසවත්, ආචාර්යවරයකු ලෙසවත්, මහාචාර්යවරයකු ලෙසවත් නොවන බව නොරහසකි. 

පසුගිය මැයි 9 වැනි දින ආරම්භ වී මාස ගණනක් ඇදී ගිය මෙම ගැටලුව ගහන්න ගහන්න වඳින ප්‍රතිපත්තියකටවත් වඳින්න වඳින්න ගහන ප්‍රතිපත්තියකටවත් නොගොස් මෙසේ හෝ නතරවීම එක් පැත්තකින් සතුටුදායක ආරංචියකි. මන්ද යත් එය දිගින් දිගට ඇදී යෑම රජයේ පළාත් පාලන ඡන්දයටවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ජීවිතවලටවත් බලපාන ආකාරයට වඩා එය රටේ උසස් අධ්‍යාපනය ප්‍රමුඛ සමස්ත අධ්‍යාපනයට ඉතා අහිතකර ආකාරයෙන් බලපාන බැවිනි. 

තම අරගලය මෙසේ හිටි අඩියේ නැවැත්වීම සාධාරණීකරණය කරනු වස් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් පැවසූ තවත් කරුණක් ඇත. එනම් මෙය තාවකාලික නැවැත්මක් පමණක් බවයි. එසේ අවශ්‍යතාවක් ඇතිවූ නමුත් මෙම අරගලය නැවතත් තිබූ අයුරින් ගොඩනැගිය හැකිද යන්න ඉතා සැකසහිතය. මන්දයත් තම අවශ්‍යතාව සඳහා කේවල් කළ හැකි බොහෝ ප්‍රබල කාරණා ඒ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගිලිහී තිබෙනු ඇති නිසාය. 

අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී තමන් විභාග කටයුතුවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රකාශ කර තිබීම මේ සම්බන්ධයෙන් රජය අසරණ කළ ප්‍රමුඛ කාරණාව වී තිබුණි. අනෙක් කරුණ වන්නේ මේ වන විට විශ්වවිද්‍යාල සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ කාලය ආසන්න වී තිබීමය. මෙසේ අරගලය අත්හිටුවීමත් සමග රජය එකී ප්‍රශ්න සියල්ලෙන් නිදහස් වෙන අතර ඉන්පසු සැබෑ වුවමනාවක් පැමිණියත් තම ඉල්ලීම් සම්බන්ධයෙන් අරගල කිරීම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට මෙතරම් පහසු නොවනු ඇත. එසේ අරගලයක් කළද එය ඉක්මනින් විසඳීමේ වුවමනාවක් රජයේ පාර්ශ්වයටද අවශ්‍ය නොවනු ඇත. 

මෙම තීරණයත් සමග තවත් අතකට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයන් රාශියක් මේ කෙරේ කලකිරී සිිටිනු දක්නා ලැබේ. එවන් තත්ත්වයක් තුළ මින් පෙර තිබුණා සේ ශක්තිමත් පදනමකින් සහ විශ්වාසයකින් යුතුව මෙම අරගලය ප්‍රතිසංවිධානය කළ හැකිද යන්න ප්‍රශ්නයකි. 

අනෙක් අතට මෙම අරගලය ක්‍රියාත්මක වූ දීර්ඝ කාලසීමාව තුළ මෙරට පොදු සමාජය ඒ කෙරේ කොන්දේසි විරහිත එකඟතාවක් පළකොට තිබුණි. ඒ මෙම අරගලය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයා පෙළඹුණු කරුණු ඉතා සාධාරණ බැව් ඔවුන් විශ්වාස කළ නිසා විය හැක. තමන්ට සෑහීමකට පත්විය හැකි විසඳුමක් ලැබුණා නම් අරගලය නවත්වා දමා එය නැවතත් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරයාට සිදුවුවහොත් කලින් තිබූ පොදු එකඟතාව ඒ අයුරින්ම ඒ සඳහා ලැබෙනු ඇතැයි සිතීමද කළ නොහැක. වෙනකක් තබා මෙම අරගලය සම්බන්ධයෙන් තම කොන්දේසි විරහිත එකඟතාව දැක්වූ ගුරු සංගම් පවා අද සිටිනුයේ කිසියම් කලකිරීමකින් බව ඔවුන් සමග සාකච්ඡා කිරීමේදී පෙනීයයි. 

නවතා දැමූ අරගලය නැවතත් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කටයුතු කළහොත් කොයිකටත් තෛලය ලෙස රජය ගෙනයන කඩාකප්පල්කාරී සහ දේශද්‍රෝහී ප්‍රවාදය දෙසට මෙම අරගලය තල්ලු කිරීමට රජයට අපහසු නොවනු ඇත. එවන් තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය දිගින් දිගට ඇදී ගියහොත් විශ්වවිද්‍යාල ආචාර්යවරයා ජනතාවට වාතයක් වීමත් රටේ උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ අනාගතය නිකරුණේ කාබාසිනියාවීමත් නොවැළැක්විය හැකිය. 

මේ සම්බන්ධ කාරණා දැන් දැන් රටේ බහුතර ජනමාධ්‍ය සඳහා වැඩි වශයෙන් මුල් පුවත් සැපයීම තුළ පෙනීයන්නේ අන් කවරක්වත් නොව විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ අරගලය ආරම්භ වී ඇත්තේ දැන් බවය. 
මෙකී එකඟතාවත් සමග විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ කේවල් කිරීමේ ශක්තිය කොතරම් දුරට අහිමි වී ඇත්දැයි උසස් අධ්‍යාපන බලධාරීන් ඕනෑවටත් වඩා දනී. එකඟතාව අවසන් වී දින දෙක තුනක් යෑමටත් ප්‍රථම ආචාර්යවරුන් ඉල්ලූ පරිදි අංශ ප්‍රධානීන් නැවත පත් නොකිරීමටත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිකුත් කළ අංක 456 චක්‍රලේඛය එකඟතාවේදී පොරොන්දු වූ පරිදි ඉවත් කර නොගැනීමටත් බලධාරීන් කටයුතු කර තිබෙන්නේ එකී අවබෝධය නිසා නොවේයැයි සිතීමට කාරණා නැත. මෙකී අරගලය සාර්ථක ලෙස ඉදිරියට යෑමට ඉඩ නොදී කෙසේ හෝ තාවකාලිකව නැවැත්වීම තුළ පෙනීයන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන් ව්‍යවහාර ඥානය අතින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින බවයැයි ප්‍රකාශ කිරීමට සිදුවීම කනගාටුවට කරුණකි. 

මේ අරගලය විසඳුණු ආකාරය හරි හෝ වැරදියැයි කීමටවත්, ඇතැමුන් කියන්නා සේ අරගලය පාවා දුන්නායැයි කියන්නටවත් අපි කිසිදු අවස්ථාවක ඉක්මන් නොවෙමු. මාස ගණනාවක් තුළ ගෙනගිය අරගලය සහ අවසාන වශයෙන් ගත් එකඟතාවන් සහ එහි පරමාර්ථ තුළ අපිට දැනුණු පරස්පරතාව පිළිබඳව මාධ්‍ය හරහා සාකච්ඡා කැරුණු කරුණු අනුව අපිට දැනෙන්නා වූ දෙය පමණක් මෙසේ සටහන් කරමු.

1 comment:

Anonymous said...

අන්තිමට පැරදුනෙ අපිද?

විශ්ව විද්‍යාල සිසුන්