දිවයින 06/07/2011
වර්තමාන ශ්‍රී ලාංකික සමාජය ඉතිහාසයේ පෙර නොවූ විරූ අන්දමින් තීරනාත්මක අවස්‌ථාවක් පසු කරමින් සිටින බව අපි කවුරුත් හොඳින් දනිමු. මෙවන් පසුබිමක් යටතේ අප සමාජයේ ඉදිරි ගමන් මඟ තීරණය කිරීමෙහිලා පෙර ගමන්කරුවන් වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ස්‌වකීය අනන්‍යතාව සහ පැවැත්ම පිළිබඳව ගෙන යන අරගලය නැතහොත් වෘත්තීමය අයිතිවාසිකම් උදෙසා සටන් කිරීමට සිදුව තිබීම පිළිබඳව න්‍යායාත්මක විග්‍රහයක යෙදීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර, මෙම ලිපිය එම අරමුණ උදෙසා සිදුකරනු ලබන එක් උත්සාහයකි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසයට අවුරුදු 70 ක් සැපිරීමට තව ඇත්තේ අවුරුදු එකක් පමණි. 1942 ජුලි පළමුවන දින ලංකා විශ්වවිද්‍යාලය පිහිටු වීමේදීම එය සනාතන සභාව, පාලක සභාව, උප කුලපති සහ කුලපති යන පාලන ව්‍යqහයක් සහ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ස්‌වාධීන ආයතනයක් ලෙස පිහිටුවනු ලැබීය. මේ පිළිබඳව නිර්වචනයක් ඉදිරිපත් කරන ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති සර් අයිවර් ජෙනිංග්ස් තමන් විසින් රචිත ශිෂ්‍ය අත්පොතෙහි (Student's Guide Book)) වැඩි දුරටත් පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල යනු රජයේ දෙපාර්තමේන්තුවක් හෝ එසේ සංවිධානය වූවක් හෝ නොවන බවයි. එසේම ඉගැන්වීම්, විභාග පැවැත්වීම් සහ විශ්වවිද්‍යාලයේ අනෙක් සියලු කටයුතු අදාළ විශ්වවිද්‍යාලයේ පාලන ව්‍යqහයක් සහ පුද්ගලයන්ගේ සෘජු පාලනය යටතේ සිදුවිය යුතු බව පෙන්වා දී ඇත. ඔහුට අනුව විශ්වවිද්‍යාලයක මූලික කාර්ය වන්නේ තම ශිෂ්‍යයන් හට ඉගැන්වීම වන නමුත් එය විවිධ අවස්‌ථාවන්ට අනුව වෙනස් විය හැකිය. එසේම මෙම මූලික කාර්ය ඔස්‌සේ පුද්ගලයන් (සිසුන්) ලෝකයේ ඕනෑම කාර්යයක් ඉටු කළ හැකි හැකියාවක් ඇති ඉහළ බුද්ධිමත් පුරවැසියන් ලෙසද, පරිපූර්ණ සදාචාරමය අනුකලනයක් ඇත්තවුන් මෙන්ම නායකත්වයේ ගුණාංගයන්, උපාය මාර්ගයන්, විනිශ්චයන්, නව එළඹුම් සහ ඒවා පවත්වාගෙන යාමට හැකි ශක්‌තීන් ඇති පරිපූර්ණ ගැහැනුන් සහ පිරිමින් බවට පත්කළ යුතුවේ. එපමණක් නොව මෙම දුෂ්කර කාර්යයට උරදී සිටින ආචාර්යවරයා දැනුමින් සහ පර්යේෂණවලින් සන්නද්ධ වී සිටිය යුතු වන අතරම ඔහු හෝ ඇය නිතරම කල්පනා කළ යුතු වන්නේ zතමන් නොදන්නාZ දේ ඇති බවයි.
මෙවන් පරමාදර්ශී කාර්යයන් උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරයා සහ ශිෂ්‍යයා පෙළ ගැනීමේදී රජය සහ එහිම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාලය නම් වූ ස්‌වාධීන ආයතනයට/ ආයතනයන්ට පහසුකම් සලසන ආයතනය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඔස්‌සේ මූල්‍යමය ප්‍රතිපාදන ඇතුළු සම්පත් ලබාදීමට කටයුතු කළ යුතු වේ. මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතියට පොදු වූ ප්‍රතිපත්ති ගොඩනැගීම සහ විශ්වවිද්‍යාල පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුවේ. විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ අභිවෘද්ධිය උදෙසා පෙරමුණ ගත යුතු වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමයි.
මෑත ඉතිහාසය දෙස බලනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාලයන්හි දියුණුවට සහ ආචාර්යවරුන්ගේ මෙන්ම සිසුන්ගේ ප්‍රගතියට විශාල මෙහෙයක් ඉටු කරනු ලැබූයේ මහාචාර්ය ස්‌ටැන්ලි කල්පගේ සහ මහාචාර්ය අර්ජුන අළුවිහාරේ යන සභාපතිවරුන් ඊට නායකත්වයට සැපයූ කාලවකවානු තුළය. ඔවුන් ස්‌වකීය වෘත්තීමය ගරුත්වය ආරක්‌ෂා කර ගනිමින් රජය සමඟ මනා සමතුලිතතාවක් පවත්වාගෙන යනු ලැබූහ. ඒ ඔවුන් සැබෑම විශ්වවිද්‍යාල උගතුන් ලෙස ලෝකයේ ශාස්‌ත්‍රීය ප්‍රජාව නියෝජනය කළ බැවිනි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වශයෙන් පත්වන්නේ විශ්වවිද්‍යාලයකම ආචාර්යවරයකු බැවින් ඔහු හෝ ඇය සහෝදර ආචාර්යවරුන් නියෝජනය කරන ඔවුන්ගේ විශ්වාසය සහ ආදරය දිනාගත් අයෙකු විය යුතුවේ.
විශ්වවිද්‍යාල පනත දෙස බලන විටද එහි නෛතික රාමුව විශාල ලෙස වෙනස් වූයේ සහ පුළුල් අර්ථකථනයක් සපයනු ලැබූයේ 1977-1990 දක්‌වා කාල පරිච්ඡේදය තුළය. එම කාල පරිච්ඡේදය එක්‌සත් ජාතික පක්‌ෂය දේශපාලන බලය හෙබවූ කාලයකි. පොදුවේ කවුරුත් පිළිගන්නා ලද මතය වන්නේ විධායක බලය ඇති කරන ලද ෙ-. ආර්. ජයවර්ධන සහ ඔහුගේ අනුප්‍රාප්තිකයකු වන ආර්. ප්‍රේමදාස මෙකී විධායක බලය තම පාලන කටයුතු සඳහා පුළුල්ව යොදාගත් බවයි. එසේම දේශපාලනීකරණය කරළියට ගෙන ඒමට මෙකී රජය සෘජුවම කටයුතු කළේය. මෙම තත්ත්වයන් යටතේ විධායක ජනාධිපති ක්‍රමය සහ පාලන තන්ත්‍රය ඉතා කර්කෂ සහ රළු පාලන ක්‍රමයකැයි අර්ථ නිරූපණය කිරීමට බොහෝ දෙනා විවෘතව ඉදිරිපත් විය. එසේම විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට යෑයි පවසමින් දේශපාලන බලය පැතීමට ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ වෙන වෙනම කටයුතු කර පසුව සන්ධානගතව බලය ලබාගත්හ. එහෙත් මේ වනවිට කවරෙකු හෝ විධායක බලය වෙනස් කිරීමට කතා නොකරති. වඩා බරපතල කරුණ වන්නේ විධායක බලය උපරිම ලෙස නැතහොත් එක්‌සත් ජාතික පක්‌ෂ නායකයන්ට වඩා ප්‍රබල ලෙස භාවිතයට ගැනීම සහ එයට එරෙහි වූ බහුතරයක් දෙනා නිහඬව බලා සිටීමයි. මෙම තත්ත්වය තවත් බරපතල වන්නේ, එල්.ටී.ටී.ඊ. යට එරෙහිව දියත් වූ යුද්ධය සහ ඊට සමගාමීව ක්‍රියාත්මක වූ මිලිටරිකරණය යුද්ධයෙන් පසුවද පවත්වාගෙන යැම සහ එය අද වන විට රටේ සෙසු සාමාන්‍ය ජන කොටස්‌වලටද තර්ජනයක් වී තිබීමයි.
මෙම සංකීර්ණ සමාජ සංසිද්ධීන් සමූහයට එක් කරන ලද භෞතික සාධකවල වෙනස (පාරවල්, ගොඩනැඟිලි, වරායවල් ආදිය) ප්‍රගතියක් නැතහොත් සංවර්ධනයක් ලෙස අර්ථ නිරූපණය කිරීමට සහ එය බලෙන් මිනිසුන්ගේ ඔළු ගෙඩිවලට කාවැද්දීමට රජය ක්‍රියා කරයි. එහෙත් මෙය සැබෑ සංවර්ධනයක්‌ද යන්න හඳුනාගන්නේ කෙසේද? සංවර්ධනය වඩා පුළුල් අර්ථයක් ඔස්‌සේ තේරුම් ගැනීමට යොදා ගන්නා සංකල්පය වන්නේ "මානව සංවර්ධනය" (Human Development) යි. වෙනස මානව සංවර්ධනයක් වීමට නම් එයින් මිනිසාට තේරීමට ඇති ඉඩකඩ පුළුල් විය යුතුය. එමගින් නිදහස ද අර්ථාන්විතව පුළුල් විය යුතුය. මෙම අරමුණ ඉටුවීමට නම් ආදායම වැඩිවීම, දැනුම ලබාගැනීමට ඇති ඉඩකඩ වැඩිවීම, වඩා සුරක්‌ෂිත ජීවිකාවන් අපරාධ හා කායික හිංසනයට එරෙහි සුරක්‌ෂිත භාවය, විවේක වේලාවන් තෘප්තිමත්ව ගතකිරීම, දේශපාලනික සහ සංස්‌කෘතිකමය නිදහස සහ තම ප්‍රජාව සමග ක්‍රියාකාරී සහභාගිත්වයක් ඇතැයි යන හැඟුම අප තුළ ජනිත විය යුතු යුතුය. එහෙත් මෙවන් තත්ත්වයක් සැබවින්ම අප තුළ ගොඩනැඟී තිබේද? නැත. එසේ නම් මෙම වෙනස ප්‍රගතියක් හෝ සංවර්ධනයක් ලෙස තේරුම් ගැනීම දුෂ්කර කටයුත්තකි.
විශ්වවිද්‍යාල ආචාර්යවරයා පියවි ඇසට නොපෙනෙන විශාල ජාතික මෙහෙවරක් ඉටුකරන නමුදු ඔහු හෝ ඇය ස්‌වභාවික කැමැත්තට අනුව යමක් ලැබෙන සේ සිටිය යුතු පිරිසක් ලෙස රජය තේරුම් ගෙන ඇති බවක් පෙනේ. ඔවුන් වසර 2008 සිට වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීමට කටයුතු කළේ ඉතා ප්‍රජාතන්ත්‍රවාදී පදනමකිනි. එසේම රටේ පැවැති යුද්ධමය පසුබිම තුළ විවිධ දුෂ්කරතා මත රට වෙනුවෙන් යුද්ධය සාධාරණීකරණය කළ අතරම ජාත්‍යන්තරවද ඔවුන්ගේ මතවාදයන් ඉදිරියට ගෙන යනු ලැබීය. එපමණක් නොව ආරක්‌ෂක අංශවලට තම සෘජු දායකත්වය සපයනු ලැබීය. මෙම ලිපියේ කතුවරයාම මේ සඳහා ලබාදුන් දැනුම ප්‍රායෝගික වැඩපිළිවෙළ පෙන්වාදීම වැදගත් යෑයි හැඟේ. යුද්ධය තුළ රජය මුහුණදුන් ප්‍රබල අභියෝගයක් වූයේ කොළඹ ආරක්‌ෂා කර ගැනීමය. කොළඹට උතුරු නැගෙනහිරින් සහ අනෙකුත් ප්‍රදේශවලින් 60% ක් පමණ පිරිසක් ඇතුළු වන්නේ ගම්පහ දිස්‌ත්‍රික්‌කය ඔස්‌සේය. ඒ අනුව කොළඹට කැලණි ගඟ හරහා පිවිසෙන ස්‌ථාන 5 ක් පිළිබඳව පර්යේෂණ සිදුකර ආරක්‌ෂක උපාය මාර්ග ගැනීමට එවකට කොළඹ උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට සහාය විය. එසේම ආරක්‌ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ප්‍රජා පොලිස් සේවයක් ඇති කර රටේ ආරක්‌ෂාවට මහජනතාවගේ සහාය ලබාගත හැකි ආකාරය පිළිබඳව සැලසුම් ගොඩනැඟීමට මෙකී නියෝජ්‍ය පොලිස්‌පතිවරයාටම සහාය ලබාදී ඇති අතරම, එම වැඩපිළිවෙළ කොළඹ උතුරු දිශාවේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දුන්නේද මෙම කතුවරයාය. යුද්ධය අවසන් වන විට පොලිසියේ කාර්යභාරය මහජනතාව වෙත පුළුල්ව යොදාගත හැකි බැවින් පොලිසිය මහජනතාව සමග ගැටෙන අවස්‌ථා හඳුනාගනිමින් එහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියා පටිපාටීන්ට අනුව පොලිස් නිලධාරීන් විවිධ අවස්‌ථාවල ක්‍රියා කළ යුතු ආකාරය කෙබඳු දැයි අත්පොතක් (Guide
Book) නිර්මාණය කිරීමට එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති/පරිපාලනයට සහයෝගය දැක්‌වූයේද මෙම කතුවරයාය. (මෙම අත්පොත හමස් පෙට්‌ටියකට ගොස් ඇති අතර, සේවක උද්ඝෝෂණවලදී පොලිස් නිලධාරීන් අත්තනෝමතිකව ක්‍රියා කරමින් මනුෂ්‍ය ඝාතනයන්ද සිදු කරයි.) මෙකී සියලු කාර්යයන් හි නියෑලුණේ ගරු සේවයක් ලෙස ස්‌වෙච්චා පදනමකිනි. අප විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස ස්‌වෙච්ඡා පදනමකින් කටයුතු කරන්නේ විශ්වවිද්‍යාලයෙහිම පමණක් නොවේ. මේ බව මේ කතුවරයා සම්බන්ධ රජයේ නිලධාරීන් මෙන්ම මෙම රජයේ දේශපාලනඥයන්ද හොඳින්ම දනී. මීට තවත් හොඳම උදාහරණය වන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී "රාජපක්‌ෂ භීතිකාව" ප්‍රබල ගැටලුවක් ලෙස විපක්‌ෂය මතු කළ විට දැනට රජයේ ප්‍රබල ඇමැතිවරයකු මෙම කතුවරයාගෙන් සහාය පැතූ අතර එම තත්ත්වය කණපිට පෙරළීමට වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු කළ අතරම එම කටයුතු සිදු කළේ ස්‌වෙච්ඡාවෙන්ය. එහෙත් මිලියන ගණන් මුදල් මත සේවාවන් සැපයූ පුද්ගලයන් සහ ආයතන ජනාධිපතිවරණය පුරා ක්‍රියාත්මක විය. නමුත් මෙවැනි පසුබිමක් යටතේ තම වෘත්තිය පාවාදීමට හෝ තනතුරු අපේක්‍ෂාවෙන් දේශපාලනය පසුපස යැමට අප කටයුතු නොකළෝය. මන්දයත් අප විශ්ව පදනමකින් ස්‌වකීය ශාස්‌ත්‍රීsය ජීවිතය පවත්වාගෙන යන බැවින් සහ එය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බැවිනි. දේශපාලනයේ පසුපස හඹාගොස් "උචිතයෙක්" වීමට වඩා සමාජයට තම වෘත්තීමය ජීවිතය ඔස්‌සේ සේවයක් කිරීමට අපි පසුබට නොවෙමු. ඇතැම් විට වර්තමානය දෙස බලන විට ස්‌වාධීනව සිටීම අනුචිතයකු වීමට හේතු වන බවද අපි දනිමු. නිදහස් අධ්‍යාපනය ඔස්‌සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා එම සේවයට ගරු කරමින් තම දරුවන්ට තම මුදලින්ම අධ්‍යාපනය ලබාදී රජයට බරක් නොවූ පුද්ගලයන් කීපදෙනා අතර මාද එක් පුද්ගලයෙකි. ඒ සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙස ලබන වැටුප ප්‍රමාණවත් නොවීමද ගෙයක් දොරක් හදාගැනීමට, සමාජ සම්බන්ධතා පවත්වාගෙන යැම පර්යේෂණ හා පතපොත ප්‍රකාශයට පත් කිරීම ආදී කාර්යයන්ට මුදල් නොමැති බැවින් අනුන්ගේ ඉඩමක ගොවිතැන් කරන එකම මහාචාර්යවරයා මා යෑයි පැවසීමට මම පසුබට නොවෙමි. ඒ මන්දයත් මාගේ දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනැඟීම යුතු යෑයි යන සෑම පියකුගේම ඇති මූලික බලාපොරොත්තුව ඉටු කිරීම උදෙසාය. එසේ කටයුතු කරමින් අප සේවයට සාධාරණ වැටුපක්a ලබාගැනීමට කටයුතු කිරීම අපගේ අයිතියකි. එයට රටේ ලිත, නෛතික රාමුවෙන් ඉඩ සලසා තිබේ. වසර 2008 සිට එකම ජනාධිපතිවරයා සහ රජය යටතේ වසර 2011 මැද භාගය දක්‌වා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කර තිබියදීත් එය ඉටු නොකර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෑල්ලුවට ලක්‌කරමින් කල් මැරීම කෙතරම් පාපී ක්‍රියාවක්‌ද?
බලය ඇති තැනැත්තෝ තමන්ටත් අනුගාමිකයන්ටත් ඇති තරමට සම්පත් බෙදා ගනිති. එහෙත් දුර්වලයා, අනුචිතයා මීළඟ අය-වැය තෙක් කට ඇරගෙන බලා සිටිය යුතුය.
අපි අපගේ වෘත්තීය ගරුත්වය සහ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වූවෝ වෙමු. එය සටනකට ගෙන යන්නේ සැමදාම සටන්වලින් ජයගැනීAමට උත්සාහ කරන සහ එසේ සටන් කර සදාචාර පර්යායට බරපතළ ලෙස හානිකර ලෙස කටයුතු කර ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ උසස් අධ්‍යාපන ඇමැතිවරයාය. බෞද්ධ කතාවකින් පෙන්වාදී ඇති පරිදි අප සිදුකර ඇත්තේ වැද්දාගේ දැලට හසුකරගත් වටු කරුල්ලන් මෙන් සියල්ල එකමුතු වී තර්ජනයෙන් මිදීමට සහ අයිතිවාසිකම් දිනා ගැනීමට වෘත්තීමය අරගලයකට පිවිසීමයි.
සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරින් 95% කට වඩා වැඩි සංඛ්‍යාවක් මෙම අරගලය හා බැඳී සිටී. අතළොස්‌සක් වූ සංඛ්‍යාවක් රජයේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් මීට සෘජු සහායක් නොදැක්‌වුවද ඔවුන්ද තම මූලික වැටුප වැඩිකර ගැනීමට ඉතා කැමැතිය. ඇතැම් විට සටනට පිවිසි බහුතරයට වඩා කැමැත්තෙන් සිටින්නේ ඔවුන්ය. මන්දයත් ඔවුන් අතරින් බහුතරයක් දේශපාලනඥයන් පසුපස වැටී සිටින්නේ ඔවුන්ගේ ශක්‍යතාවය සහ විශ්ව පිළිගැනීම හා නියෝජනය පිළිබඳ බරපතළ සැකයක් ඔවුන්ටම ඇති නිසාය.
අපගේ එක් ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් වැඩි කිරීම වුවද තවත් ඉල්ලීමක් වන්නේ රජයේ සෙසු වෘත්තිකයන්ට හිමි අයිතිවාසිකම් ලබාගැනීමයි. මීට අමතරව රජය විසින් කප්පාදු කරන ලද අයිතිවාසිකම් නැවත ලබාගැනීමයි. අවසානයේ රටේ අධ්‍යාපනය උදෙසා රජය වියදම් අතරින් ප්‍රමාණවත් මුදලක් වෙන්කර ගැනීම සහ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සුරක්‌ෂිත කර ගැනීම ද මෙම අරගලයේ ප්‍රධාන අරමුණක් වේ.
අප මෙසේ කල්පනා කළ ද උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධාන අරමුණ මීට වෙනස් යෑයි පැවසීමට ප්‍රමාණවත් කරුණු ඔහුගේම ප්‍රකාශයෙන් සහ ක්‍රියාකාරකම් ඔස්‌සේ මතුව තිබේ. ඒ අනුව ඔහුගේ සැඟවුණ අරමුණ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය දුර්වලකර පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය ශක්‌තිමත් කිරීම විය හැකිය. මෙය ඉතා බරපතළ තත්ත්වයක් ලෙස තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වන්නේ රටේ දුර්වල සමාජ පන්තීන්හට මේ ඔස්‌සේ විශාල අසාධාරණයක් සහ පීඩනයක් ඇති වන නිසාය. එසේම ඇමැතිවරයා සෘජුව පහර දෙන ජනතා විමුක්‌ති පෙරමුණට ඉතා වාසිසහගත තත්ත්වයක් රට තුළ නිර්මාණය කරනු ඇත. මේ රටේ සටන් කැරලි දකුණේ හෝ උතුරේ සිදුවුවත් ඒවාට සම්බන්ධ වූයේ දුර්වල සමාජ පන්තීන්වල පුද්ගලයන්ය. කලක් තරුණ තරුණියන්ට ප්‍රේම කිරීමට ස්‌ථාන නැතැයි පවසමින් රට තුළ පෙම් උයන් තැනිය යුතු යෑයි පැවසූ අය ම අද තරුණ තරුණියන්ට නායකත්ව පුහුණුවක් ලබාදිය යුතු යෑයි පවසා උසස් අධ්‍යාපනය සඳහා වෙන්වූ විශාල ධනස්‌කන්ධයක් ක්‍රම විරෝධීව වියදම් කරමින් සිටියි. මෙම පුහුණුවීම් ද ප්‍රතිඵල රහිත දෙයක් යෑයි ඔහුට තේරුම් ගැනීමට වැඩි කාලයක් ගත නොවනු ඇත. පෙම් උයන් ඉදිනොවූවා සේ නායකයන්ද බිහි නොවනු ඇත. මන්දයත් මෙම පුහුණුවීම් කිසියම් වූ විශ්වසහගත අරමුණකට අනුව සහ එවන් පරිසරයක් තුළ සිදුවූවක් නොවන නිසාය. මෙවැන්නක් අදාළ විශ්වවිද්‍යාලවලම එහිම සම්පත් යොදාගෙන කළ හැකිව තිබිණි. එවැනි වැඩසටහනක් (නම්නීකරණ වැඩසටහන) 1983 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කළ අතර එහි සියලු කටයුතු විශ්වවිද්‍යාලය තුළම සිදුකරනු ලැබීය. එහි මිලිටරිකරණයක් නොතිබූණි. එහෙත් නවකවදය අඩුවීමකට වඩා වැඩිවීමේ ප්‍රවණතාවක් ගොඩනැගුණි.
මෙවන් වැඩසටහනක් සැලසුම් කළ යුත්තේ ඒ පිළිබඳව හොඳින් සොයා බලා (Action Oriented Research) එහි ප්‍රතිඵල මතය. එසේම ඒ සඳහා හමුදා නිලධාරීන් නොව විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින තරුණ පර්යේෂකයන් යොදා ගැනීමට හැකියාව තිබිණි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛතාව දිය යුතු වන්නේ පර්යේෂණාත්මක අත්හදා බැලීම්වලටය.ඒ සඳහා රටේ සෙසු අමාත්‍යාංශවලටද පූර්වාදර්ශ දෙමින් සොයාගැනීම් සහ නව නිපැයුම් උදෙසා දිශානතීන් ගොඩනැගිය යුතුවේ. එවිට රට ආසියාවේ ඓශ්චර්ය බවට නොව ලෝකයේම ඓශ්චර්යක් කළ හැකිවේ. ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා ලෝකයට ආදර්ශයක් පෙන්වූ ජනාධිපතිවරයා ඇතුළු ආරක්‌ෂක අංශවල නිලධාරීන් ඉදිරි ක්‍රියාකාරකම් ආසියාවට සීමා නොකළ යුතු බව අපගේ හැඟීමයි. ලෝක මට්‌ටමට යැමට නම් විශ්ව අත්දැකීම් කැටිකරගත් විශ්වවිද්‍යාල ආචාර්යවරයන් මෙම ගමනේ සැබෑ කොටස්‌කරුවන් බවට පත්කර ගතයුතුවේ. ඒ සඳහා ඔවුන් දිරිමත් කළ යුතුය. ඒ සඳහා ඔවුන්ගේ වෘත්තීයමය ගරුත්වය ආරක්‌ෂා කළ යුතුය. එසේ නොමැතිව නින්දා, අපහාස කර ඔවුන් කලකිරීමට පත්කිරීමේ ප්‍රතිඵලය රටේ සංවර්ධනයට මෙන්ම දේශපාලනයටද හිතකර නොවේ.
වත්මන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා බලය ඇතිවිට අත්තනෝමතිකව හැසිරෙන බවක් ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතය තුළින් ගම්‍ය වේ. මෙය උසස් අධ්‍යාපනය වැනි ක්‍ෂේත්‍රයකට මෙන්ම අන් කවර ක්‍ෂේත්‍රයකටද නොගැලපේ. මෙහිදී පෙර සිටි උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් අතර ප්‍රමුඛ වන්නේ ඒ. සී. හමීඩ්ය. ඔහු පර්යේෂකයකු නොවූවද ඉතා බුද්ධිමත් ලෙස තම අමාත්‍යාංශය මෙහෙයවූ අතර විශ්වවිද්‍යාල සහ ආචාර්යවරුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කළේය. "ඇහැට ඇහැක්, දතට දතක්" යන ආචීර්ණ කල්පිත මූලධර්මය අනුගමනය නොකළේය. වත්මන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර බහුතරයක් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට සහයෝගය ලබා දුන්නේය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නොහික්‌මුණු සහ අශිෂ්ට ක්‍රියාකලාපය මෙම සහයෝගය දුර්වල කිරීමට හේතු වී තිබේ. උසස් අධ්‍යාපන ඇමැතිවරයා ආචාර්යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කිරීම වන තම මූලික වගකීමෙන් බැහැර වී ගැටුමට මඟපාදමින් සිටියි.
ඉදිරියේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම වෘත්තීය අයිතිවාසිකම් ලබා නොදෙන්නේ නම් උසස් පෙළ විභාග කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති අතර මෙය ප්‍රබල සමාජ ගැටුමක් වෙත ගමන් කරන සාධකයක් වනු නොඅනුමානය. රජය ද මීට ප්‍රතිචාර ලෙස උසස් පෙළ විභාග කටයුතු පවත්වාගෙන යැම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරනු ලැබුවහොත් තත්ත්වය තව තවත් අර්බුදයකට යා හැකිය. මෙවන් ගැටුම්කාරී තත්ත්වයක් යටතේ ඇතිවන ප්‍රතිඵලය නිශේධනාත්මක වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ අනුව සමාජය අර්බුදයකට ඇද නොදමමින් කටයුතු කිරීම උසස් අධ්‍යාපන ඇමැතිවරයා මෙන්ම රජයද වගබලා ගත යුතුවේ. එසේම සමාජයේ සමබරතාවය (Social Equilibrium) ආරක්‌ෂා කර ගත හැකිවේ. තවත් ආකාරයකින් පවසන්නේ නම් සමාජයේ සෑම පද්ධතියකටම (මානව පවුල, අධ්‍යාපනය, දේශපාලන, ආර්ථික, සංස්‌කෘතිය සහ පෞරුෂත්වය ආදී මූලික සමාජ සම්බන්ධතා ජාලයන්ට) සහ උප පද්ධතීන්ගේ සමබරතාව මෙන්ම එම පද්ධති සහ උප පද්ධති අතර මනා සමාජ අනුකලනයක් (Social Intergrity) ගොඩනගා ගත හැකිවේ. එවිට එය සමාජ වෙනස්‌වීමක් මෙන්ම සමාජ සංවර්ධනයක්‌ද වනු ඇත. තවත් පැත්තකින් බලන විට උසස් අධ්‍යාපන ඇමැතිවරයා සහ රජය වගකීමෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලය වන්නේ අප සමාජය වඳවී යැමට නැතහොත් පසුගාමිත්වයක් ඇති රටක් බවට පත්කිරීම වළක්‌වා ප්‍රගතිය කරා සමාජය මෙහෙයවීමයි. මේ සඳහා රජයට දිරි දීමට තරම් ඉදිරි දැක්‌මක් ඇති නිලධාරී පිරිසක්, නායකයන් පිරිසක් සිටීම අත්‍යවශ්‍ය සාධකයක් බව අවධාරණය කරමු.
මහාචාර්ය කේ. කරුණාතිලක