Friday, July 15, 2011

රජයේ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර ගැටුම් ඇතිවන ලකුණු ප්‍රයිවට් මෙඩිකල් අයට රජයේ රෝහල් බෑ

Gossip Lanka

දැනට මාලඹේ අරඹා ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සීමාවාසික පුහුණුව හෝමාගම මහ රෝහලේදී ලබාදෙන්නට සූදානමක් පවතින බවත් එවැන්නක් සිදු කළහොත් බරපතල අරගලයකට යන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී තිඛෙනවා.

ලංකාවේ පවතින ක්‍රමය අනුව උසස් පෙළ විභාගයේ අතිශය තරගකාරී සටනකින් පසු වෛද්‍ය ශිෂ්‍යයින් සීමිත පිරිසක් බඳවා ගත් නමුත් එම තරගය හෑල්ලූවට ලක්කරමින් මුදල් ඇති අයට පහසුවෙන් වෛද්‍ය සිසු වරම් දීම පිළිබඳ සිසුන් සිදු කරන විරෝධය කාලයක් තිස්සේ පැවතුණා.

ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට මින් පෙර රජයන් සෑම එකක්ම උත්සාහ දැරුවත් සිසු අරගල හා විරෝධය පෑම් හමුවේ ඒවා සියල්ල අකුලා ගැනීමට සිදුවූ අතර පළමු වරට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවන්නට සමත් වූයේ වත්මන් රජයයි.
කෙසේ වෙතත් එය පිහිටවූ ආකාරය කාහටත් ප්‍රහේළිකාවකි.

මාලඹේ පිහිටි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට රජයේ වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී නැති බවත් ශ්‍රී ලංකා නීතිය යටතේ කවර නීතියකින්වත් එය පිහිටුවීමට අවසර ලැබී නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දෙනවා.

කෙසේ වෙතත් 2010 සිට අධ්‍යයන කටයුතු අරඹා ඇති දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය නමැති මාලඹේ පිහිටි මෙම ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායකගේ පූර්ණ අනුග්‍රහය අනුබලය ලබා ඇති ආයතනයකි.

මෙම ආයතනයෙන් වෛද්‍ය මෙන්ම ඉංජිනේරු හා අයි.ටී. උපාධිත් මුදල් ගෙවා ඉගෙන ගත හැකිය.

එම් බී බී එස් උපාධිය වසර 5 ක පාඨමාලාවක් වන අතර ඒ සඳහා අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම උසස් පෙළ විභාගයේදී 'එස්' සාමාර්ථ 3 ක් පමණි.