Thursday, July 21, 2011

කරුණු 3 ක්‌ ගැන එකඟතාවට එනතෙක්‌ වෘත්තීය සටන අත්හරින්නේ නැහැ - සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනය

දිවයින 21/07/2011

නිලන්ත මදුරාවල

අවසන් තීරණයකට එළැඹීමට නොහැකි වූ කරුණු තුනක්‌ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙන තෙක්‌ වෘත්තීය ක්‍රියාමාර්ග අත්නොහරින බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත (20 වැනිදා) ලිඛිතව දැනුම් දීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාව (19 වැනිදා) තීරණය කළේය.

සියයට විසිපහක පර්යේෂණ දීමනාව ලබාගැනීම සඳහා වන කොන්දේසි ඉවත් කිරීම අංශ ප්‍රධානි තනතුරුවලින් ඉවත්වීම, මාස තුනකට පෙර දැනුම්දිය යුතු බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ අංක 956 දරන චක්‍රලේඛය ඉවත් කිරීම සහ ආචාර්යවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා ආණ්‌ඩුව පාර්ශ්වයෙන් හා ආචාර්යවරුන්ගේ පාර්ශ්වයෙන් කමිටුවක්‌ පත්කිරීම එම කරුණු වේ.

සියයට විසිපහේ පර්යේෂණ දීමනාව ලබා ගැනීමට නොහැකි වන්නේ නම් ආණ්‌ඩුව යෝජනා කළ වැටුප් ව්‍යුහයන්ට ළඟාවීමට නොහැකි වන බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිමල් රංජිත් දේවසිරි මහතා (19 වැනිදා) පැවැසීය.

මෙම විධායක සභාව රැස්‌වූයේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සමඟ (18 වැනිදා) පැවැති සාකච්ඡාවේ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහාය.