Saturday, July 16, 2011

කළු කෙල්ලෝ, සුදු කෙල්ලෝ, කහ කෙල්ලෝ


ජූලි 16, 2011
සාමාන්‍ය රෝගීන්ට වඩා  මානසික රෝගීන් සමාජයට හානිකරය. ඒ ඔවුන් තමාටත් හානි කර ගන්නා අතරම අනිකුන්ටත් හානි කරන බැවිනි. බොහෝ විට ඔවුන් කරන දෙයින් ලැබෙන ප්‍රතිපලය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නැති බැවින්  ඉතා භයානක දේ කරති. එයින් රෝගියා මෙන්ම ඔහු වටා සිටින අයත්, අනතුරේ වැටේ.
මානසික රෝගියෙකුට සමාජය තුල  යම්  කිසි බලයක් ලැබුනොත් ඔහු අතින් සිදු වන හානිය බලපාන පිරිස වඩාත් වැඩි වේ.
 ප්‍රාදේශීය සැබෑ මන්ත්‍රීවරයෙකු පිස්සෙකු වුවහොත්  ඔහු අතින් වන  හානිය සාමාන්‍ය මිනිසෙකු ඇති වන හානියට  වඩා තරමක වැඩිය. ඊට වඩා  හානියක් පළාත් සබා මන්ත්‍රී පිස්සෙකු අතින් සිදු විය හැක. මක් නිසාද යත් ප්‍රාදේශීය  සබා මන්ත්‍රී පිස්සා හානි කරන්නේ අදාළ ප්‍රාදේශීය සබාවට පමණක් විය හැකි අතර පළාත්  සබා මන්ත්‍රී පිස්සා ඊට  වඩා   වැඩි  ප්‍රදේශයකට  බල පූලුවන්  කාරයෙක් වන  බැවිනි.
ඉදින් මේ පිස්සා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු නම් ඔහු අතින් ඊටත් වඩා  හානියක්  සිදු වේ. ඒ අනුව ඇමති වරයෙකු අගමැති වරයෙකු හෝ ජනාධිපති වරයෙකු පිස්සෙකු වුවහොත් ඒ ඒ පුද්ගලයාගේ බලය අනුව ඔහු අතින් සිදු වන හානිය වැඩිවේ. හිට්ලර් නමැති මානසික රෝගියා නිසා ලෝකය පුර ජනතාව මිලියන සිය  ගණනක් මියැදුණි . 
එසේම ඇමතිවරුන්  ගත්තද එක එක අමාත්‍යංශයේ කාර්ය භාරය අනුව ඇමති වරයාගේ  මානසික මට්ටම හා බැඳුනු  හානිය වෙනස් වේ. උදාහරණයක් ලෙස පොල් සංවර්ධන ඇමතිගේ පිස්සු  ක්‍රියාවන්ට  වඩා  අධ්‍යාපන  ඇමතිගේ හෝ උසස් අධ්‍යාපන  ඇමතිගේ පිස්සු ක්‍රියා නිසා සිදු වන හානිය අධිකය. බරපතලය. එයින් සිදුවන හානිය ආපසු    හැරවිය නොහැක. මක් නිසාද යත් ඔවුන්ගේ   ක්‍රියා සම්පූර්ණයෙන්ම බල පාන්නේ රටේ දරුවන් කෙරෙහි බැවිනි.
අද අපේ රටේ උසස් අධ්‍යාපනය අවුල් ජාලයක් බවට පත්ව තිබේ.  ආචාර්ය   ප්‍රශ්න ,  හමුදා  පුහුණු,  විදෙස්  සිසුන්  ගැනීම  ,  සිසු මර්ධනය, ආදී වශයෙන්  එය මහා නූල් බෝලයක් බවට පත්ව තිබේ.  අප  ඉහතින්  කතා  කල  දේ සහ උසස් අධ්‍යාපනයේ මේ අවුල අතර යම් සම්බන්ධයක් ඇත්දැයි සිතන්නෙකුට පොඩි ඔත්තුවක් දීම ට  අප කැමැත්තෙමු. එය නම් උසස් අධ්‍යාපන ඇමති වරයා පසු ගිය  දිනෙක විදෙස් සරසවි සිසුන්  ගෙන්වා   ගැනීම  ගැන කියූ කතාවකි.  
”මේ විදේශ දරුවො එන එකෙන් අපේ දරුවන්ට කිසිම අවාසියක් වෙන්නේ නෑ. අපේ දරුවන්ට වාසියක් වෙන්නෙ. ඉතාම හොඳ වාසියක් වෙන්නෙ. මේ විශ්ව විද්‍යාල වල කළු කෙල්ලො කොල්ලො ඉඳියි, සුදු කෙල්ලො කොල්ලො ඉඳියි, කහ කෙල්ලො කොල්ලො ඉඳියි, ඇස් දිග එවුන් ඉඳියි, නහයවල් කොට එවුන් ඉඳියි, සේරම ජාතියෙ එවුන් ඉඳියි.
එහෙම තමයි විශ්ව විද්‍යාලයක් ජාත්‍යන්තර තත්ත්වයට එන්නෙ. අපේ තරුණ තරුණියන්ට ‘හොඳ චොයිස්’ එකක් තියෙයි.(සිනහා වෙයි) මේක නරක එකක් නොවෙයි. විශ්ව විද්‍යාල ජාත්‍යන්තර තලයට යන්න මේක අත්‍යාවශ්‍ය කාරණයක්. විදේශ දරුවො ආවම අපේ අයට මොනවද වෙන්නේ? කියනවා. මේව තනිකරම මෝඩ කතා. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පනත අපු ගමන් ඒ හැම ආයතනයකටම අපේ දරුවො සියයට විස්සක් නිකං දානව.”
ඔබම තීරණයක් ගන්න
සටහන- කහ සහ සුදු කෙසේ වෙතත් කලු ගැන නම් විශේෂ  අවධානයකින් කටයුතු කරන බව  ඒ තුමා ක්‍රීඩා ඇමති කාලයේ වාර්තා වී තිබුණි.