Monday, July 25, 2011

පොරොන්දු එක්ක සෙල්ලම් එපා-කල්දීම අයවැය දක්වා පමණයි

අද දෙරණ 25/07/2011

තමන්ට දුන්නු පොරොන්දු සමග සෙල්ලම් නොකළ යුතු යැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආණ්ඩුවට අවධාරණය කරයි. 

ආණ්ඩුව සමග දිගින් දිගටම කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස තමන්ට ලැබුණේ ප්‍රමාණවත් නොවන විසඳුමක් වුවද එකී විසඳුම වුව ක්‍රියාත්මකවීම පිළිබඳ සැකයක් පවතින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. 

තම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත්හැරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කරනු ලැබුවේ ඒකමතිකව නොවන බවත්,බොහෝ මත ගැටුම් මධ්‍යයේ බහුතරයකගේ කැමැත්ත මත එම තීරණය ගත් බව ඔහු කියා සිටියේ අද(25)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. 

එබැවින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර එම තීරණය පිළිබඳ පැවතුණු මත ගැටුම් තවමත් පවතින බවත් ඔහු අවධාරණය කළේය. 

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ 15,000 ක් ලෙස ගෙවීමට මුලදී රජයේ නියෝජිතයින් එකඟ වුවද පසුව එකී වැටුපට ‍එහිම කොටසක් ලෙස පර්යේෂණ දීමනාවද ඇතුළත් කර ඇති බවද දේවසිරි මහතා පෙන්වා දුන්නේය. 

එහෙත් තමන් ඉදිරිපත් කළ මූලික කොන්දේසි අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු‍ගේ වැටුප එක්ලක්ෂ 15,000 ක් කරනු ලබන්නේනම් පර්යේෂණ දීමනාව වෙනම ගෙවිය යුතු බව පෙන්වාදුන් බවත්,එසේ නොමැතිව පර්යේෂණ දීමනාවද එක්ලක්ෂ 15,000 ක වැටුපේම කොටසක් බවට තීරණය කරනු ලබන්නේනම් අදාළ පර්යේෂණ දීමනාව වෙනුවෙන් රජය විසින් පනවා ඇති කොන්දේසි ඉවත් කළ යුතු බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. 

එසේ නොකළහොත් අදාළ වැටුප් වැඩිවීම සිදුවූයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු‍ගේ වැටුප එක්ලක්ෂ 15,000 ක් වන ලෙස බව රජය කියා සිටියද සැබවින්ම වැටුප් වැඩිවීම සිදුවූයේ එක්ලක්ෂ 1,000 න් බව පිළිගන්නට සිදුවන බවද ඔහු ‍පැවසීය. 

ආණ්ඩුව විසින් මෙම කරුණු දෙකෙන් එකක් තෝරාගත යුතු බවත්,එසේ වුවද මේවන තුරු මෙම කාරණයට අදාළව ආණ්ඩුවේ අනුමැතිය ලැබී නොමැති බවත් දේවසිරි මහතා කියා සිටියි. 

එසේ වුවද විශ්ව විද්‍යාල ගැටලු හා උසස් අධ්‍යාපන අර්බුදය පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කළ යුතු බවට කරනු ලැබූ ඉල්ලීමටත්,අංශාධිපතිවරුන් වෙත යවනු ලැබූ අංක 956 දරණ චක්‍රලේඛය අහෝසි කරන ලෙස කරනු ලැබූ ඉල්ලීමටත් ලිඛිත පොරොන්දුවක් ලැබුණු බවත් ඔහු සිහිපත් කළේය. 

ආණ්ඩුවට කල් ලබාදෙන්නේ ඉදිරි අයවැය තෙක් පමණක් බවත්,ඒවන විට දුන් පොරොන්දු ඉටු කරන්නට ආණ්ඩුව විසින් කටයුතු කරනු නොලැබුවහොත් යළිත් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවන බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments: