Wednesday, July 6, 2011

ඇදුරු අරගලය සමග වැළලී යන නිදහස් උසස් අධ්‍යාපනය

Sri Lanka Guardian



විශ්වවිද්‍යාලය සඳහා ලබාදී ඇති නිර්වචනය හෝ අර්ථදැක්වීම අනුව අධ්‍යායන නිදහස සඳහා ඇති සංකල්පය ඉතා වැදගත්ය. මෙම සංකල්පය මත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහ ආචාර්යවරුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමටත් තම දැක්ම තුළින් ඉදිරියට යෑමටත්, විවිධ මතවාදයන් ගොඩනගා සංවාදයක් ඇති කිරීමටත් කිසිඳු පැකිලීමකින් තොරව කළහැකි වියයුතුය. එපමණක් නොව මෙසේ කටයුතු කිරීම මත ඔවුන් බන්ධනාගාර ගතකිරීමකට, රැකියා විරහිතභාවයකට පත්වීමට හෝ මැඩපැවැත්වීමකට ලක්නොවිය යුතුය.


මහාචාර්ය චූලා ගුණසේකර
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

අපගේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය දැන් එකම අවුලකි. සරසවි ඇඳුරන් මහපාරේය. සමහරුන් රට හැර ගොසින්ය. සිසුන් ගෙදරය. ගරු උසස් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රශ්නයට විසඳුමකෙසේ වෙතත් අප විශ්වවිද්‍යාල තුළට අනියම් සිසුන් (සාර්ක් කලාපයේ හෝ වැඩමුළු වලින් පසුව) බඳවාගැනීමට නම් යුහුසුළුව කටයුතු කරමින් සිටී. සත්‍යය වනුයේ මේ සියලු සිසුන්හට විද්‍යාලයක් විනා විශ්ව විද්‍යාලයක් යන්න ඉතිරි වන ලකුණු හීනවී යාමයි.

ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ සියලුම දෙමාපියන් උත්සාහ කරනුයේ ඔවුන්ගේ දරුවන්ට ලබාදිය හැකි හොඳම හා ඉහළම අධ්‍යාපනය ලබාදීමටය. එහෙත් ඉතාමත් කනගාටුදායක කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ තෘතීය අධ්‍යාපනය සඳහා යොමුවීමට ඇති ඉතා සීමිත ඉඩකඩය. පසුගිය වසර 50 තුළ විවිධ රජයන් විවිධ පොරොන්දු දී තිබුනත් ජාතික විශ්වවිදයාල තුළ අධ්‍යාපනය ලබාදීමට දැනටත් පහසුකම් ඇත්තේ එම වයස් කාණ්ඩයේ ළමුන්ගෙන් 3%කටය. සරසවි වරම් නොලබන විවිධ මට්ටමින් උසස් පෙළ විභාගය සමත්වන ඉතිරි 97%ක් පමණ වූ දරුවන්ට, එතැන් සිට උසස් අධ්‍යාපනය සඳහා තම හිසට ඉතිරි වන්නේ තම අත පමනක් වීමය.

සරසවි ආචාර්යවරුන් බිහිවනුයේ ඉහත කී 3% වූ සරසවි වරම් ලබන පිරිසෙනි. මෙම උපාධිධාරීන් රට හැර නොයනුයේ ඔවුන්ට විදේශීයව අවස්ථාවක් නොලැබීම නිසා නොව ඔවුන් සතු රට වෙනුවෙන් වූ ජාතික කැපකිරීම නිසාය. අපහසුකම් හා අඩුලුහුඩුකම් කොපමණ ඇතත් ඔවුන් තම මව්බිමට සේවය කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කර ඇත. එහෙත් මෙය දඩමීමා කරගත් දේශපාලඥයන් හට ඔවුන් "කාලකණ්නි" ලෙස පෙනුනද මේ රටේ දැන් පවතින සුවිශේෂී වෛද්‍යසේවා” ඉංජිනේරු සේවා” කෘෂිකර්ම සේවා” පරිපාලන සේවා” අධ්‍යාපන සේවා” අධිකරණ සේවා” බැංකු සේවා සහ අනෙකුත් විවිධ සේවා වල පැවැත්ම රඳා පවතිනුයේද මෙම උපාධිධාරීන් මතමය. දේශපාලඥයන් විසින් එකී, මෙකී, නොකී හේතු දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය ආයතන වලින් ගන්නා අතිවිශාල ණය මුදල් ආපසු ගෙවීමේ වගකීම පැවරී ඇත්තේ ද මේ "කාලකණ්නි හටමය.

දේශපාලන දර්ශනයක් මත අදූරදර්ශී සහ ආත්මාර්ථකාමී ලෙස ක්‍රියාත්මක වන පාලන ක්‍රියා නිසාවෙන් නිදහස් සරසවි නමැති දැනට අපට ඉතිරිවී ඇති එකම ධනාත්මක දයාදය ද නැතිවී යාමේ තර්ජනයට අප දැන් මුහුණදී ඇත. ඕනෑම රජයකට ජාතික සංවර්ධනය සඳහා කළහැකි ලොකුම ආයෝජනය අධ්‍යාපනය බව නොකිවමනාය. සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්ද රජයේ වියදම් වලින් 10% කට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන්ම ජාතික අධ්‍යපනය සඳහා වෙන්කර ඇත්තේ ඒ නිසාවෙනි. එහෙත් අපගේ කණගාටුවට හේතු වන කරුණ වනුයේ යුද්ධය නිමා වුවද, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා දැනටත් වැයකරනුයේ රාජ්‍ය වියදමෙන් 3% ක් වැනි ඉතා අඩු මට්ටමක පවතින ප්‍රතිපාදන ප්‍රමාණයක් වීමයි.

විශ්වවිද්‍යාලය සඳහා ලබාදී ඇති නිර්වචනය හෝ අර්ථදැක්වීම අනුව අධ්‍යායන නිදහස සඳහා ඇති සංකල්පය ඉතා වැදගත්ය. මෙම සංකල්පය මත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහ ආචාර්යවරුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමටත් තම දැක්ම තුළින් ඉදිරියට යෑමටත්, විවිධ මතවාදයන් ගොඩනගා සංවාදයක් ඇති කිරීමටත් කිසිඳු පැකිලීමකින් තොරව කළහැකි වියයුතුය. එපමණක් නොව මෙසේ කටයුතු කිරීම මත ඔවුන් බන්ධනාගාර ගතකිරීමකට, රැකියා විරහිතභාවයකට පත්වීමට හෝ මැඩපැවැත්වීමකට ලක්නොවිය යුතුය. එසේ වුවහොත් අප ලක ඉතිරි වනුයේ දීවිශ්වවිද්‍යාල නොව "දීවිද්‍යාල" සමූහයකි. එවන් විද්‍යාල සමූහයකින් අප බලාපොරොත්තු වන අධ්‍යාත්මික ආයෝජන නොලැබෙනු ඇත.

මෙම අර්බුදකාරී වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට විදේශීය විශ්වවිද්‍යාල වලට රජය කරඇති ආරාධනය අපගේ ජාතික විශ්වවිද්‍යාල වල පරිහානිය සනාථ කිරීම සඳහාදැයි සාධාරණ සැකයක් මතුවෙයි. තරගකාරී වාතාවරණය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල වල උන්නතිය තහවුරු කළහැක්කේ ගුණාත්මක වැඩසටහන් ලබාදෙමින් හා ඊට සරිලන ලෙස වඩාත් හොඳ කාර්ය මණ්ඩල හා ශිෂ්‍යයන් යොමු කරවමින් පමණක් ය. මෙවැනි ඉහළ තත්ත්වයන් ලඟාකර ගැනීමට නම් යටිතල පහසුකම් වල ගුණාත්මක භාවයත්, මානව සම්පත් රැකගැනීමත්, ඉහළ ශිෂ්‍ය ගුණාත්මකභාවයත් අත්‍යාවශ්‍යය වේ. මේ සඳහා තරගකාරිත්වය ඉතා වැදගත් වන අතර, පහසුකම් පමණක් නොව ඉතා දක්ෂ ආචාර්යවරුන් රඳවා ගැනීමද අනිවාර්යය.

ලංකාවේ ස්ථාපිත කිරීමට යෝජිත විදේශීය විශ්වවිද්‍යාල කිසිවිටකත් තමන්ගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වෙනත් රටවලින් අචාර්යවරුන් ලබා නොගනු ඇත. එය ඉතා මිල අධික කාර්යයකි. මෙවන් අර්බුදකාරී වාතාවරණයක් යටතේ දේශීය ආචාර්යවරුන්ගේ වැටුප සුළුවෙන් වැඩිකර යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම එම ආයෝජකයන්ට ඉතා ලාබදායී බව කිව යුතුය. එමගින් රජයේ විශ්වවිද්‍යාල වල සේවය කරන මහාචාර්ය, ආචාර්ය වරුන්ගේ සේවය නිදහස් අධ්‍යාපනයට අහිමි වනු ඇත. ආර්ථික හෝ වෙනත් ගැටලු මත ආචාර්යවරු පෞද්ගලික විශ්වවිද්‍යාල වලට මෙසේ යොමුවීම බුද්ධිගලනයකට සමාන වනු ඇත. මෙවන් තත්ත්වයක් මත අප රටෙහි ස්ථාපිත විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාල, අප ආචාර්යවරුන් ලවා, අප දරුවන්ට ම ඉගැන්වීම සිදුකර ප්‍රතිලාභ පමණක් ඔවුන්ගේ මවුරට වලට යවනු ඇත. මෙවිට එමගින් ඇත්තටම අලාභ වනුයේ අප රටටමය.

ඉහත කී පරිවර්තනය සිදුවුවහොත් රජයේ විශ්වවිද්‍යාල වලට ගුණාත්මක ගුරුවරුන් නොමැති වන අතර, වඩාත් හොඳ පසුබිමක් සහිත ශිෂ්‍යයන්ද පුද්ගලික විශ්වවිද්‍යාලයන් වෙත නැඹුරුවීමෙන් රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුළුවන අතිදක්ෂ ශිෂ්‍ය ප්‍රවාහයද අඩුවී යනු ඇත. මෙකී තත්ත්වය මත සිදුවනුයේ විදේශීය විශ්වවිද්‍යාල වලට ආදායම් මාර්ග තවතවත් පෑදෙනවා පමණක් නොව අපගේ ශිෂ්‍යයන්ට ඉතා අධික මුදල් ගෙවා ඉහළ ප්‍රමිතියක උසස් අධ්‍යාපනය ලැබීමට සිදුවීමයි. අවසානයේදී සියලුම ලාභ ප්‍රයෝජන විදේශීය විශ්වවිද්‍යාල ලබාගන්නවා පමණක් නොව විදේශීය මුදල් හුවමාරුවීම් වලින්ද ඈත්වී පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට බරපතල ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වනු ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ කන්නන්ගර මැතිඳුන් හඳුනවා දුන් දීසැමට සාධාරණ වූ නිදහස් අධ්‍යාපනයක් යන සංකල්පය ආපසු හරවා ප්‍රභූන්ට පමණක්වූ උසස් අධ්‍යාපනයක්දී - යන සංකල්පය වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වීමය’