Thursday, July 7, 2011

SPECIAL: ගුණාත්මක බවින් තවත් පහලට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල

Sri Lanka Guardian



සුපුන් පෙරේරා

වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් තවත් පහලට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්වය ,විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පරියේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රමක් ක්‍රමයෙන් පහතටම වැටී තිබේ.

2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විස්ටර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය 2011 ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානයි.

අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි ( උපුටා ගැනීම http://www.webometrics.info/top100_continent.asp?cont=s_asia ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ( Open University of Sri Lanka ) ඉතාමත් පහල 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහලින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහලට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන්නේ මේ සඳහා එක ප්‍රධාන හේතුවක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේදී සුදුසුකම් නොව ඥාති සබඳතා , මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ වියාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මකභාවය සීග්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්ව විද්‍යාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි.