Saturday, July 9, 2011

පිටරටට දත නියවමින් සිය රටේ සිසුන් පළවා හැරීම

රාවය 10/07/2011

රසාද් නිරෝෂ බණ්ඩාර [Sunday, July 10, 2011]


දෙදහස් එකොළහ වසර සඳහා විශ්වවිද්‍යාවලට සිසුන් බඳවා ගැනීමේදී විදේශ ශිෂ්‍යයින් දහසකට ඉඩ සලසන බවත් එය මේ වන තෙක් පැවති 0.5% වූ විදේශ ශිෂ්‍යයින් බඳවා ගැනීමේ කෝටාව 5% දක්වා දස ගුණයකින් ඉහළ දැමීමක් බවත් පුවත්පත් වාර්තා කළේ පසුගිය ජූනි 29 වන දාය. එපමණින් නොනැවතුණු පුවත්පත්වල උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා උපුටා දක්වමින් පසුවෙනිදාම වාර්තා කිරීමට සිදුවූයේ අදාළ බඳවා ගැනීම්වලට අමතරව තවත් විදෙස් ශිෂ්‍යත්ව සියයක්ද ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය පිළිවෙතින් පෙළගැසී සිටින බව යි. 

මූලික උපාධි දහස අතර වෛද්‍ය විද්‍යාව සඳහා ශිෂ්‍යයින් 60ක්ද දන්ත වෛද්‍ය විද්‍යාව සඳහා ශිෂ්‍යයින් 5ක් ද, ඉංජිනේරු විද්‍යාව සඳහා ශිෂ්‍යයින් 58ක්ද, කළමනාකරණය සඳහා සිසුන් 172ක්ද, නීති විෂය සඳහා ශිෂ්‍යයින් 17ක්ද, ආදී වශයෙන් බෙදී යෑමට නියමිත බැව් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වාර්තා වී තිබිණ. එකී වාර්තාවන්ට අනුව වෛද්‍ය විද්‍යාව හා දන්ත වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා එක් විදෙස් ශිෂ්‍යයකුගෙන් අයකිරීමට නියමිත මුදල රුපියල් ලක‍ෂ 65 කි. ඉංජිනේරු විද්‍යාව සඳහා ලක‍ෂ 35 ක් ද පරිපූරක වෛද්‍ය උපාධිය සඳහා ලක‍ෂ 24ක්ද කළමනාකරණ උපාධිය සඳහා ලක‍ෂ 20ක්ද අය කිරීමට නියමිතව ඇත. 

බලධාරීන් පෙන්වා දෙන පරිදි සාර්ක් රටවලින් පැමිණෙන සිසුන් සඳහා අය කෙරෙන මුදල අදාළ ගාස්තුවෙන් හරි අඩකි. ඒ ප්‍රදේශයේ හිතවත්කම් තහවුරු කිරීම සඳහාය. එපමණක් නොව මෙරට විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගැනීමට ශිෂ්‍යත්ව සීයක් ලබා දීමේ වැඩපිළිවෙළ තුළ අපේ රටේ ශිෂ්‍යයින් සඳහා ශිෂ්‍යත්ව ලබා දෙන රටවල ශිෂ්‍යයින්ට ප්‍රමුඛතාව හිමිවෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 

මේ උසස් අධ්‍යාපන බලධාරීන්ගේ මොළවලට හිටිහැටියේ කඩා වැටුණු හොඳ තීරණයක් බව නම් බැලූ බැල්මට පෙනේ. නමුත් ප්‍රශ්න මතුවන්නේ මේ බඳවාගැනීමේ සැබෑ අරමුණ කුමක්ද? මොවුන් බඳවා ගන්නේ කවර සුදුසුකම් යටතේද සහ මොවුන් අනුයුක්ත කරන්නේ කවර ස්ථානවලටද යන්න සිතා බැලීමේදීය. 

අදාළ තීන්දුව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ විදේශ ශිෂ්‍යයින් බඳවාගැනීම මගින් මෙරට විශ්වවිද්‍යාල ජනප්‍රිය වන බවත් එයින් ලැබෙන ආදායම සුළුපටු නොවන බවත් සහ මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගුණාත්මක වන බවත්ය. රටක විශ්වවිද්‍යාලයක විදේශ සිසුන් රාශියක් සිටීම එක් අතකින් ඒ රටේ අධ්‍යාපනයට සහ ආර්ථීකයට සම්පතක් වනවාට කිසිම සැකයක් නැත. එසේ නමුත් රටක අධ්‍යාපනය දියුණු කිරීමේ මූලික පියවර විදේශීය ශිෂ්‍යයින් ගෙන්වීම නොව නව දැනුමින් සන්නද්ධ විදේශ ආචාර්යවරුන් මෙරටට ගෙන්වීමයි. මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික අරමුණ මෙරට අධ්‍යාපනය දියුණු කිරීම නම් ඔවුන් කළ යුතු වන්නේ එයයි. 

විදෙස් ශිෂ්‍යත්ව ලබාගෙන පිටරට ගිය මෙරට ආචාර්යවරුන් 800ක් පමණ නැවත ලංකාවට පැමිණ නැතැයි මැසිවිලි නැගීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුව ඇත්තේ අන්කවරක්වත් නිසා නොව මෙරට සිටින දක‍ෂ ආචාර්යවරුන් සම්බන්ධයෙන් පවා ඔවුන් දක්වන සැලකිල්ලෙහි තරම හේතුවෙනි. එවන් තත්ත්වයක් තුළ එක්තරා අතකට රටේ උසස් අධ්‍යාපනය දියුණු කිරීමට කතාකිරීම පවා විකාර සහගත වන්නේය. 

මෙතනදී මතුකළ යුතු වැදගත් කරුණක් ඇත. එනම් මේ බඳවාගැනීමට නියමිත විදේශ ශිෂ්‍යයින්ගෙන් උසස් අධ්‍යාපන බලධාරීන් අපේක‍ෂා කරන මූලික සුදුසුකම් මොනවාද යන්න යි. මේ පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවලට ඇතුළත්වන සිසුන් ජීව විද්‍යාව, රසායනවිද්‍යාව හා භෞතික විද්‍යාව හැදෑරිය යුතු බවත් එසේ නමුත් ඒ විෂයයන් හැදෑරූ ශිෂ්‍යයින් සඳහා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට පුළුවන්කම තිබෙන හෙයින් ලංකාවේ විශ්වවිද්‍යාලවලට විදේශ ශිෂ්‍යයින් බඳවා ගැනීමේදී ඔවුන්ට අවශ්‍ය සුදුසුකම් මොනවාදැයි සලකා බැලිය යුතු බවයි. එසේ නම් තත්ත්වය ඉතාම පැහැදිලිය. සභාපතිවරයා මේ කියන්නේ වෙනත් විශ්වවිද්‍යාලයකට යෑමට සුදුසුකම් නොසැපිරූ අවම ලකුණු ලැබූවන් මේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා බවයි. ඒ අනුව අදාළ වැඩ පිළිවෙළ තුළ විදෙස් ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන සුදුසුකම් සඳහා දෙනු ලබන්නේ ඉතාමත් අවම ලන්සුවකි. වන්නාටය. රට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් කිරීමටත් ආසියාවේ ඓශ්චර්යය කිරීමටත් නොඑසේනම් බැරිය. 

විදේශ ශිෂ්‍යයින් කඩිමුඩියේ මෙරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේ වැඩ පිළිවෙළ ගැටලු රාශියක් මතු කළද ඉන් ප්‍රමුඛතම ඛේදවාචකය ඉස්මතුව පෙනෙන්නේ මේ පිරිස බඳවා ගන්නේ කවර ශිෂ්‍ය ඇබෑර්තු සඳහාද යන්න විමසා බැලීමේදි ය. මන්ද යත් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තම සියලු භෞතික හා මානව සම්පත්වල ධාරිතාවන්ට දරාගතහැකි උපරිම ශිෂ්‍යයින් ප්‍රමාණයක් මේ වනවිටත් දරාගෙන අවසාන වී ඇති හෙයිනි. එවන් තත්ත්වයක් තුළ කිසියම් උපාධියක් සඳහා අලුතින් ශිෂ්‍යයෙකු බඳවාගන්නේ නම් එක්කෝ පවතින විශ්වවිද්‍යාලයන්හි භෞතික හා මානව සම්පත්වල ධාරිතාව වර්ධනය කිරීම හෝ නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම හෝ කළ යුතු වන්නේය. විශ්වවිද්‍යාල තුළ විදේශ බඳවාගැනීම් අංශ අද හෙටම පිහිටුවමින් සිසුන් බඳවා ගැනීමට වහා කටයුතු කරමියි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වහසිබස් දොඩන්නේ මේ කියන මූලික කොන්දේසි එකක්වත් සපුරාලූ තත්ත්වයක සිට නොවීම ඛේදයට කරුණකි. 

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරන ආකාරයට විශ්වවිද්‍යාලවල මානව හා භෞතික සම්පත් වැඩිදියුණු කිරීම කළ නොහේ. මන්ද යත් ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැති බැවිනි. 

එසේනම් මේ තත්ත්වය හමුවේ අභියෝගයට ලක්වන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන අතිශය බහුතරයක් වූ මෙරට දරුවන්ය. මන්ද පූර්ව කොන්දේසි ඉටු නොකර විදේශ ශිෂ්‍යයින් බඳවා ගැනීමට කඩිමුඩියේ ගන්නා වෑයම තුළ එම විදෙස් සිසුන් අනුයුක්ත කරන්නට සිදුවන්නේ මෙරට සිසුන් සඳහා ඇති ප්‍රතිපාදනයන් මත වීම හේතුවෙනි. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පසුගිය වසරෙහි හා මේ වසරෙහි නිකුත් කර ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් බඳවා ගැනීමේ පටිපාටි විමසා බලන කල යට කී තර්කය ඕනෑවටත් වඩා තහවුරු වේ. එම වාර්තාවන්ට අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා මේ වසරේ අනුයුක්ත කර ගැනීමට සිටින ශිෂ්‍යයින්ගේ සංඛ්‍යාව 21495 කි. ඒ සඳහා පසුගිය වසර තුළ බඳවාගන්නා ලද ශිෂ්‍ය සංඛ්‍යාව වන්නේ 21574 කි. ඒ අනුව පසුගිය වසරෙහි බඳවාගත් ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා මේ වසරේ බඳවාගැනීමට නියමිත ශිෂ්‍ය සංඛ්‍යාව බැලූ බැල්මට වුවත් අඩු වී ඇත. ඛේදයට කරුණ වන්නේ අඩුවී ඇත්තේ පසුගිය වසරට වඩා නව විෂයන් රාශියක් විශ්වවිද්‍යාලවලට හඳුන්වා දී තිබියදී වීමය. විදේශ ශිෂ්‍යයින් බඳවා නොගත්තත් පසුගිය වසරට සාපේක‍ෂව මෙරට ශිෂ්‍යයින් සඳහා පවා මේ වසර තුළ විශ්වවිද්‍යාලවල ප්‍රවේශ වරම් ලැබෙනුයේ අඩු වශයෙන් බව පෙනේ. එසේ තිබියදී විදේශ ශිෂ්‍යයින් එක්දහස් එකසියයක් පමණ මෙරට විශ්වවිද්‍යාලවලට අනුයුක්ත කිරීමේදී මෙරට ශිෂ්‍යයින් සඳහා අත්වන ඛේදනීය ඉරණම ඉතා පැහැදිලි ය. 

විදේශ ශිෂ්‍යයින් අනුයුක්ත කිරීමේදී මොවුන් බොහෝවිට රටේ ජනප්‍රියම සහ පහසුකම්වලින් සපිරි විශ්වවිද්‍යාල තම උපාධිය සඳහා තෝරාගැනීම වැළැක්විය නොහැක. කොළඹ, පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාල සඳහා විදෙස් සිසුන් වැඩි වශයෙන් පැමිණිය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවා පිළිගනී. ඊට අමතරව ඇතැම් විෂයන් සඳහා විශේෂ කීර්තියක් උසුළන සෙසු විශ්වවිද්‍යාලවල අදාළ පීඨයන් සඳහාද සිසුන් වැඩි දුරටත් අනුයුක්ත වනු ඇතැයි අපේක‍ෂා කළ හැක. 

විදේශ ශිෂ්‍යයින් අනුයුක්තවීමේ මූලික සම්භාවිතාව ඇති විශ්වවිද්‍යාල කිහිපයක ගියවර බඳවාගත් සහ මෙවර බඳවාගැනීමට නියමිත ශිෂ්‍යයින් සංඛ්‍යාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්තා අනුව මෙසේ පෙන්වා දිය හැක. 

2009 වසරේදී වෛද්‍ය උපාධිය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවාගත් සිසුන් සංඛ්‍යාව 190 ක් වන අතර නවීනතම වාර්තා පෙන්වා දෙන පරිදි ඒ සඳහා මෙවර බඳවාගැනීමට නියමිත සංඛ්‍යාව 190 ක් වේ. ඒ අනුව මේ වසර තුළ අදාළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගැනීමට නියමිත ධාරිතාව පුළුල් වී නැත. පසුගිය වසර සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කළ සිසුන් සංඛ්‍යාව 195 වන අතර මෙවරද එය නොවෙනස්ව පවතී. වෛද්‍ය විද්‍යාව සඳහා කීර්තියක් උසුලන රුහුණු සරසවිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයන් සඳහා ගියවර බඳවාගත් සංඛ්‍යාව සහ මෙවර බඳවාගැනීමට නියමිත සංඛ්‍යාව පිළිවෙළින් 170,150 සහ 160 ලෙස නොවෙනස්ව පවතී. තත්ත්වය මෙසේ තිබියදී වෛද්‍ය උපාධිය සඳහා බඳවාගැනීමට විදෙස් ශිෂ්‍යයින්ගේ සංඛ්‍යාව 60 ක් වන අතර ඊට අමතරව ශිෂ්‍යයින්ට ශිෂ්‍යත්ව 100ක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මෙරට වෛද්‍ය පීඨ සඳහා අනුයුක්ත වන සංඛ්‍යාව තවත් කිහිපයකින් වැඩි වීමට නියමිතව ඇත. මේ අනුව අපොස උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයේ ඉහළම ලකූණු ලබා ඉහළින්ම සමත්වූ මෙරට විශාල සිසුන් සංක්‍යාවකට වෛද්‍ය පීඨ සඳහා ප්‍රවේශ වීම අහිමි වීමට නියමිතය. 

දන්ත වෛද්‍ය විද්‍යාව සඳහා විශ්වවිද්‍යාලයට එකී උපාධිය පිළිබඳ ලංකාවේ එකම පීඨය හිමි පේරාදෙණිය පසුගිය වසරේ බඳවාගත් ශිෂ්‍යයින්ගේ සංඛ්‍යාව 81 ක් වන අතර මෙවර බඳවාගැනීමට නියමිත සංඛ්‍යාව 80 දක්වා අඩුවී ඇත. ඒ සඳහා බඳවා ගැනීමට නියමිත ශිෂ්‍යයින්ගේ සංඛ්‍යාව පහක් වන අතර (ශිෂ්‍යත්ව වලින් හැර) ඒ හේතුවෙන් පසුගිය වසරට වඩා මෙරට ශිෂ්‍යයන් හය දෙනෙකුට දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ අධ්‍යාපනය අහිමි වේ. 

ඉංජිනේරු විද්‍යාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පසුගිය වසර සඳහා බඳවාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 413ක් වූ අතර එය මෙවර 415 ක් වේ. ඒ විෂය හැදෑරීමට පසුගිය වසරේ මොරටුව විශ්වවිද්‍යාලයට බඳවාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 795 ක් වූ අතර එය මෙවර 750 දක්වා 45 කින් අඩුවී ඇත. එසේ තිබියදී අදාළ උපාධිය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බඳවාගැනීමට නියමිත විදේශ ශිෂ්‍යයින්ගේ සංඛ්‍යාව 58 ක් වේ. ඊට අමතරව නොමිලේ ලබාදෙන ශිෂ්‍යත්ව සියය වැඩසටහන අනුව කිහිප දෙනෙක් මේ විෂය සඳහා එකතු වීමට නියමිතව ඇත. 

කළමනාකරණ උපාධිය සඳහා පසුගිය වසරෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට බඳවාගත් සිසුන් සංඛ්‍යාව 897ක්ද මෙවර ඒ සඳහා බඳවාගැනීමට නියමිත ශිෂ්‍ය සංඛ්‍යාව 885 ක් ද බැව් විශ්වවිද්‍යාල කොමිෂන් සභා වාර්තා පෙන්වා දෙයි. එම උපාධිය හැදෑරීමට ගියවර කොළඹ විශ්වවිද්‍යාලයට 426ක්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 182 ක් ද කැලණිය විශ්වවිද්‍යාලයට 314 ක්ද බඳවාගත් අතර ඒ සඳහා මෙවර බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව පිළිවෙළින් 420,150 සහ 335ක් දක්වා අඩුවී ඇත. තත්ත්වය මෙසේ තිබියදී කළමනාකරණ උපාධිය සඳහා මෙරට විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට උසස් අධ්‍යාපන බලධාරීන් සැලසුම් කර ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 172 ක් පමණ විශාල එකකි. මීට අමතරව යට කීවා සේ නොමිලේ ලබාදීමට නියමිත ශිෂ්‍යත්ව අතුරින් කළමනාකරණ පීඨයට ද ශිෂ්‍යත්ව කිහිපයක් එකතුවීමට නියමිත බැව් සිතිය හැකිය. 

එසේ නම් තත්ත්වය ඉතා පැහැදිලිය. පසුගිය වසරට සාපේක‍ෂව මෙරට විශ්වවිද්‍යාලවල පවත්නා සිසුන් ගැනීමේ ඉඩ පහසුකම් මේ වසරේදී මඳකින්වත් පුළුල් වී නොමැත. මේ තත්ත්වය මත විදේශ ශිෂ්‍යයින් බඳවාගන්නේ නම් මේ බඳවාගැනීම සිදුකිරීමට සිදුවන්නේ දේශීය ශිෂ්‍යයින් රාශියක් ඉවත් කරමින් හැර අන් ක්‍රමයකින් නොවේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අප කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කරන්නේ දේශීය ශිෂ්‍යයින් සඳහා තිබෙන පුරප්පාඩුවලින් එකක්වත් අඩු නොකර විදේශ ශිෂ්‍යයින් කෙසේ හෝ බඳවාගැනීමට විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කරන බවයි. කෙසේ හෝ බඳවා ගන්නා බව කීවද කෙසේ හෝ එසේ බඳවාගන්නා ක්‍රමවේදය කුමක්දැයි අසන විට ඔවුන් නිරුත්තරය. 

සිසුන් රාශියකට විශ්වවිද්‍යාලවල වරම අහිමිවීමට අමතරව මේ ප්‍රශ්නයේම තවත් පැතිකඩක් ලෙස ඉස්මතුව පවත්නා තවත් ප්‍රධාන ප්‍රශ්නයක්ද වේ. එනම් තම විෂය සඳහා ඉතා ඉහළ ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යයන් සඳහා තම සුදුසුකම්වලට අනුකූල පරිදි මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල ප්‍රවේශවීමේ වරප්‍රසාදය අහිමි වීමයි. මක්නිසාද යත් පෙර කීවා සේ මෙරට අධ්‍යාපනය සඳහා විදේශ සිසුන් ඇතුළත් වන්නේ මෙරට පවතින ප්‍රධාන විශ්වවිද්‍යාලවලට වීම නිසාය. තමන්ගේ දරුවන් ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය දිස්ත්‍රික් කුසලතාව (පසුගිය වසරට සාපේක‍ෂව) සපුරා ඇති බවත්, එසේ නමුත් ඔහුට හෝ ඇයට හිමිව ඇත්තේ ඔවුන් අපේක‍ෂා කළ විශ්වවිද්‍යාලය වෙනුවට අවශේෂ විශ්වවිද්‍යාලයක් බවත් මේ වන විට රාවය පුවත්පත අමතා ප්‍රකාශ කර ඇති දෙමව්පිය සංඛ්‍යාව සැලකිය යුතු තරම්ය. 

රටේ සාමාන්‍ය වශයෙන් උසස් පෙළ විභාගය සමත් වන ශිෂ්‍ය සංඛ්‍යාව එක්ලක‍ෂ විසිපන්දහස ඉක්මවයි. ඒ සියලුදෙනාම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය සුදුසුකම් සැපිරූවෝ වෙති. එසේ නමුත් මොවුන් සියලු දෙනා විශ්වවිද්‍යාල වරම් නොලබන්නේ එතරම් විශාල පිරිසක් බඳවාගැනීමට අවශ්‍ය ධාරිතාවන් මෙරට විශ්වවිද්‍යාල තුළ නොමැතිවීම නිසා මිස ඔවුන්ගේ අඩුපාඩුවත් නිසා නොවේ. සෑම වසරකම මෙරට විශ්වවිද්‍යාලවලට ප්‍රවේශවීමේ වරප්‍රසාදය ලබනුයේ ලක‍ෂ ගණනක් වන මේ පිරිස අතරින් විසි දෙදහසකට ආසන්න සුළුතරයක් පමණි. රටක් වශයෙන් ඉදිරියට යෑමේදී මූලික වශයෙන් කළ යුතු කාර්යය වන්නේ විශ්වවිද්‍යාලවල දුර්වලතාව නිසා ඉතා අසාධාරණ ලෙස අතරමග හලා දමන දක‍ෂයින් පිරිස විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමද නොඑසේනම් (බොහෝවිට ඔවුන් තරමට සුදුසුකම් නොසැපිරූ) වෙනත් පිරිසක් විදේශවලින් ගෙන්වා අනුයුක්ත කිරීමද යන්න දෙවරක් සිතා බැලිය යුතු වේ. 

විශ්වවිද්‍යාල සඳහා විදේශ ශිෂ්‍යයින් ගෙන්වාගැනීම සම්පූර්ණයෙන් නරක සංකල්පයෙකැයි අපි කිසි විටක නොකියමු. විශ්වවිද්‍යාල සඳහා විදේශ සිසුන් බඳවා ගැනීම ඉතා වැදගත් කාරණාවකි. විශ්වවිද්‍යාල සඳහා විදේශ ආචාර්යවරුන් බඳවාගන්නේ නම් ඊටත් වඩා වැදගත් කරුණක් වනවාට තර්කයක් නැත. නමුත් මේ කටයුතු කළ යුත්තේ හිතුණු හිතුණු පලියට හිටි අඩියේ නොව පුළුල්ව සිතා බලා කරන ලද සැලසුම් රාමුවක් අනුවය. මන්ද යත් නොඑසේ නම් එයින් පීඩා විඳීමට සිදුවන්නේ තමන් යමක් කළා යැයි පෙන්වීමට උත්සාහ දරන කුමක් හෝ කිරීමට වෑයම් කරන ඊනියා සංස්කරණවාදීන්ට නොව සුවහසක් වූ මෙරට දක‍ෂ දරු දැරියන්ට සහ අහිංසක දෙමව්පියන්ට වන හෙයිනි. 

මෙහෙම නැතිව රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරන්න බෑ
ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්

විශ්වවිද්‍යාලය කියන නම තිබුණ පලියට ඒක විශ්වවිද්‍යාලයක් වෙන්නේ නෑනෙ. විශ්වවිද්‍යාලයක් හොඳ වෙන්න නම් ඒකෙ ඉන්න ආචාර්යවරු අලුත් පර්යේෂණ කරන්න ඕනෙ. ඒ විතරක් නෙමෙයි ඒ විශ්වවිද්‍යාලයෙන් පිටවෙන උපාධිධාරීන්ට ලෝකයේ ඕනෑම රටක රැකියාවක් කරන්න පුළුවන් වෙන්නත් ඕනෙ. 

විදේශ ශිෂ්‍යයින් ගන්න අපි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරල තිබුණත් ඒ අය එයිද නැද්ද කියා කව්ද දන්නේ. කොහොම වුණත් පිටරටින් එන අය පේරාදෙණිය, කොළඹ වැනි පහසුකම් වැඩිපුර තියෙන විශ්වවිද්‍යාල වලට එන්න උනන්දු වෙයි. මේ වැඩපිළිවෙළේදී මේ රටේ ශිෂ්‍යයින්ට හානි වෙන්නෙ නෑ. ඒ අය එක්කෙනෙක්වත් අඩු නොකර විදේශ ශිෂ්‍යයින් ඇතුල්කරගන්න අපි විශ්වවිද්‍යාලත් එක්ක කතා කරනවා. මොකද මෙහෙම නොකර රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරන්න බෑ. 

ලෝකයේම ලංකාව විතරයි මේ විදියට නිකම් අධ්‍යාපනය දෙන රටකට තියෙන්නේ . අනිත් හැම රටක්ම ඒ සඳහා ශිෂ්‍යයින්ගෙන් සල්ලි ගන්නවා. ඒ හින්දා තමයි මේ අයට පුළුවන් වෙලා තියෙන්නේ තම විශ්වවිද්‍යාලවල උගන්වන ආචාර්යවරුන්ට අපිට වඩා ලොකු පඩියක් ගෙවන්න. මේ විදියට විදේශ ශිෂ්‍යයින් බඳවාගන්නා එක තවත් පැත්තකින් ඔවුන්ට හොඳ ගෙවීමක් කරන්නටත් විශ්වවිද්‍යාල දියුණු කරන්නටත් ලොකු සහනයක් වෙයි.