නෙරංජි කොහොන [Sunday, July 3, 2011]
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹී මසක් ඉක්ම යන මේ මොහොත වන විටත් මෙරට පාලකයන් එම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසා මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වී ඇත. එවැනි පසුබිමක් තුළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුහු අනෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සාපේක්ෂව ඉතා විශාල ශිෂ්‍ය මර්දනයකට මුහුණ පා සිටිති. විශේෂයෙන්ම පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නිර්මාණය වූ මෙම අර්බුදය පිළිබඳව මාධ්‍ය හරහා රටම දැන්ගත්තේය.
විවිධ චෝදනා එල්ල කරමින් සිසුන් හා භික්ෂූන් වහන්සේලා සියයකට ආසන්න පිරිසකගේ පන්ති පසුගිය කාල පරාසය තුළ තහනම් විය. 2010 වසරේ දෙසැම්බර් නව වන දින සිසුන් තිදෙනෙකුගේ හැර අන් සියලුදෙනාගේම පන්ති තහනම ඉවත් කිරීමට පාලක සභාව තීරණය කළේය. එහෙත් 2010 වසරේ පෙබරවාරි දහ තුන්වන දින විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් සමග සිදුවූ ගැටුමක් හේතුවෙන් නැවත සිසුන් පහළොස් දෙනෙකුගේ පන්ති තහනම් කෙරිණි. මෙලෙස සිසුන් සැලකිය යුතු පමණක පන්ති තහනම් කර තිබුණද ඒ බොහෝ සිසුනට එරෙහිව තවමත් කිසිදු පරීක්ෂණයක් සිදුකර නැත. මෙම සිසුහු තර්ජනයට හා මර්දනයට ලක්වෙමින් සිටින අතර සිදුවන අභූත ක්‍රියාකලාප හේතුවෙන් නිරන්තර ප්‍රශ්නකිරීම්වලට භාජනයවෙමින් සිටිති. එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයද තද බල ලෙස බිඳ වැටී ඇත.
එසේම 2011 වසරේ ජුනි අටවන දින මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ප්‍රථම වසර සිසුවියන් විසි තුනක් ඇතුළු සිසුන් තිස් දෙදෙනෙකුගේ පමණ පන්ති තහනම් ව ඇත. එම පන්ති තහනමට හේතුවක් ලෙස දක්වා ඇත්තේ ඉන් සතියකට ඉහත, එනම් ජූනි මස පළවනදා පස්වරු පහත් හයත් අතර කාලයේ විශ්වවිද්‍යාල ක්‍රීඩා මණ්ඩපය හා ක්‍රීඩා පිටිය තුළ නීති විරෝධී රැස්වීමක් සංවිධානය කිරීම හරහා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරමින්, ඒ තුළ තමන් ද යෙදෙමින්, අහිංසක සිසුන් ඒ සඳහා බලෙන් යොදා ගනිමින් විශ්වවිද්‍යාල සිසුන් ඝාතනය වන ආකාරයේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කොට මළ සිසුවකුගේ හෝ සිසුන් කිහිපදෙනෙකුගේ මෘතදේහ රට පුරා ගෙන ගොස් රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇති කිරීමට කුමණ්ත්‍රණය කිරීම යන චෝදනාවයි.
ප්‍රථම වසර කණ්ඩායම් රැස්වීමක් සංවිධානය තුළින් ආචාර්ය අයිතීන් සුරකිමින්, ඉගෙනීමේ අයිතිය තහවුරු කරන ලෙස පාලකයන්ට බල කරන උද්ඝෝෂණය ගැන දැනුවත් කිරීමක් මිස ඉහත කිසිම ආකාරයක සිද්ධියක් මෙම රැස්වීම තුළ නොතිබුණු බව සිසුහු සඳහන් කරති. විශ්වවිද්‍යාල තුළ රැස්වීම් පැවතීම සාමාන්‍ය සිද්ධියකි. උද්ඝෝෂණ පැවැත්වීම වුවද ජාත්‍යන්තරයේ සිට බැලුවද සාමාන්‍ය තත්ත්වයකි. තම විශ්වවිද්‍යාලය තුළ එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියවත් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුහු චෝදනා නගති.
2010 වසරේ මාර්තු විසිහය වනදා ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති මාවනානේ ඛේමින්ද හිමියන් වේදිකාවෙන් මහපොළවට කෙටි නාට්‍ය උළෙල මහා ශිෂ්‍ය සංගමය නමින් සංවිධානය කිරීමේ චෝදනාව මත පන්ති තහනමට ලක්විය. ඉන් දින හතරකට පසුව එම පන්ති තහනම සම්බන්ධව උපකුලපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට ගිය භික්ෂූන් වහන්සේලා අතරින් භික්ෂු සංගමයේ සභාපති හිමියන්ගේ පන්ති තහනම එදින සවස නිකුත් වන්නේ උපාධිධාරී ශිෂ්‍ය හිමි නමකට නුසුදුසු ආකාරයෙන් කටයුතු කිරීම යන චෝදනාව මතය. මහා ශිෂ්‍ය සංගමය නමින් පෝස්ටර් ඇලවීමේ වරදට තවත් සිසුන් සිව් දෙනෙකුගේ පන්ති මැයි මස දහඅට වනදා තහනම් විය. අත් පත්‍රිකා බෙදාහැරීමකදී නීත්‍යනුකූල නොවන ශිෂ්‍ය සංගමයක් මගින් ආචාර්යවරුන් නොමග යවන බවට පවසා තවත් සිසුන් හත් දෙනෙකුගේ පන්ති එදිනම තහනම් විය.
ඉන් මසකට පමණ පසු අත්තනෝමතිකව සිදුවන පන්ති තහනම පිළිබඳව විරුද්ධත්වය පළ කරමින් පැවති සත්‍යග්‍රහයන්ට සිසුන් තුන්දහසක් පමණ සහභාගි වී ඇති නමුත් ඉන් විසි නවයකගේ පන්ති තහනම් වී ඇත්තේ රාජ්‍ය විරෝධී ප්‍රකාශ සිදුකරමින් ආයතන ප්‍රධානියාට බලපෑම් කිරීමේ චෝදනා මතය.
එම වසරේ ජූලි මස පස්වෙනි දින උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පැමිණ සියලු පන්ති තහනම් කිරීම් ඉවත් කර, සිසුන් වෙනුවෙන් පනවා තිබූ සියලු නඩු එක්වර ඉවත් කර ඇත. නිවැරදිව නොහැසිරුණහොත් යළිත් එම පන්ති තහනම බලගැන්වීමට තමාට හැකියාවක් ඇති බව ද එහිදී ඔහු අදහස් දැක්වීය.
සිසුන් තිදෙනෙකුගේ පන්ති තහනමකින් යළිත් මෙම ක්‍රියාවලිය එම මස දහසය වනදා ඇරඹි‚. ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කෙනකුගේ පියාගේ අභාවය පිළිබඳව දැන්වීමක් ඇලවීම සම්බන්ධවය. එස් බී දිසානායක මහතා ඉවත් කළ තහනම යළි උපකුලපතිවරයා විසින් බලගන්වන්නේ නවක සිසුන් පිළිගැනීමට ඉදි කළ තොරණක් ගිනි තැබූ සිද්ධියක් මතය. මේ අතර ශිෂ්‍යාවන් පස්දෙනෙකු සඳහන් අතර, ඔවුන් ඒ මොහොත වන විට නේවාසිකාගාරය තුළ සිට ඇති බව චෝදනා ලැබුවෝ පවසති. එමෙන්ම තොරණ ඉදිකර තිබූ ස්ථානය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුවට ආසන්න හෙයින් පැය විසිහතර පුරාම එම ස්ථානය අසළ ආරක්ෂක නිලධාරීහු සිටිති. එය සිදුවන අවස්ථාවේ එම නිලධාරීන් මැදිහත් නොවීම සැකසහිත වන අතර පනස් දෙදෙනාගෙන් දහඅට දෙනකුගේ පන්ති තහනම හදිසියේ එදින හවස යළි ඉවත් කොට ඇත. එහිදී පවසා ඇත්තේ එය අත්වැරැද්දකින් සිදු වූ බවයි.
2010 වසරේ ඔක්තෝබර් විසිහය වෙනිදා භික්ෂූන් වහන්සේ දෙනමකට භික්ෂු නේවාසිකාගාරය තුළදී උපකුලපතිවරයා පහර දී ඇති අතර එම භික්ෂූන් වහන්සේලා දහඅට නමක්ගේ පන්ති තහනම් කර තිබේ. 2010 දෙසැම්බර් දෙවෙනිදා නැවත උද්ඝෝෂණයක් හේතුවෙන් සිසුන් හතළිස් හතර දෙනෙකුගේ පන්ති තහනම් වූ අතර, ඒ අතර ඉන් මාස දෙකකට පමණ පෙර අපවත් වූ හිමිනමකගේ ද නම සඳහන් වී තිබීම පුදුමයට කරුණකි.
2011 වසරේ මෙවන් තත්ත්වයක් දරුණු ලෙසින් ඇතිවීම පටන් ගන්නේ හක්මන පදිංචි නුවන් ජනක සිසුවාගෙනි. ඒ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ නිලධාරීන් ලවා එම සිසුවාගේ නිවසට ගොස් ශිෂ්‍යභාවය අහෝසි කරන බවට තර්ජනය කොට එම සිසුවා ලවාම වැඩිහිටි සිසුන් තමාට නවකවදය දුන් බවට හක්මන පොලීසියේ පැමි‚ල්ලක් කරවීම සහ එම සිසුවා බලහත්කාරයෙන් මාතර රෝහලට ඇතුළු කර සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කිරීමේ ක්‍රියාවලියකින් බව අන්තර්විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩල කැඳවුම්කරු කඹුරුපිටියේ ඥානිස්සර හිමි පැවසීය.
මෙලෙස සිදුවන අත්තනෝමතික පන්ති තහනම් හේතුවෙන් ඉගෙනීමේ කටයුතු කරගැනීමට හැකියාවක් නැතිවී ඇත්තේ නිදහස් අධ්‍යාපනයේ පිටිවහලෙන් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වූ සිසුන්ටය. වැරදි නොකරම දිගින් දිගටම එකම නම් ලැයිස්තුවක් ආශ්‍රයෙන් පන්ති තහනම් ලිපි නිකුත් කිරීම සාධාරණ නැත. විශ්වවිද්‍යාලවල උගන්වන්නේත්, ඉගෙන ගන්නේත් රටේ උගත්ම පිරිස බව සියලුදෙනා අවිවාදාත්මකව පිළිගනිති. මෙවන් ක්‍රියා විශ්වවිද්‍යාලයක් සම්බන්ධව කෙතරම් උචිතද යන්න තව වරක් සලකා බැලිය යුතුය. බැනරයක් ප්‍රදර්ශනය කිරීමක්, පෝස්ටරයක් ඇලවීමක්, අත්පත්‍රිකා බෙදීමක් මර්දනය කිරීම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති ප්‍රජාන්තන්ත්‍රවාදී ලක්ෂණ බිඳ දැමීමකි. විශ්වවිද්‍යාල සිසුන් රැස්වෙන සෑම මොහොතක්ම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ බවට සැක කිරීමට පාලන අධිකාරියට ඇති සාධාරණ හේතුව කුමක්ද යන්න සැබවින්ම ගැටලුවකි.
1 අත්දැකීම් තුනක්
කුරුප්පුගේ ඩිල්ෂාන් චමින්ද (කලා පීඨය, පළමු වසර)
ගෙදර ඉඳන් එනකොට හොඳටම හවස් වුණා. ඇවිත් ටිකක් විවේක අරන්, දවස් ගණනාවකින් ආපු නිසා කැම්පස් එක පැත්තට ගියා. ස්විමිං පූල් එක ළඟ රුමේෂ් නෝට් එකක් බලනවා. අපි තුන් දෙනත් ඊට එකතුවුණා. අපි හිටියෙ සුදු යකඩ වැට ළඟ කතා කර කර උප කුලපති තුමා එද්දි. අපිත් එක්ක බොහොම සුහදව කතා කළා. ගල් පිට්ටනිය ප්‍රතිසංස්කරණය කළේ කවුද කියලා ඇහුවා. අපි දන්නෙ නැහැ කිව්වා. උපකුලපතිතුමා තමන් එය කළ බව අපිට කිව්වා. අපි ඉගෙනුම ලබන්නෙ මොන වසරෙද කියලා ඇහුවා. අපි කිව්ව අපි පළවෙනි වසරෙ බව. උඹලා තමයි මම හම්බවෙන්න හිටියෙ කියලා පැවිලියන් එක එහා පැත්තට ගිහින් කමිස ගලවන්න කිව්වා. අපිත් එහෙම කළා.
මගේ ඇරෙන්න අනෙක් තුන්දෙනාගෙම පිටේ තුවාල තිබ්බා. ඒවා සිද්ධ වුණේ සෙල්ලම් කරද්දි බවයි ඒ අය කිව්වෙ.. එක්කෙනෙක්ගෙ නම් තිබුණෙ ඉතාම පරණ කැළලක්..
කොහොම වුණත් උපකුලපතිතුමා කිව්ව අපිට තමුන්ගෙ කාරයට නගින්න කියලා. කාරයට යන ගමන් ආරක්ෂක අංශ නිලධාරියෙක් නංවාගෙන අපේ සියලු විස්තර ලියා ගත්තා.
පොලීසියට වාහනය හරවන තුරු අපි දැනගෙන හිටියෙ නැහැ. අපිට ඇත්ත කියන්න කියලා උපකුලපතිවරයා කිව්වත්, අපිට එහෙම කියන්න යමක් තිබ්බෙ නැහැ. පොලීසියේ කොස්තාපල් වරුත් පැමි‚ල්ල ලියන්න අදිමදි කළා. උපකුලපතිවරයා ස්ථානාධිපතිට කතා කරලා අපිව භාර දීලා යන්න ගියා. මේජර්ලා දෙන්නෙක්, ආමි කෙනෙක්, සීඅයිඩී එකෙන් තවත් දෙන්නෙක් ඇවිත් අපෙන් ප්‍රශ්න කළා ෆොටෝ ගත්තා..
වෛද්‍යවරු අපිව චෙක් කළා. මට රිපෝට් දුන්නෙ නැහැ. අනික් දෙන්නව පහුවදාට එක්ක එන්න කිව්වා. මට ලක්ෂයක ශරීර ඇප දුන්නා. දින අනූවක් අනෙක් අයව රැඳවුම් භාරයෙ තියාගන්නවා කියලා සතියකින් එළියට දැම්මා. අපිව අත්අඩංගුවට ගත්ත හේතුව වගේම අපිට ඇප දුන්නෙ ඇයි කියන එකත් තවමත් අපිට විශාල ගැටලුවක්. මේ දේවල් නිසා අපි ඉන්නෙ පුදුම මානසික අසහනයක. අපේ දෙමව්පියොත් එහෙමයි..
2
ඡේ.එම් නිශාන්ත සඳරුවන් (කලා පීඨය)
හොස්ටල් එකේ නිදන් හිටියා. සිකුරුටියෙන් ඇවිත් කැම්පස් අයි ඩී එක ගත්තා. එයාලා පහළ කාමරයකට ගියා. ආයෙත් මගෙ අතට අයි ඩී එක ගෙනත් දුන්නා.
දවස් හතරකට පහකට පස්සෙ අම්මා කතා කළා. පුතේ කැම්පස් එකෙන් ලියුමක් ඇවිත් කඩන්නද? කියලා. මගේ පන්ති තහනම තමයි ගෙදෙට්ට ගිහින් තියෙන්නෙ. ඉන් දින හතරකට පස්සෙ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශෙන් කියලා අපේ ගෙදරට ගිහින් මම ගැන තොරතුරු අහලා. ඡේවීපී යට සම්බන්ධද? ගමේ ඉද්දි චර්යාව කොහොමද වගේ දේවල්. මගේ පන්ති තහනම තියෙන්නෙ මිනීපෙට්ටියක් උස්සගෙන ගියා කියලා. ඒක අසත්‍යක්.. ගමටවත් මුහුණ දෙන්නෙ කොහොමද? ගමම හිතා ඉන්නෙ අපි ත්‍රස්තවාදියො කියලා.
3 මට නඩු 3ක් තියෙනවා.. තාම වසරක් ගත වෙලත් විනය පරීක්ෂණ නැහැ. නිකරුණේ අපිට මෙහෙම කරන්නෙ ඇයි? අනික පන්ති තහනම නිසා අපිට නේවාසික සංඝාවාසෙට එන්න බැහැ. මහපොළ නැහැ. ඉගෙනුම් කටයුතුවලට ඉන්න බැහැ. විශ්වවිද්‍යාල භූමිය විතරක් නෙවෙයි අපිට විඡේරාම හංදියෙන් මෙපිට තහනම් වෙලා.. උපකුලපතිවරයා දඬුවම් කරන්නෙ වෙයි කියලා හිතන වැරදි මනසින් ගොඩ නගාගෙන. එහි ඇති සාධාරණත්වය කුමක්ද කියලා තවමත් අපිට හිතා ගන්න බැහැ. අපිට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන් වාතාවරණයක් නැහැ.