Thursday, September 20, 2012

ෆුටා ( FUTA ) නෂ්ඨ කිරීම


| නිලන්ත ඉලංගමුව


හුස්ම ගැනීමට නොහැකි වීම නිසා ඇතුලේ සිටින බොහෝදෙනෙක් ඉතාම කෙටි කාලයක් මියැදීමට නියමිත කිසිඳු වාකවුළුවක් නොමැති යකට කුටියක් තුළ සිටින මිනුසුන් සමූහයක් ගැන සිතන්න. ඔබ දන්නා පරිදි ඔහුවූ නින්දේදීම මියැදීමට නියමිත නිසා ඔවුන්ට මරණයේ වේදනාව නොදැනේ. නමුත් ඔබ එහි ඉදිරියේ ලොකු සබ්ධයක් ඇති කොට අඩ නින්දේ සිටින කිහිප දෙනෙකු අවදි කොට ඔවුහුට මරණයේ කටුක බව විඳීමට සැලස්වුව හොත් ඔබ සිතනවාද ඔවුන්ට කැමැත්තක් සිදු කළා කියා. කෙසේ වෙතත් ඔබ විසින් අවධිකළ කිහිප දෙනා යකඩ කුටිය කඩා දැමීමට බලාපොරොත්තුවක් නොමැති පිරිසක් යැයි ඔබට කිව නොහැකිය. ඇත්ත, මගේ අවබෝධයේ හැටියට බලාපොරොත්තුව එනම් අනාගතය සදහා වන බලාපොරොත්තුව මම මකා දැමීමට නොයමි. මා සතුව ඇති සාක්ෂි ඔහුගේ ප්‍රභාෂණය ( අධිෂ්ඨානය) ප්‍රතික්ෂේප කිරීම සඳහා යොදාගන්නේ නැත. ඉතින් මම තව දුරටත් ලිවීමට කැමති වුණෙමි.... ( ලූ සුන් - පෙරවදන - කෝල් ටු ආර්ම්ස් )

මීට දින කිහිපයකට පෙර මා විසින් ලියනු ලැබූ ලිපියේදී ආණ්ඩුව තවමත් විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සංගමය හෙවත් ෆුටා මර්ධනය කිරීම සඳහා පියවර ගෙන නොමැති බවත් එය නිශ්චිත කාලයේදී ගනු ඇති බවත් සඳහන් කළෙමි. රාජපක්ෂ විසින් සිදු කරමින් සිටින්නේ පැරණි දේශපාලන ක්‍රමෝපාය එනම් හති වැටෙන තුරු දිවීමට සැලැස්වීම සහ හති වැටී බිම ඇද වැටෙන තෙක් කිසිඳු ගණනට නොගෙන සිටීමය. ඉන් පසුත් තම ප්‍රතිවාදියා සටනෙහි නියැලීමට කැමැත්තෙ නම් රාජපක්ෂගේ පළමු වෙඩිමුරය එනම් අරලියගහ මැදුරට ගේනවා තම හූනියම් යන්ත්‍රය ඉදිරියේ කුරක්කන් රොටී මෙන්ම රුහුණේ මීකිරී කෑමට සලස්වා පසුදින තම මාධ්‍යවලින් සංදර්ශනයක් පවත්වනු ලබයි. ඊට කීකරු වීමට තම ප්‍රතිවාදියා කැමැත්තක් නොදක්වන්නේනම් ඉන් පසු තම බලකාය ගෙන්වා පහරදීම ආරම්භ කරයි.

රාජපක්ෂගේ බොහොමයක් උපායන් කොටි සංවිධානය සහ සමරූපී වුවද තම සතුරා මට්ටු කිරීමේදී ඔහු වඩාත් කපටි උපක්‍රමයක් අනුගමනය කරනු ලබයි. එනම් වෙනත් පාර්ශවයක් ලවා තම සතුරා ගැන බොරු ව්‍යාප්ත කිරීම එහි පළමු පියවරයි. ඉන් පසු තෙවැනි පාර්ශවයක් මාර්ගයෙන් ඔහුව හෝ ඇයව ශාරීරික වශයෙන් හෝ පරමාදර්ශීය ලෙස මරා දැමීමය. ඉන් පසු තම කටයුත්ත අහවර වූ විගස අනුකම්පාව දිනා ගැනීම සඳහා මාධ්‍ය සංදර්ශනයක් පවත්වනු ලබයි. මෙය ලාංකික දේශපාලනයේ වඩාත් සුලභව අත්හදාබලන මෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබා ඇති ක්‍රමෝපාය වේ. එබැවින් පොට්ට ජාතියක් සේ අපි මානසික රෝගීන්ගේ චරිත ලක්ෂණ පෙන්නුම් කරන එස්. බී. දිසානායකත්, බන්දුල ගුණවර්ධනත් සතුරන් කරගෙන ජාතියේ ආඩම්භරකාර පියාට වීරත්වයක් ලබා දෙනු ලබයි.

මිනිස් ජීවිත වලට නිශ්චිත මානුෂික වටිනාකමක් නොදී ඒවාද බොයිලර් කුකුලන් මෙන් මිල කරන තත්වයක් තුළ මෙවැනි ක්‍රමෝපායන් බහුල වේ. තමන්ගේ පාලනයට එරෙහිව ජනතාවගේ නැගීටීම පළමුව හැකි උපරිමය යොදා මඟ හැරීමට උත්සහ කරන පාලකයා ඉන්පසු තම මර්ධනය වෙනස් බලවේගයක් ලවා සිදු කරනු ලබයි. පාලකයා සෑම විටම සුදෙනෙකු වන්නේ මෙම භූමිකාව තුළය. මේ වටපිටාව හමුවේ බහුතරයක් ජනතාවට සිතීමට පුරුදු කොට ඇත්තේ බලය හසුරුවන්නාගේ ඇති තුච්ච සහ සත්වගතිය හඳුනා ගැනීමට වඩා එහි පාද ලෙවකන අයවලුන්ව පිළිකුල් කිරීම සඳහාය. ඔවුන්ට දෝශාරෝපනය කිරීම සඳහාය. මධ්‍ය එනම් බලය හසුරුවන යාන්ත්‍රනය ප්‍රශ්න කිරීම හෝ එය විවේචනය කිරීම බොහෝ විට සැඟවී ඇති කාරණය බවට පත් වන්නේ මේ නිසාය.

ෆුටා විසින් සිදුකරමින් පවතින විනාශ වී ගිය අධ්‍යාපනය ගොඩ නැගීම සඳහා වන ව්‍යාපාරය හෙවත් නැති වී යන ගෞරවය යලි ලබා ගැනීමේ කටයුත්ත තීරණාත්මක ස්ථානයකට එළඹ තිබේ. එහි පළමුවන සංඥාව ඊයේ පුවත්පත් වල පල වූ අතර ඉන් කියවුනේ "ඉන්දුනීසියාවේ සුහර්තෝගේ" පාලනය පන්නා දැමු ආකාරයෙන් රාජපක්ෂ පාලනය පන්නා දැමීම ෆුටා සංවිධානයේ මුඛ්‍ය පරමාර්ථය වී ඇති බවයි. අදාළ පුවත පුවත්පත් වලට ලබා දී ඇත්තේ රටේ බුද්ධි අංශ බව සඳහන් වේ. මෙම බුද්ධි අංශය බොහෝ අවස්ථා වලදී මේ ආකාරයේ කේලාම් මත ගොඩනගන පුවත් නිර්මාණය කිරීමට අතිශය ලැදි කමක් දක්වන ඒකකයකි. එය විවිධාකාරයෙන් සිදු කරන අතර විවිධ මාදිලියේ සුරංගනා කතා පසුගිය කාලය පුරාම බුද්ධි අංශ " මූලාශ්‍ර" උපුටා දැක්වූ පුවත්පත් වාර්තා කළහ. මීට පෙර මෙවැනි ආකාරයේ නිරුවත් බොරු ආණ්ඩුවේ මධ්‍ය වල පල කළ නමුත් මේ වන විට ඒවා පෞද්ගලික මධ්‍ය වලින් පසුව රාජපක්ෂ විසින් පාලනය කරන මධ්‍ය තුළට රිංගවනු ලබයි. මෙවර වඩාත් ආකර්ශනීය ලෙස මෙම මුසාවාදය ගොතා තිබේ. එනම බුද්ධි අංශයේ " පුවත් නිර්මාණකරුවා"ට ප්‍රධාන මුලාශය වී ඇතිතේ ෆුටා පැවැත් වූ සාකච්චාවක් සහ එක්තරා පුවත්පතක පල වූ කාටුනයකි.

වසර 31 ක් පාලනයේ රැඳී සිටි සුහර්තෝ පන්නා දැමීම වෙනම සමාජ අවශතාවයන් තුළ හට ගත් විරෝධයක් වන අතර එය සහ ෆුටා සංගමය තම වැටුප් වැඩිකරගෙන විශ්ව විද්‍යාලවලට හිමි ගරුත්වය ලබාගැනීම සඳහා ගෙන යන විරෝධය හා ගැලපීම කදිම විහිළුවකි. මෙය සරත් ෆොන්සේකා ඉඩි අමීන්ට සමාන කරමින් රට තුළ දේශපාලන බොරුවක් නිර්මාණය කිරීමට පසුගිය ජනාධිපතිවරණයේදී කළ උපක්‍රම දී හා සමාන වේ. ෆුටා විසින් සිදු කරනු ලැබූ සාකච්චාවක කිසියම් හෝ දේශපාලඥයකු සුහර්තෝ පිළිබඳව මතක් කිරීම හෝ කතා කිරීමෙන් ෆුටා ඒ සඳහා අරාදින බවට අදාළ පුවත් නිර්මාණය කිරීම වූ කලී මර්ධනය සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීම මිස වෙන කිසිවක් නොවේ. කෙසේ වෙතත් සුරහතෝ මෙන් දුෂණ සහ අනෙකුත් අකාරයේ බලය අනිසි ලෙස යොදාගැනීමේ ගති ලක්ෂණ වත්මන් ආණ්ඩුව විසින් පෙන්වා තිබේ.

මාධ්‍ය තුළම සිටින පරණ යකඩ හොරුන් වැනි අය ඇල්ලීමට නොහැකි මෙන්ම තමන්ගේම සගයින්ට හක්ක පැනීමට ගුටි කා ඔවුහු සතුව ඇති රාජකාරි අයුධයද කොල්ල කන තැනක අදාළ මරියන් අල්ලා ගෙන නිතී මාර්ගයෙන් කටයුතු කිරීමට නොහැකි තැනක බුද්ධි අංශ ගෙන එන පුවත් මඟින් රටේ සිදු වී ඇති බුද්ධිහීන බාවයේ පරිමාණය සිතා ගැනීම අසීරු නැත. මෙවැනි පුවත් තේරුම් ගැනීම කිසි සේත්ම අපහසු නැත. මෙම පුවත් නිර්මාණකරුවාගේ අවශ්‍යතාවය කිසිවක් නොව එනම් ෆුටා මර්ධනය කිරීම සාධාරණීකරණය කිරීම සඳහා පසුබිම සකස් කිරීමයි. එය සකස් කිරීමෙන් පසු ඉදිරි දින කිහිපය තුළදී රටේ ජනතාව ගොනාට ඇන්දවීමේ මුලික ක්‍රමවේදය එනම් හැකිපමණ මේ පිළිබඳව සාකච්චා කිරීමට සලස්වා ජනතාව අතර සැකයක් ඇති කිරීම මුඛ්‍ය පරමාර්ථය වේ. මින් පසු ජනරාල් සරත් ෆොන්සේකාට සහය දැක්වීම හේතුවෙන් ඌව තැන්නේ සුමන හිමියන් කුදලාගෙන ගිය ආකාරයේ සිදුවීම් බලාපොරොත්තු විය හැකිය. එනම් පළමුව මැරයින් සේ පැමිණ ආයුධ හෝ මුදල් තබා පසුව රාජකාරි නිල ඇඳුමින් රජයේ මධ්‍ය සගයින් සමඟ පැමිණ පුදගලයින් කිහිප දෙනෙකු " රජය" පෙරලීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට සැක පිට අත්අඩංගුවට ගනු ඇත. මෙය සිදු කිරීමේ මුලික පියවර ෆුටා සංගමයට එරෙහිව බුද්ධිහීන නමුත් සැකය පතුරුවා ලිය හැකි පුවතක් නිර්මාණය කිරීමය. මෙය රාජපක්ෂට ගැටලුව වෙනතකට පෙරලීමට ඇති එක ප්‍රධාන උපායක් වේ. තම වගකීමෙන් නිදහස් වී තමන්ගේ පුද්ගලික ධනය වැඩිකොට ජනතාව තවතවත් ණයකාරයින් කළ හැක්කේ එවිටය.

මෙම වටපිටාව හමුවේ ඇත්ත තේරුම් ගැනීමට යන්ත දැරිය යුතු වේ. රටක මුළු ජාතික අය වැයෙන් සීයට 75 කට වඩා තනි පවුලක් විසින් භුක්ති විඳින දුරලභ ගණයේ පාලනයකට ශ්‍රී ලංකාව පත් වී ඇති බව පිළිගැනීමට ඇති මෙන්ම ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍ය වේ. දෙකෝටි දෙලක්ෂයකට වඩා ( 20,277,597 - 2012 ජන සංගණනය) සිටින රටක රුපියල් සීයක් තිබේ නම් එය 500 ක පමණ පිරිසක් එනම් රාජපක්ෂ පවුලට අයත් පිරිස අතර ඉන් 75 ක් බෙදී යන අතර ඉතුරු රුපියල් 25 ජනගහනයෙන් ඉතුරු 20,277,097 අතර බෙදී යන්නේය. රටේ දිනෙනේ දින වැඩිවන උග්‍ර ආර්ථික බිඳ වැටීම සහ සංඛ්‍යාත්මක වශයෙන් සිදුවන ඒක පුද්ගල ආදායමේ වැඩිවීමේ ඇත්ත වන්නේ මෙයයි. මෙය අතිශය සරල සමීකරණයකි. මේ ජාතික අයවැයේ එනම් රටේ බදු මුදල් වලින් සහ අනෙකුත් ආදායම් සහ ලබාගන්නා ණය වලින් සකස්වන මුදල රට තුළ සංසරණය වන ආකාරය අවබෝධ කරගැනීම සඳහා ඇති සරලම ක්‍රමවේදය වේ. රටේ දේශපාලන පක්ෂවල සිදු කරන වියදම් හෝ එම පක්ෂවල අයවලුන් ලබන ආදායම් ජනතාවට දැක බලා ගැනීම සඳහා කිසිඳු අවකාශයක් සකස් වී නැත. සියලු නිතීමය රාමුන් විකුර්ති කොට ඇති අතර ඒ සියල්ලම දුෂිත ඒකාධිපති බලය විසින් ඊට රිසි සේ හසුරුවනු ලබයි.

ෆුටා සංවිධානය විසින් මතුකරන ගැටලු විසඳිය හැක්කේ මෙම අසමමිතික බෙදී යෑම හෙවත් වවාගෙන කෑමේ සම්ප්‍රදාය නැවැත්වීමෙන් පමණක් වේ. නමුත් රාපක්ෂ ජනාධිපතිවරයා විසින් තම පාලන කාලය පුරාම පෙන්වා දී ඇත්තේ වවාගෙන කෑම තම සම්ප්‍රදාය බවයි. ලැජ්ජාවක් නැති කුලපති සහ උපකුලපතිවරුන් විසින් රාජපක්ෂ ඇතුළු අනෙකුත් පිරිසට ආචාර්ය පදවි වැල්පිටින් පිරිනාමා විශ්වවිද්‍යාලවල ගරුත්වය කෙලසීමේ විපාකය වන්නේ මෙයයි. සැබවින්ම ඔවුන්ට මෙම ගැටලුව විසඳීමට සැබෑ උනනදුවක් නොමැත්තේ නම් අඩුතරමින් ලබා දුන් අචාර පදවි හෝ ආපසු ලබා ගැනීම විශ්ව විද්‍යාල වල ගරුත්වය උදෙසා වැදගත් වේ. ෆුටා යනු දේශපාලන පක්ෂයක් හෝ රාජපක්ෂගේ බල මහිමය විනාශ කිරීම අරමුණු කරගත් සංගමයක් නොවේ. ෆුටා යනු තමන්ගේ වැටුප මදක් වැඩිකරගනීමට මාස ගණන් වටුප් නොලබා ( ආණ්ඩුව විසින් වැටුප් නොගෙවීම හේතුවෙන්) තම අහිංසාවාදී ව්‍යාපාරය ඉදිරියට ගෙන යන එකතුවකි. ඊට ජනතාවගේ සාධාරණ ඇහුන්කම් දීමක් තිබේ. මෙය තේරුම් නොගෙන ෆුටා සංගමය විෂයෙහිලා ඕපාදුප ගෙතීම රාජපක්ෂගේ පුද්ගලික අභිලාෂයන් ඉටු කිරීමක් පමණක් වේ.

කෙසේ වෙතත්, ආණ්ඩුව ෆුටා මර්ධනය කිරීම සඳහා මුලික පියවර තබා තිබේ. එය සුන්දර වන්නේද එසේත් නොවේනම් අසුන්දර එකක් වන්නේද යන්න ඉදිරි දින කිහිපය තුළදී දැකගත හැකිය. ෆුටා විසින් සිදුකරන අවධිකිරීම නින්දේදීම මරණයේ වේදනාව නොදැන මියැදීමට නියමිත දේශප්‍රේමීත්වයෙන් පොට්ට වූ ජනතාව අතරින් අඩ නින්දේ සිටින පිරිස අවධි කොට ඔවුන්ට තමන් වටා ඇති බැමි කැඩීමට අවකාශ සැලසීම කෙතරම් දුරට මෙරට සමාජයට වැදගත් වන්නේද යන්න තේරුම් ගැනීමට එතරම් කාලයක් අවශ්‍ය නොවේ.

No comments: