Friday, September 7, 2012

සරසවි ඇදුරන්ගේ සටනට සහය පළකොට අනධ්‍යයන සේවකයෝ ඊයේ උද්ඝෝෂණයක


Divaina, 07/09/2012, පේරාදෙණිය රංජිත් - සේනවීර

විශ්විද්‍යාලවල ආචාර්යවරුන් දේශනවලට එන්නේ නැහැ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශනවලට සහභාගි වන්නේ නැහැ. අනධ්‍යයන සේවකයන්ගේ ප්‍රශ්නය නිසා ඔවුන්ගෙන් වැඩක්‌ වෙන්නෙත් නැහැ. නමුත් ආණ්‌ඩුව කියනවා විශ්වවිද්‍යාල ඇරියා කියලා. මේ මගින් පෙනෙන්නේ ආණ්‌ඩුව කරන්නේ සම්පූර්ණ ප්‍රොaඩාවක්‌ බව යෑයි විශ්වවිද්‍යාල වාත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා ඊයේ (6 වැනිදා) පේරාදෙණිය ගලහ වටරවුමේ පැවැති අනධ්‍යයන සේවක උද්ඝෝෂණයේදී පැවැසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට අරඹා ඇති වෘත්තීය සටනට සහාය පළ කිරීම සඳහා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක පිරිස්‌ ඊයේ (6 වැනිදා) මෙම උද්ඝෝෂණ පැවැත්වීම ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි සිදුකළ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක පිරිස්‌ පැවැත්වූ උද්ඝෝෂණය පේරාදෙණිය ගලහ වට රවුමේදී පැවැත්වුණු අවස්‌ථාවේදී සම සභාපතිවරයා මෙසේද පැවැසීය.

අනධ්‍යයන සේවක පිරිස්‌ අරඹා තිබූ වෘත්තීය අරගලයට විසඳුමක්‌ දෙනවා කියා රජය පොරොන්දු වූ නිසා අප වැඩ වර්ජනය නතර කළා. දින 45 කින් විසඳුම් දෙනවා කීවත් දැන් මාස දෙකකටත් වැඩිය ගත වෙලා. ඒ අනුව රජය පොරොන්දු කඩ කරලයි තියෙන්නේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවරත්න බණ්‌ඩාර මහතා අදහස්‌ දක්‌වමින් ආණ්‌ඩුව හිතනවා ආචාර්යවරුන් මාසයක්‌ දෙකක්‌ පඩි නැතිව ඉන්න විට අධෛර්යයට පත්වෙලා නැවත වැඩට එයි කියලා. නමුත් මාස දෙක තුනක්‌ පඩි නැති වුණත් අපි අපේ සටන නවත්වන්නේ නැතිව සටන ජයගන්නා තුරු එය කරගෙන යනවා.

මෙම උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස්‌ අමතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ සභාපති ඩී. ජී. අබේරත්න, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජනක නිලංග මධුෂාන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය ආනන්ද ජයවික්‍රම යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

No comments: