Friday, September 7, 2012

ආචාර්යවරුන්ගේ සහයට ආ සරසවි සිසුන්ට ජල - බැටන් ප්‍රහාර


Divaina, 07/09/2012, අජිත් අලහකෝන් - ලසිත දුමින්ද

ආචාර්යවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි රජයට බල කරමින් උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ඊයේ (06) පස්‌වරුවේ සත්‍යග්‍රහයක නිරත වූ සිසුන්ට බැටන් සහ ජල ප්‍රහාර එල්ල කොට විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

මේ නිසා එම ස්‌ථානය අවට දැඩි රථවාහන තදබදයක්‌ හා උණුසුම්කාරී වාතාවරණයක්‌ උද්ගතව තිබිණි. ජල ප්‍රහාරවලට ලක්‌ව දිවයද්දී සිසුන් කිහිප දෙනකුට තුවාල සිදුවූ බවත්, තවත් සිසුන් පස්‌ දෙනකු අත්අඩංගුවට ගත් බවත් කුරුඳුවත්ත පොලිසිය පැවැසීය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයේ එක්‌සත් ශිෂ්‍ය සංවිධානය විසින් මෙහෙයවන ලද මෙම සත්‍යග්‍රහයට සරසවි සිසුහු හැට දෙනෙක්‌ පමණ සහභාගි වී සිටියහ.

ආචාර්යවරුන්ගේ ගැටලු වහා විසඳා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අරඹන ලෙසට ඉල්ලමින් ඊයේ පෙරවරු 10.00 ට පමණ මෙම සිසු පිරිස උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණය ආරම්භ කළහ. ඉන්පසු උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා තමන් සමඟ සාකච්ඡා කළ බවද, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ කතා කොට විසඳුම් ලබා ගන්නැයි ලේකම්වරයා ශිෂ්‍යයන්ට පැවැසූ බවද එක්‌සත් ශිෂ්‍ය සංවිධානයේ සභාපති ජයන්ත රෝහණ "දිවයින"ට ප්‍රකාශ කළේය.

ලේකම්වරයා සමඟ කළ සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව සිසු පිරිස යළි අමාත්‍යාංශය ඉදිරිපිට බිම වාඩි වී සත්‍යග්‍රහයක්‌ ආරම්භ කිරීමට සූදානම් වූහ. එහෙත් එම ස්‌ථානයට පැමිණි පොලිස්‌ කැරළි මර්දන ඒකකය පැමිණීමෙන් පසු එහි කලබලකාරී තත්ත්වයක්‌ උද්ගත විය.

බැටන් හා ජල ප්‍රහාර එල්ල කොට සිසු පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ පොලිසිය එහි සිටි ශිෂ්‍යයන්ට පස්‌ දෙනකුද අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් සිසුන් පිරිස නිදහස්‌ කරන ලෙස ඉල්ලා සෙසු සිසුහු කුරුඳුවත්ත පොලිසිය අසලට රැස්‌වූහ.

මේ අවස්‌ථාවේදී "දිවයින"ට අදහස්‌ දැක්‌වූ එක්‌සත් ශිෂ්‍ය සංවිධානයේ සභාපති ජයන්ත රෝහණ අත්අඩංගුවේ පසුවන ශිෂ්‍යයන් පස්‌ දෙනා පොලිස්‌ ඇපමත මුදාහරින බවට කුරුඳුවත්ත පොලිසිය පොරොන්දු වූ බවද කීය.

මෙම සිසු පිරිස පසුව කොළඹ විශ්වවිද්‍යාල ඉදිරිපිටට ගොස්‌ එහි සත්‍යග්‍රහය ආරම්භ කළහ.

මෙම සත්‍යග්‍රහය ලබන 11 වැනිදා (අඟහරුවාදා) දක්‌වා අඛණ්‌ඩව පවත්වන බවද එතෙක්‌ තම ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් විසඳුම් නොලැබුණොත් දැවැන්ත උද්ඝෝෂණයක්‌ පවත්වා සිසුන් පනහකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මාරාන්තික උපවාසයක්‌ අරඹන බවද ජයන්ත රෝහණ මහතා කීවේය.

කොළඹ විශ්වවිද්‍යාලය විසින් පවත්වන මෙම සත්‍යග්‍රහයට සෙසු සරසවි සිසුන්ද, භික්‍ෂු සංගමයට ද ආරාධනා කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

No comments: