Saturday, September 8, 2012

ආණ්‌ඩුවට පරණ සෙල්ලම කරන්න මේ පාර ඉඩ දෙන්නේ නෑ



විද්වත් හමුව
- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා මේ වන විට මෙවර උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ද අර්බුදයක්‌ බවට පත්වන ලකුණු පෙනෙන්නට තිබේ. ඒ මෙවර උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉවත්ව සිටින හෙයිනි.

දැන් සරසවි සහ උසස්‌ පෙළ සිසු සිසුවියන්ගේ අනාගත ඉරණම විසඳන ප්‍රශ්නයක්‌ බවට පත්වී තිබෙන සරසවියේ මේ අර්බුදය මෙලෙස දිග් ගැසෙන්නේ ඇයි? විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඒ පිළිබඳ කියන්නේ මෙබඳු කතාවකි.

කැබිනට්‌ මණ්‌ඩල යෝජනාවලට අකමැති වුණේ ඇයි?

අකැමැතිවීමක්‌ම නෙමෙයි වුණේ. අපි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියෑලෙන්නෙ යම් නිශ්චිත ඉල්ලීම් මාලාවක්‌ පදනම් කරගෙනයි. නිශ්චිත ඉල්ලීම් මාලාවක්‌ ඉදිරිපත් කරල කරන වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ නතර කරන්න නම් නිශ්චිත පිළිතුරු මාලාවකුත් අවශ්‍යයි. අපේ ඉල්ලීම් මාලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ යම් යම් දේවල් පිළිබඳ පැහැදිලි කිරීම් කරගන්න නෙමෙයි. පැහැදිලි කිරීම්වලට එහා ගිය ක්‍රියාකාරකම් එයට අවශ්‍යයි.

අනෙක අපි වෙනුවෙන් ඔය ඉදිරිපත් කරල තියෙන්නෙ කැබිනට්‌ පත්‍රිකාවකුත් නෙමෙයි. කැබිනට්‌ සටහනක්‌ වගේ එකක්‌. කැබිනට්‌ සටහනෙයි පත්‍රිකාවෙයි වෙනස මොකක්‌ද ඇහුවම නං වෙනසක්‌ නෑ කිව්ව. නැත්තෙ නෑ තියෙනව. කැබිනට්‌ පත්‍රිකාවක තියෙනව මේ මේ දේවල් කළ යුතුයි, ඒ සඳහා මේ තරම් ප්‍රතිපාදන අවශ්‍යයි ආදී වශයෙන් යමක්‌ කිරීම සඳහා වැඩපිළිවෙළක්‌. එවැනි නිශ්චිත වැඩපිළිවෙළක්‌ මේ කැබිනට්‌ සටහනේ නෑ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශේෂිත පුද්ගලයන් ලෙස සැලකිය යුතු බව මේ කැබිනට්‌ පත්‍රිකාවෙන් නිර්දේශ කරල තියෙනව.

එහෙම එකක්‌ කියල තියෙන්නෙ අපි අමුතු කට්‌ටියක්‌ කියල හිතල නෙමෙයි. අපේ වැටුප් ප්‍රශ්නෙ විසඳන්න හදන හැම වෙලාවෙම මතුවෙන ප්‍රශ්නයක්‌ තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නෙ කොහෙද කියන එක. ඒ කියන්නෙ අපි රජයේ සේවකයොත් නෙමෙයි එහෙම නොවෙන අයත් නෙමෙයි වගේ එකක්‌. අපි විශේෂිත පුද්ගලයො විදිහට හැඳින්වූයේ ඔය හින්ද. ඒකටත් කමිටුවක්‌ පත් කරනව කියල යෝජනා වුණා. නමුත් ඔය කමිටුව කවදද පත් කරන්නෙ, කොහොමද පත් කරන්නෙ, ඒකෙන් විසඳන ප්‍රශ්න මොනවද, ඒ ගැන මුකුත් තොරතුරක්‌ නෑ. අපේ අනිත් ඉල්ලීම් සමගම අපේ වැටුප් ප්‍රශ්නයත් විසඳන්න ඕන කියල අපි කියන දේ එතන නෑ.

කමිටුවක්‌ පත් කරල විශ්වවිද්‍යාල ආචාර්යවරු විශේෂ පුද්ගලයො කරල දැන් ප්‍රශ්නෙ විසඳුව කියල ආණ්‌ඩුව කියනව. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයත් එහෙම කියල තිබුණ?

මේ ප්‍රශ්නෙ ගැන නොදන්න මිනිස්‌සු නං ඔය කතා අහයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙච්චර පඩි දෙනව. ඒ අයට ප්‍රශ්නයක්‌ නෑ කියල පහුගිය කාලෙ කිව්වනෙ.

අපිත් එක්‌ක සාකච්ඡා කරපු පිරිස අතරෙ එස්‌. බී. දිසානායක ඇමැතිවරයා වත් කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිවරයාවත් හිටියෙ නෑ. නමුත් බැසිල් රාජපක්‍ෂ මහත්තය දන්නව අපි කියපු දේවල් සහ අපේ එකඟතාවන් මොනවද කියල. ඔය කැබිනට්‌ පත්‍රිකාව කියන ලියවිල්ල උඩ අපට වැඩ වර්ජනය නතර කරන්න බැරි බව ඒ මහත්තය දන්නව.

අපේ විසඳුම් ක්‍රියාත්මක කරන්න බැරි නම් අපි ඉල්ලුව ඒ අයගෙ විසඳුම්. ඒක කියන්නෙත් නෑ.

දැන් මේ කාරණේට දෙපැත්තටම චෝදනා තියෙනවා. ආණ්‌ඩුව ප්‍රශ්නෙ විසඳන්aනෙ නෑ කියනව වගේම µQටා එකත් මීට වඩා නම්‍යශීලී විය යුතු බවට සමහරු අදහස්‌ පළ කරනවා?

දැන් අපි අපේ අවම ඉල්ලීම් දීලයි තියෙන්නෙ. ඕනෑම අරගලයකදී මුලින් ඉදිරිපත් කරන්නෙ සාධාරණයි කියල හිතන උපරිම ඉල්ලීම්නෙ. ගතවුණු සාකච්ඡාවලදී අපිත් අවබෝධ කරගෙන අපි හුඟක්‌ පස්‌සට ඇවිල්ල තියෙනව. නමුත් හැමදාම අපි නම්‍යශීලී වෙලා පස්‌සට ආවහම මේ අය කියන දෙයක්‌ තමයි හොඳයි, දැනට මේ ටික ගන්න ලබන පාර ප්‍රශ්න විසඳනව කියල පොරොන්දුවක්‌ දීල වැඩේ අමතක කරනව. පොඩි සීනි බෝලයක්‌ දීල දැනට මේක තියාගන්න පස්‌සෙ කේක්‌ ගෙඩියක්‌ දෙන්නම් කියල වැඩේ අමතක කරනව. ඊළඟ අයවැයෙන් වැඩේ විසඳනව කියල දැන් අයවැය කීයක්‌ ගෙවුණද? අද එස්‌.බී.ල, කෙහෙළියල මොනව කිව්වත් ඒ පරණ සෙල්ලම මේ පාර කරන්න බැරි බව අපිත් එක්‌ක සාකච්ඡා කරන ආණ්‌ඩුවේ අය දන්නව. අපේ ඉල්ලීම් අසාධාරණ නෑ කියල ඒ අය කියන්නෙ නැත්තෙ ඒකයි. නමුත් ඒ සාකච්ඡාවලදීත් තවම අපි සුහදව හම්බවෙනව. තේ එකක්‌ කාරිය බොනව. කතාබහ කරල වෙන්වෙලා යනව. ප්‍රශ්නෙ තාම එහෙමමයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සාධාරණයි කියලත් ආණ්‌ඩුවත් පිළිගන්නව නම් ආචාර්යවරුන් අවම ඉල්ලීම් දක්‌වා ආපස්‌සට ඇවිත් නම් ඇයි මේ ප්‍රශ්නෙ නොවිසදෙන්නෙ?

විශ්වවිද්‍යාල ස්‌වාධීන ආයතන විය යුතුයි කියල අපේ ඉල්ලීමක්‌ තිබෙනව. ආණ්‌ඩුව ඒ ගැන මොන පොරොන්දු දුන්නත් උපකුලපතිවරුයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවයි අමාත්‍යාංශයයි කැමති නෑ විශ්වවිද්‍යාල ස්‌වාධීන ආයතන වෙනවට. කොළඹ විශ්වවිද්‍යාලෙ උපකුලපතිතුමියත් කැමති නෑ. විවෘත විශ්වවිද්‍යාලවලට අලුතෙන් පත්වුණු උපකුලපතිතුමාත් දැන් එතුමිය වගේ වැඩ කරන්න පටන් අරන්. එතුමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආචාර්යවරුන්ගෙ සංගමයේ හිටපු සභාපති. මගෙත් හොඳ මිත්‍රයෙක්‌. පසුගිය ඡන්දෙට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානෙන් මහනුවරින් ඡන්ද ඉල්ලපු එතුමාට ලැබුණ උපකුලපතිකම. එතුමා දැන් අලුත් නීතියක්‌ පනවල වෙනත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විවෘත විශ්වවිද්‍යාලෙ ගේට්‌ටුවෙන් ඇතුළුවීම තහනම් කියල. අර කැබිනට්‌ පත්‍රිකාවෙන් විශ්වවිද්‍යාලවල ස්‌වාධීනත්වය ගැන කිව්වට මේ අය ඒවට කැමති නෑ. විශ්වවිද්‍යාල ස්‌වාධීන ආයතන විය යුතුයි කියල කවුරුත් තැන තැන කිව්වට ඇත්ත තත්ත්වය මේ අය ඒක පිළිගන්නෙ නෑ. මේ වැඩ වර්ජනය අවසන් කරන්න නම් අපි ඊට ඉස්‌සෙල්ල ඉල්ලුව උපකුලපතිවරු, අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නියෝජිතයො සමග

රැස්‌වීමක්‌. විශ්වවිද්‍යාලයේ ස්‌වාධීනත්වය කියන්නෙ මොකක්‌ද, එය ක්‍රියාත්මක කරන්නෙ කොහොමද, වෘත්තීය සමිතියකට තිබිය යුතු අයිතිවාසිකම් මොනවද ආදිය ගැන යම්කිසි එකඟතාවක්‌ ඇති කරගන්න අපට අවශ්‍යයි. උපකුලපතිවරු උද්ධච්ඡ වෙලා විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බෑ. හැම උපකුපතිවරයෙක්‌ම එහෙම නෑ. නමුත් හුඟ දෙනෙක්‌ගෙ තත්ත්වය ඒකයි. යුනියන් එකක අයිතිය ගැනවත් සමහරු දන්නෙ නෑ. අද තියෙන සමහර චක්‍රලේඛ විශ්වවිද්‍යාල පනතටත් විරුද්ධයි. විශ්වවිද්‍යාලයේ ස්‌වාධීනත්වය උල්ලංඝනය කරන මේ චක්‍රලේඛ අයින් කරන්න ඕන. ඔය කැබිනට්‌ පත්‍රිකාව වැදගත් වෙන්නෙ මෙන්න මේවා ගැන ක්‍රියාත්මක වෙන ආකාරය අනුවයි. මේ වැඩ නොකර අපි දැන් කැබ්නට්‌ පත්‍රිකාවක්‌ දැම්මා විසඳුමක්‌ දුන්නා කියල රටට කිව්වට ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. ඒ කතා හොඳයි ඒ අයගෙ ඡන්දදායකයන්ට.

මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදි ඇදී යැමෙන් විශාල ප්‍රශ්නයකට මූණදෙන්නෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයො. දැන් මේ ප්‍රශ්නය අද විශ්වවිද්‍යාලෙ ඉගෙනගන්න සහ විශ්වවිද්‍යාලයට එන්න බලාපොරොත්තු වන සිසු සිසුවියන්ගෙ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්‌ බවට පත්වෙලා?

ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කළ හැකි හොඳම දේ ඉක්‌මණින් මේ ප්‍රශ්නෙ විසඳන එකනෙ. අපි අපේ අවම ඉල්ලීම්වලට ඇවිත් තියෙනව. ආගමික නායකයන් ඇතුළු තුන්වැනි පාර්ශ්වයකුත් මේ ප්‍රශ්නය ඉක්‌මණින් විසඳන්න කියල ඉල්ලීම් කරල තියෙනව. නමුත් මේ අය ප්‍රශ්නෙ විසඳන්නෙ නෑ. විශ්වවිද්‍යාල ළමයි අමාරුවෙ වැටෙන එක ඇත්ත. පඩි නැතිව අපිත් ඉන්නෙ අමාරුවෙන්. අපි හැමෝටම ඕන මේ ප්‍රශ්නෙ ඉක්‌මණින් විසඳගන්න. අපේ ප්‍රශ්නයට විසඳුමක්‌ දෙන එක ආණ්‌ඩුවේ පරාදයක්‌ කියල සමහරු හිතනවද දන්නෙ නෑ. දැන් මේක අභිමානයක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌ බවට පත්වෙලා වගෙයි පේන්නෙ. අපේ ඉල්ලීම් දෙන එක නිකම් මදිකමක්‌ වගේ. ආණ්‌ඩුවක ප්‍රධානීන් කටයුතු කරන්න ඕන තමුන්ගෙ ආත්මය වැඩි දියුණු කරගන්න නෙමෙයි. මහජන අවශ්‍යතා ඉටු කරන්නයි. විශ්වවිද්‍යාලවල අවශ්‍යතා සොයා බලල ඒ පිළිබඳ කටයුතු කරන්නයි උසස්‌ අධ්‍යාපන ඇමැතිතුමා ඉන්නෙ. මේ ප්‍රශ්නෙ එයා එයාගෙ ආත්මාභිමානය පිළිබඳ ප්‍රශ්නයක්‌ කරගත්තොත් ප්‍රශ්නෙ කවදාවත් විසඳෙන්නෙ නෑ. මගෙ ප්‍රශ්නෙ මේකයි. අපට දැන් අවශ්‍ය වෙන්නෙ මේ ප්‍රශ්නෙට ස්‌ථිරසාර විසඳුමක්‌ ඇති කරගෙන මේක ඉවරයක්‌ කරගන්න එකද? එහෙම නැත්නම් හැම අවුරුද්දකම මේ වගේ වැඩ වර්ජනවලට යන එකද? ගිය අවුරුද්දෙ මොකද වුණේ. අපි ස්‌ට්‍රයික්‌ කරනකොට කිව්වෙ අසාධාරණයි ෂයිලොක්‌ වගේ වෙන්න එපා මස්‌ රාත්තලම ඉල්ලන්න එපා කියලනෙ. අපි ඒක පිළිඅරන් ග්‍රෑම් සීයටත් අඩුවෙන් අරගෙන මේ අවුරුද්දෙ ප්‍රශ්නෙ විසඳයි කියල හිතාගෙන නිහඬ වුණානෙ. ප්‍රශ්නෙ විසඳුවෙ නෑනෙ. ඒ හින්දනෙ මේ අවුරුද්දෙත් ස්‌ට්‍රයික්‌ කරන්න වුණේ. අපිට හැම අවුරුද්දෙම ස්‌ට්‍රයික්‌ කරන්න බෑ කියල අපි ජනාධිපති ලේකම්තුමාටත් ඇමැතිතුමාටත් පැහැදිලිව කිව්ව. ස්‌ට්‍රයික්‌ කරන එක ඒගොල්ලන්ට වඩා අපට වධයක්‌. නැවත වැඩවර්ජනයකට නොයන්න අපිට ස්‌ථිර විසඳුමක්‌ ඕනෑ. ඒ හින්ද විසඳුම ලබන අවුරුද්දට තල්ලු කරන පරණ සෙල්ලම කරන්න අපි මේ පාර ආණ්‌ඩුවට ඉඩ දෙන්නේ නෑ.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

No comments: