Tuesday, September 11, 2012

වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවල නියැලීමේ අයිතිය සම්බන්ධයෙන්

සැප්තැම්බර් 9 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය

වෘත්තීය සමිති වැඩවර්ජනයෙහි යෙදී සිටින අතරතුර තමන් ඒ සමිති සමග සාකච්ඡා නොකරන්නේ යැයි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළ බවට සැප්තැම්බර් 07 වෙනිදා මාධ්‍යවල පළ වූ වාර්තා පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ අප‍්‍රසාදය පළ කරන්නට කැමැත්තෙමු. එම වාර්තාවල දැක්වෙන අන්දමට සාකච්ඡා මාර්ගයෙන් ගැටලූ විසඳාගැනීමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය නැවැත්විය යුතු යැයි ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය අප සමිති සම්මේලනය වෙත පමණක් නොව අනෙකුත් වෘත්තීය සමිති කෙරෙහිත් බරපතල බලපෑම් ඇති කරන ප‍්‍රකාශයකි. වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවල නියැලීම පිළිබඳ අයිතිය මූලික මිනිස් අයිතියක් වන අතර එය
ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලද අයිතියකි. වැඩ වර්ජනයන්හි නියුතු වෘත්තීය සමිති සමග සාකච්ඡාවල නියැලීම ප‍්‍රතික්ශේප කිරීම මගින් ජනාධිපතිවරයා කරන්නේ මේ මූලික අයිතිය ප‍්‍රශ්න කිරීමයි. රටේ විධායකය ව්‍යවස්ථාවෙහි අඩංගු වන මූලික නිදහස හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් එවැනි ස්ථාවරයක් ගන්නේ නම් ඉන් ඇඟවෙන්නේ මෙරට ඉහළම අධිකාරිය වෙත මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම පිළිබඳ කිසිම ගෞරවයක් නැති බවයි. එය වූකලී අතිශයින්ම භයානක තත්වයකි.

වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග වෙත යොමුවීමට පෙර විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වසරක තරම් කාලයක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටලූ විසඳා ගැනීමට සාකච්ඡාවල නියැලූණු බව අතිගරු ජනාධිපතිවරයා හොඳින් දනියි. වර්ෂ 2012 ජූලි මාසයේදී වැඩ වර්ජනයක් වෙත එළඹීම වෙත එම සම්මේලනය යොමු කරනු ලැබුවේ රජය වෙතින් නිසි ප‍්‍රතිචාරයක් නොලැබීම විසිනි.

එසේ වැඩවර්ජනයට යොමු වූ තැන් සිට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය රජයේ විවිධ සාමාජිකයන් සමග සාකච්ඡාවලට සහභාගි වූ අතර සාකච්ඡා මගින් මේ ගැටලූ විසඳා ගැනීමේ කැමැත්තද ප‍්‍රකාශ කළේය. ලලිත් වීරතුංග, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සහ ආචාර්ය පී බී ජයසුන්දර යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්විණ. කෙසේ වෙතත් මෙම ගැටලූ විසඳා ගැනීම පිළිබඳ කැමැත්ත පෙන්වන ආකාරයේ නිශ්චිත විසඳුමක් තාමත් රජය විසින් ඉදිරිපත් කෙරී නැත. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වෙත ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධ ගැටලූ විසඳන්නේ වත් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජන වැඩි කිරීමට නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කරන්නේ වත් නැත. ඒ පත‍්‍රිකාවෙන් විශ්වවිද්‍යාලවල ස්වායත්තභාවය හා දේශපාලනීකරණය සම්බන්ධ ගැටලූ විසඳීම පිණිස යාන්ත‍්‍රණයක් ඉදිරිපත් කෙරෙන්නේද නැත. වැටුප් ප‍්‍රශ්න පිළිබඳ භාණ්ඩාගාරයේ ලේකම්වරයා සමග සාකච්ඡා කරනු ලැබුවද ඒ සම්බන්ධයෙන් රජය නිශ්චිත සැලැස්මක් විශ්වවිද්‍යාල
ආචාර්ය සමිති සම්මේලනය වෙත ඉදිරිපත් කෙරී නැත. එවැනි පසුබිමෙක විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සිටින්නේ මෙම වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ග නැවැත්වීමට හැකි තත්වයක නොවේ.


මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අනවශ්‍ය සේ දිග්ගැස්සීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට කිසිදු ආශාවක් නැත. ඒ නිසා අපි සාකච්ඡා පමා කිරීමේ උපක‍්‍රමවලින් වැලකී සිටින මෙන්ද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවත්නා වර්තමාන අර්බුදය විසඳීමට ක්ෂණික පියවර ගන්නා මෙන්ද අතිගරු ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටිමු. මෙම වැඩ වර්ජනය මාස දෙකද ඉක්මවා ඇත්තේ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබාගැනීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අකමැති නිසා නොව අප සම්මේලනය මගින් පෙන්වා දෙන ලද ගැටලූවලට නිශ්චිත පිළිතුරු ලබාදීමට රජයේ ඇති අසමත්කම නිසාය.


නිර්මාල් රංජිත් දේවසිරි

සභාපති

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

No comments: