Saturday, September 22, 2012

රාජ්‍ය ආරක්ෂාව සහ සරසවි ඇදුරු වර්ජනය



KATHIKA, 21/09/2012, කුමුදු කුසුම් කුමාර
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයට දැන් දින 80 කි. ඔවුනගේ ඉල්ලීම් වලට සාධනීය විසඳුමක් මේ දක්වා ඉදිරිපත් කොට නොමැති රජය දැන් එය මර්ධනය කිරීමට සූදානම් වෙමින් සිටින බව පෙනෙයි. රජයට අවශ්‍ය නම් ආචාර්ය සමිති සම්මේලනය මර්ධනය කිරීම විනාඩි දහයකින් කළ හැකි බවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක ප්‍රකාශ කොට තිබීමෙන් පෙනී යන්නේ එබඳු මර්ධනයක් පිළිබඳ රජය සළකා බලමින් සිටින බවයි. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ නීත්‍යානුකූල වැඩ වර්ජනය මර්ධනය කිරීමට රජය පැත්තෙන් කිසියම් සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ හැකිද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ඇති බුද්ධි තොරතුරුවලට අනුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සාමකාමී වැඩ වර්ජනය සැබෑ ලෙසම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ද? මෙම ප්‍රශ්ණ පැණ නගින්නේ එක් අතකින් මෙම වැඩ වර්ජනයට විසඳුමක් දීම රජය විසින් දිගින් දිගටම කල් දමමින් සිටින අතරතුර අනෙක් අතට කුමන්ත්‍රණ කතා ගොතමින් වර්ජනය මර්ධනය කිරීමට රජය අර අඳින බවට සැකයක් මතු වී ඇති හෙයිනි.
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියා සිටින්නේ මේ වනවිට තම අවම ඉල්ලීම් රජයට ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා පිළිගත හැකි විසඳුමක් ලබා ගැනීමේ ඉඩකඩ ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සමග මෙතෙක් කළ සාකච්ඡා වලින් පෙනීයන නමුත් එබඳු විසඳුමකට එළඹීමට රජය ඇතුළතින්ම බාධා එල්ල වෙමින් පවතින බවයි.
ඔවුන් හඳුනාගන්නා පරිදි මෙම බාධා මූලිකව එල්ල වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක නියෝජනය කරන පාර්ශ්වයෙනි. තනතුරු ලාභාපේක්ෂාවෙන් රජයට පක්ෂපාතීත්වය පෙන්වන විශ්ව විද්‍යාල ආචාර්යවරු අතළොස්සක් ද මේ සඳහා එකතු වී සිටිති. මෙම ප්‍රශ්නය පිළිබඳ ගණුදෙනුව තමන් අතට පවරා දෙන ලෙස මොවුන් දිගින් දිගටම රජයට බලකරන බව වාර්තා වී තිබේ. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව රජයේ මාධ්‍ය තුළින් පෙනී සිටින්නේ මොවුන් ය. අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් පිළිබඳ විසඳුමක් ඉදිරිපත් කිරීම කඩාකප්පල් කිරීමට දිගින් දිගටම කටයුතු කරන මෙම සුළු කණ්ඩායම යොදා ගන්නා උපක්‍රමය වී ඇත්තේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ රජයේ ඇති සංවේදීභාවය තම වාසියට යොදාගැනීමයි.
ඔවුන් මේ සඳහා රාජ්‍ය ආරක්ෂක බලධාරීන් තම මතයට දිනාගැනීමට ආචාර්ය සමිති සම්මේලනයේ වර්ජනය පිටුපස රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් එම වැඩ පිලිවෙළට අනුව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සරසවි ඇදුරන්ගේ වර්ජනය විසඳීමට දරන උත්සාහයට පහසුකම් සපයන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ධම්ම දිසානායක දෙදෙනාද මෙම කුමන්ත්‍රණයේ අදිසි හස්තයකින් මෙහෙයැවෙන බවත් ඇතුළත් පුවතක් ගොතා ඇති බව කියැවෙයි. ඔවුන්ට මේ සඳහා මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ ගේ නම ගෑවීමට ඉහත විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දෙදෙනාට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු පිළිබඳ ඔහුට තිබී ඇති සම්බන්ධය ද උදව් වී ඇත. ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිත්, මහාචාර්ය ජයදේව උයන්ගොඩ ත් ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ දරන මත සහ ඒ හා සම්බන්ධ ඔවුන් ගේ අතීත ප්‍රසිද්ධ දේශපාලන කටයුතු ද ඔවුන්ගේ “රාජ්‍ය විරෝධීභාවය“ පිළිබඳ සාක්ෂි වශයෙන් ඔවුනට කුමන්ත්‍රණ චෝදනා එල්ල කරන්නන් යොදා ගනු ඇත.
මෙම කුමන්ත්‍රණ කතාව ආචාර්ය සමිති සම්මේලනයේ වර්ජනය පරාජය කිරීම සඳහා යොදා ගන්නා හුදු උපක්‍රමික අවියකට එහා යන දෙයක් බව යෝජනා කරන නව වර්ධනයක් පසුගිය දින වාර්තා වීය. එය නම් මෙම වර්ජනය ‘සුහර්තෝ ක්‍රමය‘ට රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් බවට මාධ්‍ය පළ කළ වාර්තාවයි. රජයේ බුද්ධි අංශ වාර්තාවක් ලෙස මුලින්ම සැප්තැම්බර් 16 වැනිදා සති අන්ත මවුබිම පුවත් පතේ පළවූ දේශපාලන තොරතුරු සටහනක සඳහන් වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ රැස්වීමකට සහභාගී වූ විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් ගෙන් එක් අයෙක් ‘සුහර්තෝ ක්‍රමය‘ට රජය පෙරලීම පිළිබඳ උපදෙස් ලබා දුන් බවයි. ඊට පසුදින සඳුදා රජයේ දිනමිණ පුවත් පත මුල් පිටුවේ වාර්තා කළේ මෙම කුමන්ත්‍රණය ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභා රැස්වීම්වලදී සාකච්ඡා කළ බවයි. ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි දැනටමත් මාධ්‍ය වෙත පැහැදිළිව ප්‍රකාශ කොට ඇති පරිදි මෙම වාර්තාව අමූලික බොරුවකි. ආචාර්ය සමිති සම්මේලනය කිසිදු විටෙක රජය පෙරළීමේ කුමන්ත්‍රණයක නිරතව සිට නැති බවත් ඉහත සඳහන් ආකාර සාකච්ඡාවක් තම විධායක සභාවේ කිසිසේත්ම සිදුනොවුණු බවත් නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කොට සිටියි. එසේනම් මෙම “බුද්ධි අංශ“ වාර්තාවල පදනම කුමක් ද? එය වහාම ජනතාවට හෙළි කිරීම රජයේ වගකීමයි.
මෙම කුමන්ත්‍රණ පුවත මාධ්‍යවල පළවීමෙන් පසු ඒ අනුව යමින් රාජ්‍ය මාධ්‍ය පොදුවේත් අයි.ටී.එන් රූපවාහිනී නාලිකාව සහ ගුවන් විදුලි සංස්ථාව විශේෂයෙනුත් ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව කරන ප්‍රහාර උග්‍ර කොට ඇත. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක ට අමතරව රජයේ වෙනත් දේශපාලනඥයෝද දැන් දැන් මෙම මාධ්‍ය ප්‍රහාර වලට පිවිස සිටිති. එම ප්‍රහාරවල අරමුණ ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව මැර ප්‍රහාර සහ රාජ්‍ය මර්ධනය දියත් කිරීමේ වැඩ පිළිවෙලකට යුක්ති යුක්තභාවය සැපයීම බව පෙනී යයි. ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වයට එරෙහිව කෙරෙන විවිධාකාර තර්ජන පිළිබඳ නව වටයක් ඇරඹී ඇති බව පෙනෙයි.
ඉහත ආකාරයේ මාධ්‍ය ප්‍රහාර වලට තම නමද ඈඳා ගෙන තිබීමට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය උයන්ගොඩ ප්‍රකාශ කර ඇත්තේ තමා මෙබඳු කුමන්ත්‍රණයකට හවුල් ය යන අදහස තමා ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සටනට තිරය පිටුපස සිට නායකත්වය දෙන්නේ තමා ය යන්න තමා ලැබිය නොයුතු ගෞවරයක් තමාට පවරන බවයි.
ඉතින් ඉහත පසුබිම තුළ අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ රජය පෙරලීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කුමන්ත්‍රණය කරන්නේය යන කතන්දරය රාජ්‍ය ආරක්ෂක බලධාරීන්ට ඇති බුද්ධි තොරතුරු අනුව ඔවුන් සැබෑ ලෙසම විශ්වාස කරන්නේද? යන්නයි. එබඳු ස්ථාවරයක් ගැනීමට සත්‍ය සාක්ෂි රජය සතුව තිබේද? එසේ ඇත්නම් රජය එම තොරතුරු වහා ප්‍රසිද්ධ කොට මෙම “කුමන්ත්‍රණ කරුවන්“ හෙළිදරව් කිරීමට පියවර ගත යුතුය. එසේ නොකොට මාධ්‍ය මගින් යුක්තිය පසිඳලීමේ ලා අයි.ටී.එන් සහ ගුවන් විදුලි සංස්ථාව ඇතුලු රජයේ මාධ්‍යවල ක්‍රියාත්මක කෙරෙන සමරසිංහ-අබේසුන්දර කල්ලියට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කටයුතු විනිශ්චය කිරීමට රාජ්‍ය ආරක්ෂක බලධාරීන් ඉඩ දී සිටින්නේදැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටිනු ඇත.

No comments: