Saturday, September 22, 2012

ඇදුරන්ට දොස්‌මය - සිසු දරුවන්ට නැස්‌මය - එය නොවේ විස්‌මය - නිල බලේ රැස්‌මය


සුජාත වූ ඉල්ලීම් සමුදායක්‌ කරපින්නාගෙන ඔවුහු නොසැලී ශක්‌තිමත්ව ඉදිරියට යමින් හිඳිති. ඒ යන මගෙහි නැගෙන අවලාද මඩ ප්‍රහාර, දේශපාලන ලේබල් තුට්‌ටුවකට මායිම් නොවේ. ඔවුන්ගේ මග අවුරාලන්නට හැකි යමක්‌ නිර්මාණය කිරීමට දේශපාලන අධිකාරියටද මෙතෙක්‌ හැකි වී නැත. බඩ අල්ලාගෙන සිනහ විය හැකි හරසුන් ක්‍රියාමාර්ග වෙත දේශපාලන අධිකාරිය තල්ලු කරනු ලබමින් සිටින්නේ ඒ නොහැකියාවේ වියරුව විසිනි. ඒ........ අසමත් වීමේ ලැඡ්ජාව විසිනි. විශ්‍රාම වැටුප් පනත බලහත්කාරයෙන් කම්කරුවන්ගේ කර මත පැටවීමට ගොස්‌ "ඇන" ගත්තා සේ මෙවරද සරසවි ඇදුරන් ඉදිරියේ දී දණ බිම ඇන ගැනීමට සිදුවේය යන නියත බිය විසිනි.

හරසුන් ක්‍රියාමාර්ගයක තවත් දිගහැරුමක්‌ පසුගිය දිනක දක්‌නට ලැබිණි. දේශප්‍රේමී ආචාර්යවරුන් යෑයි කියා ගත් දේශපාලන පරපුටු පුස්‌සන් කිහිප දෙනකුගේ ඇඬියාවකින් ආරම්භ වූ ඒ දිගහැරුමට එතරම් ආයු කාලයක්‌ නොතිබුණා සේය. අලියකුට පරඬලාවකින් පහර දීමක්‌ බඳු ඒ දේශප්‍රේමී අන්තේවාසිකයන් අතළොස්‌සගේ අල්ප ප්‍රහාරය විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විවේචනයට ලක්‌වීමමවත් තරම් නොවූවකි. එය එතරම්ම හෑල්ලු ප්‍රලාපයකි. වසර ගණනක්‌ විශ්වවිද්‍යාල සේවයේ යෙදී සිටියද පශ්චාත් උපාධියවත් සම්පූර්ණ කරගත නොහැකි ආණ්‌ඩුප්‍රේමී මේ කිහිපදෙනාගේ උත්සාහය කල දුටු කල වළ ඉහ ගැනීම විය හැකිය. මෙහෙව් හෙයියන් කිහිප දෙනකු හෝ විශ්වවිද්‍යාල පද්ධතියේ රැඳී සිටීම පවා සමස්‌ත උගත් ආචාර්යවරුන් හට කරන නිග්‍රහයකි. ආණ්‌ඩුවට පක්‍ෂපාතීභාවයෙන් වුවද තමන් වෙත පැවරෙන කාර්යය නිවැරැදිව ඉටුකරන ආචාර්යවරු ද නැත්තේ නොවේ. දේශප්‍රේමී යෑයි කියා ගන්නා පරපුට්‌ටන් නිසා එවැනි පිරිස්‌ද අපහසුතාවට පත්වෙති.

ආචාර්යවරුන්ගේ ඉල්ලීම් මෙරටේ නිදහස්‌ අධ්‍යාපන ෙ€දවාචකයේ පිළිබිඹුවක්‌ යෑයි කීම අතිශයෝක්‌තියක්‌ නොවේ. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම් හුදු වැටුප් වැඩිකර ගැනීමේ සටනක්‌ බවට ලඝූකරවීමේ උත්සාහයක්‌ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ. උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ආචාර්යවරුන්ගේ ඉල්ලීම් කම්කරු කොමසාරිස්‌ට යොමු කර තිබේ. අවස්‌ථාවේ උචිතතාව අනුව වඩාත් සුදුසුම සහ ආචාර්යවරුන්ට "පාඩමක්‌" ඉගැන්විය හැකි අවිය එය යෑයි ඇමැතිවරයාට සිතෙන්නට ඇත. මන්ද... මීට ප්‍රථම අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සටන කම්කරු කොමසාරිස්‌ ඉදිරියේ විසඳිනි. විදුලි බල මණ්‌ඩල වෘත්තීය සමිති ද සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගද කම්කරු කොමසාරිස්‌ ඉදිරියේ ආපස්‌සට හැරවිණි. එනයින් බලන කල ආචාර්යවරුන්ගේ සටනද කම්කරු කොමසාරිස්‌ ඉදිරියේ අසරණ වනු දැකීමේ අරමුණක්‌ ආශාවක්‌ දිසානායක මහතාට පහළ නොවූයේ නම් පුදුමයකි. එහෙත් එයද ඉටුවන සිහිනයක්‌ නොවන බව ආචාර්ය සමිති සම්මේලනය දැනටම ඔප්පු කර අවසන්ය. පසුගිය 13 වැනිදා ආචාර්ය සමිති සම්මේලනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය කැඳවූ කම්කරු කොමසාරිස්‌වරිය ගැටලුව විසඳීම සඳහා ස්‌වෙච්ඡා බේරුම්කරණයකට යැමට තීරණය කළාය. ස්‌වෙච්ඡා බේරුම්කරණය සඳහා දින 2 කින් නියෝජිතයකු නම්කරන ලෙසද සම්මේලනයට දැනුම් දෙනු ලැබිණි. මෙහිදී සම්මේලනය ප්‍රශ්න කර සිටියේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර යන මහත්වරු සමග සාකච්ඡා කර යම් යම් එකඟතාවන්ට පැමිණෙමින් සිටියදී ඊට පහළ ස්‌ථරයක දී සිය ඉල්ලීම්වලට විසඳුම් දෙන්නේ කෙසේද යන්නය. මේ ප්‍රශ්නයට පිළිතුරක්‌ නොලැබිණි. කම්කරු කොමසාරිස්‌වරියගේ අර්ථකථනය වී තිබුණේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ආචාර්යවරුන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ආරවුලක්‌ බවය. සේව්‍යයා හා සේවකයා අතර ආරවුලක්‌ උද්ගත වූ විට කාර්මික ආරවුල් පනතට අනුව කම්කරු කොමසාරිස්‌ට යොමු කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් දීමට කම්කරු කොමසාරිස්‌ට හැකියාවක්‌ නොමැති බව ආචාර්ය සමිති සම්මේලනයේ අදහස වී ඇත. එපමණකුදු නොව තමන් නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් කරන්නා වූ අරගලය හුදෙක්‌ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග ඇති ආරවුලක්‌ ලෙස ලඝූ කර දැක්‌වීමට ඔවුහු එරෙහි වෙති. කම්කරු කොමසාරිස්‌වරිය කැඳවූ ප්‍රථම සාකච්ඡාවේදීම ස්‌වෙච්ඡා බේරුම්කරණයට තමන් එකඟ නොවන බව සම්මේලනය දන්වා සිටියේ ඒ නිසාය. ස්‌වෙච්ඡා බේරුමකරණයෙන් පසු අනිවාර්ය බේරුම්කරණයට යැමට කම්කරු කොමසාරිස්‌ට බලය තිබේ. එහිදීද එකඟතාවක්‌ නොවන්නේ නම් පාර්ශ්වකරුවන් සේවයෙන් පහ කිරීමට ද කොමසාරිස්‌ට බලතල ඇත. ස්‌වෙච්ඡා බේරුම්කරණයට වුව තමන් එකඟ නොවන බව පවසන ආචාර්ය සමිති සම්මේලනය අභියෝග කර සිටින්නේ හැකිනම් ආචාර්යවරුන් සේවයෙන් පහ කරන ලෙසය. මේ අභියෝගය කරන අතරතුර කම්කරු කොමසාරිස්‌වරිය විසින් යළිත් බේරුම්කරන ක්‍රියාවලියට ඔවුහු කැඳවනු ලැබ සිටිති. හෙට (24 වැනිදා) පැවැත්වෙන සාකච්ඡාව සඳහාද ආචාර්යවරු සහභාගි වන නමුත් ඔවුන්ගේ ස්‌ථාවරය දශමයකින් හෝ වෙනස්‌ වී නැත.

කම්කරු කොමසාරිස්‌වරියගේ ආරාධනය පිළිගෙන සිටින සම්මේලනය හෙට දිනයේ තම ශක්‌තියේ අභිමානය රටට කියන දැවැන්ත ක්‍රියාමාර්ගයක්‌ ආරම්භ කරයි. එනම් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන පෙරටුකර ගත් විරෝධතා පා ගමන් දෙකක්‌ මහනුවරින් හා ගාල්ලෙන් ආරම්භ කිරීමය. ක්‍ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති විසිහයක්‌ පා ගමන්වලට එක්‌වන අතර ආණ්‌ඩුවට සම්බන්ධ වාමාංශික පක්‍ෂවල වෘත්තීය සමිතිද මේ සඳහා එක්‌වීම විශේෂත්වයකි. හෙට ආරම්භ කෙරෙන පා ගමන දින පහකින් එනම් 28 වැනිදා කොළඹට ළඟා වන අතර සිය ඉල්ලීම් ලබා දෙන්නැයි ආණ්‌ඩුවට බලකිරීමේ දැවැන්ත ජනතා රැලියක්‌ එදින කොළඹදී පැවැත්වීමට ද කටයුතු යොදනු ලැබ ඇත. ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට සහාය පළකරමින් එදින විරෝධතා දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කර තිබේ.

මෙරටේ ප්‍රබුද්ධ කලාකරුවෝ රැසක්‌ද මේ වන විට ආචාර්ය සම්මේලනයේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කර සිටිති. ඔවුහුද ඉදිරියේදී විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටිති.

ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්‌වීමේ ආණ්‌ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට හා උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ නොහික්‌මුණු ප්‍රකාශයන්ට එරෙහිව වෛද්‍යපීඨ ආචාර්යවරුද සටනට බැස සිටිති. කොළඹ, රාගම හා ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයන්හි ආචාර්යවරුන් සංකේත වැඩවර්ජන පවත්වා අරගලයට සහාය පළකළ අතර ඉන් ඔබ්බට යමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍යපීඨ ආචාර්යවරු හෙට සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ආරම්භ කරති.

මේ සියලු දෙයින් පැහැදිලි වන්නේ ආචාර්ය අරගලය දිනෙන් දින ක්‍රමයෙන් ශක්‌තිමත් වන බවකි. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා අත පය විසිකරමින් ආචාර්ය සටන දිනෙන් දින දියාරු වන බවට කරන ප්‍රකාශයන්හි හරයක්‌ නැත. ඇස්‌ පනාපිට කිසිදු හිරිකිතයකින් තොරව කෙප්ප කෙළින්නට හේ රුසියෙක්‌ යෑයි නොදන්නෙක්‌ නැත. ඊට නිදසුන් ඕනෑ තරම් තිබේ. එහෙයින් "ආචාර්ය සටන විනාඩි දහයෙන් මර්දනය කළ හැකියි." දිය වී යන දේශපාලන පක්‍ෂයක්‌ ගහන පදයට නටන නැටුමක්‌ මේ" "හොරු තක්‌කඩි කාලකණ්‌ණි" වැනි ප්‍රකාශ හැර ශ්‍රී ලංකාවේ වර්තමාන උසස්‌ අධ්‍යාපනය භාර ඇමැතිවරයා ලෙස එස්‌. බී. දිසානායක මහතාගෙන් මේ ප්‍රශ්නය අරභයා වෙනත් හරවත් යමක්‌ අපේක්‍ෂා කළ නොහැකිය. මන්ද දිසානායක මහතා ඒ තරමටම ආචාර්යවරුන් සමග උරණව සිටියි. ගනුදෙනුව සිදු වන්නේ රටේ බුද්ධිමතුන් පිරිසක්‌ සමගය යන හැඟීම ඔහු කෙරෙන් පලාගොස්‌ ඇත.

ඇමැතිවරයාගේ ගෞරවයට පාත්‍ර වන්නෝ තමන්ට අවනත එහෙයියෝ පමණි. ඇතැම් උපකුලපතිවරුද ගොහොරු දේශපාලනය ඉදිරියේ උගත්කම පවා උකසට තබා වැඳවැටෙති. ආචාර්ය සටන මෙහෙයවමින් පවතින්නේ ඒ වැඳවැටීම ඔස්‌සේ විනාශ වී ඇති විශ්වවිද්‍යාලවල ස්‌වාධීනත්වය හා නිදහස ද යළි දිනා ගනිමින් එම අනුල්ලංඝනීය අයිතීන් කෙරෙහි වන දේශපාලන අතපෙවීම් සුන්නද්දූලි කිරීමේ පරම, පවිත්‍ර අදිටන ද පෙරදැරිවය.

ආචාර්ය වැඩවර්ජනයට මේ වන විට දින අසූවකට අධික කාලයක්‌ ගත වී තිබේ. ආසන්න වශයෙන් මාස 3 කි. මේ තෙමසටම ආචාර්යවරුන්ට වැටුප් නැත. වැටුප් නොමැතිව උද්ගත වන ආර්ථික දුෂ්කරතා හමුවේ වැඩවර්ජනය අත්හැර දමනු ඇත යන අපේක්‍ෂාවෙන් දේශපාලන අධිකාරිය පසු වුවද ආචාර්ය සම්මේලනය ඊට ද කදිම පිළිතුරක්‌ ලබා දෙමින් ආචාර්යවරුන් වෙනුවෙන් අරමුදලක්‌ ආරම්භ කළේය. එම අරමුදල මගින් ආර්ථික අපහසුතාවලින් පෙළෙන ආචාර්යවරුන්ට ණය පහසුකම් හිමිවෙයි. එහෙයින් ආර්ථික අපහසුතාවන්ගෙන් ඔද්දල්ව සිය සේවා ස්‌ථාන කරා ආචාර්යවරුන් පැමිණෙනු ඇත යන්න මිථ්‍යාවක්‌ බවට පත්ව තිබේ.

මාස තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ඇදී යන වැඩවර්ජනය නිසා උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙ උත්තර පත්‍රද ඇගයීම් නොකර තැබීමට සිදු වී ඇත. සිසුහු දෙලක්‍ෂ හැත්තෑ දහසකට අධික පිරිසක්‌ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටියහ. උත්තර පත්‍ර සංඛ්‍යාව ලක්‍ෂ පනස්‌ හතරකි. ඒ සියල්ල විභාග දෙපාර්තමේන්තුවේ සුරක්‍ෂිතව තබා ඇතත් ඇගයීම් කරන දිනයක්‌ නැත. උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගයීම් කිරීම සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් ඇතැයි කලින් ප්‍රකාශ කළ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද මීට දින කිහිපයකට පෙර සඳලුතලයෙන් බැස ආචාර්යවරුන්ට ආයාචනා කරන තත්ත්වයට පත්ව සිටියි. සඳලුතලයෙන් බැස වුවද කළ ඒ ආයාචනය දේශපාලන කටකින් ආ හෙයින් ආචාර්ය සම්මේලනය එය මායිම් නොකර පෙරළා ප්‍රකාශ කළේ විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා ආරාධනය කළහොත් සලකා බැලීමට සූදානම් බවය. දේශපාලනය එතරම්ම රොඩ්ඩක තත්ත්වයට පත් කිරීමට ආචාර්ය අරගලය සමත්ව සිටියි.

කෙසේ වුවද උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගයීම් කළ හැකි ආකාරය ගැන සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුවට හෙට පැමිණෙන්නැයි විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා මහාචාර්යවරුන් හාරසිය දෙනකුට ආරාධනය කර තිබේ. ඊට සහභාගිවීමට ආචාර්ය සමිති සම්මේලනය සූදානම්ය. සිදුවන දේ පිළිබඳ අපිදු අපේක්‍ෂාසහගතව බලා හිඳිමු.

උත්තරපත්‍ර ඇගයීමේ අර්බුදය එලෙස පවතින විට අසූඅට දහසකට ආසන්න විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගෙන් සියයට අනූවක්‌ම මාස තුනක්‌ තිස්‌සේ ගෙදරය. මාස තුනක්‌ දහස්‌ ගණනකට අධ්‍යයන කටයුතු අහිමි වීම යන්න අර්ථ දැක්‌විය හැක්‌කේ කෙසේද යන්න ගැටලුවකි. කොළඹ, යාපනය යන විශ්වවිද්‍යාලයන්හි සහ විවෘත විශ්වවිද්‍යාලයීය නීති සිසුහු හාරසියයක්‌ පමණ ද දැඩි අසාධාරණයකට මුහුණ දී සිටිති. නීති පීඨ අවසන් වසරේ විභාගයට පෙනී සිටි ඔවුහු ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් පසුවෙති. ආචාර්ය වැඩවර්ජනය නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ද ඇනහිට තිබේ. ලබන මාසයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පැවැත්වෙන අවසන් වසර විභාගයට පෙනී සිටීමට එම සිසුන්ට නොහැකි වුවහොත් ලබන වසරේදී නීතිඥ වෘත්තියේ දිවුරුම් දීමට ඔවුන්ට නොහැකි වනු ඇත. එවිට තවත් වසරක්‌ බලා සිටීමට ඔවුන්ට සිදුවෙයි. වසරකින් ඔවුන්ගේ ජීවිතය ආපස්‌සට යයි. මේ වන විට නිවෙස්‌වල කාලය ගත කරන විද්‍යාර්ථීන් දහස්‌ ගණනට ද මේ උභතෝකෝටිකයකට මුහුණදීමට සිදු වී තිබේ.

මේ ව්‍යසනයනට වගකිවයුත්තේ වර්ජිත ආචාර්යවරුන් යෑයි කියමින් අත පිසදා ගැනීමට ආණ්‌ඩුවට නොහැකිය. එහි වගකීම දැරිය යුත්තේ ආණ්‌ඩුවය. බඩගෝස්‌තරවාදී දේශපාලන ක්‍රියාවලිය විසින් වැඩවර්ජනය මර්දනය කිරීමට ගනු ලබන නේකවිධ ක්‍රියාමාර්ග හමුවේ ආචාර්යවරුන් තව තවත් ශක්‌තිමත් වන බව ආණ්‌ඩුව අවබෝධ කරගන්නා තෙක්‌ අර්බුදය එලෙසමය. අවශ්‍ය වන්නේ පාවෙවී හිඳිනා උද්දච්ච මනෝභාවයන් හැරපියා බිමට බැස යථාර්ථය දැකීමය.

ඡායාරූපය -කමල් බොගොඩ
නිලන්ත මදුරාවල

No comments: