Wednesday, September 12, 2012

ස්‌වෙච්ඡා බේරුම්කරණයකට යැමේ යෝජනාව සරසවි ඇදුරෝ ඉවත දමති



The Island, 12/09/2012, නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවට විසඳුමක්‌ වශයෙන් ස්‌වෙච්ඡා බේරුම්කරණයකට යැම සඳහා කම්කරු කොමසාරිස්‌ ජනරාල්වරයා කළ යෝජනාව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (11 වැනිදා) ප්‍රතික්‍ෂේප කළේය.

නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාලයේ ඊයේ සවස රැස්‌ වූ එම සම්මේලනයේ විධායක සභාව මෙම තීරණය ගත් අතර ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

සම්මේලනයේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීම සඳහා ස්‌වෙච්ඡා බේරුම්කරණයට යා යුතු යෑයි ද ඒ සඳහා නියෝජිතයකු නම් කරන ලෙස ද කම්කරු කොමසාරිස්‌ ජනරාල්වරයා සම්මේලනයට ලිඛිතව දැනුම් දුන්නේ පෙරේදා (10 වැනිදා) ය.
ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර යන මහත්වරුන් සමඟ සාකච්ඡා කර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණීමට හැකිව තිබියදී ඊට පහළ මට්‌ටමේ කරන සාකච්ඡාවලින් ගැටලුව විසඳන්නේ කෙසේදැයි සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කම්කරු කොමසාරිස්‌ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ඇත. කම්කරු කොමසාරිස්‌ ජනරාල්වරයා සමඟ පෙරේදා පැවැති සාකච්ඡාවේදී ස්‌වෙච්ඡා බේරුම්කරණයට සම්මේලනය විරුද්ධත්වය පළ කර තිබේ.

No comments: